අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ කථිකාචාර්යවරයකු වූ දා සිට ඔහුට කටයුතු අධික විණි.
ඉඳුවර අවදි වූයේ ද අදීෂ පැමිණි පසු ය.අතීතයේ නේවාසිකාගාරයේ කාමරයක ගෙවූ ජීවිතය අදීෂට සිහිව ආවේ ය.ඔහු ඉඳුවරගේ නිවහන වටා නෙත් හෙළූයේ ඒ හැඟීමෙනි.
“උඹ මේ ගේ සල්ලිවලට ගත්තද?”
ඉඳුවර හඬ නගා හිනැහිණ.
“තාම එච්චර බෑ බං..මේ රෙන්ට් එකට ඉන්නේ..”
අදීෂ පැමිණියේ එක්තරා කතාවකට ය.එය අරඹන තැන ද ඔහුට ගැටළුවකි. නමුත් එය ඇරඹිය යුතුම බව ඔහු සිතුවේ ය.ඉඳුවරගේ රංගනයේ ඔපමට්ටම් කරගත යුතු තැන් කියමින් අදීෂ බොහෝ වෙලාවක් කල් මැරුවේ ය.
“ඊයේ මායි සනුයි කතා කරා පොඩි දෙයක් ගැන..”
ඔහු කතාවට ප්‍රවේශය ගත්තේ එසේ ය.ඉඳුවර වඩා පහසු ඉරියව්වකට මාරු වෙමින් පුටුවේ හිඳ ගත්තේ හිනැහෙමිනි.
“උඹලා ඔය පොඩි දේවල් කතා කිරිල්ල නවත්තලා ලොකු දේවල් කතා කරන්න ගනිං..ඩ්‍රෙස් කරන්නේ කවුද? හනිමුන් යන්නේ කොහාටද? යකෝ උඹලා බඳින්නේ නැද්ද? ඒ කාලේ උඹලගෙ රණ්ඩු බේරනවට වඩා වැඩක් මටයි අමන්දිටයි තිබ්බෙත් නෑනෙ..”
අදීෂට මාතෘකාවට එළඹීමට පහසුවක් දැනිණ.ඉඳුවරම අමන්දීව සිහි කළේ ය.
“මං මේ උඹට කියන්න ගියේ අමා ගැන තමයි බං…”
ඉඳුවර නළල රැළි ගැන්වූයේ ය.විවාහක ගැහැනියක ගැන ඔහුට කතා කරන්නට දෙයක් ඉතිරිව නැත.අතීතයට වර්තාමනයට එන්නට දීමට ඔහු නොරිසි ය.
“මචං..උඹට මං එදත් කිව්වනෙ.අපි අතරෙ අෆෙයා එකක් තිබිලා මං බූට් තිබ්බනම් මේක හරි අවුල් වැඩක්..ඒත් එහෙම මොකුත් තිබ්බෙ නෑනෙ..මං එයාගෙන් අහන්න ඉන්නකොටනෙ එයාගෙ කුහකකම එළියට ආවේ.එච්චරයි.කතාව ඉවරයි..”
අදීෂ තමා හුන් අසුනින් නැගිට ඉඳුවර අසලින් හිඳ ගත්තේ ය.ඔහු මේ කතාව දකින්නේ ඉඳුවරගේ කෝණයෙන් නොවේ.වෙනස් මුහුණකිනි.
“මං එදත් කිව්වේ ඉඳුවර..අමා ඉන්නේ අතීතෙ හිරවෙලා.උඹ කොහොමත් හැන්ඩියා නිසා මේ දැන් තියන තත්වෙ එනව කියලා ඒකිට හිතෙන්න ඇති.උඹට තිබ්බේ එයාව අතාරින්න නෙවෙයි.පස්සෙ හෙමින් මේ උඹේ පාර කියල තේරුම් කරන්න..ඒ වගේ ටැලන්ට්ස් තියන කොල්ලෙක් ගොවිතැන් කරන මිනිහෙක්ගෙ ගෑනියක් වෙලා දුක් විඳින එක පවක්..”
ඉඳුවර අදීෂ දෙස බැලුවේ දෑස් කුඩා කරගෙන ය.ඔහු අමන්දී ගැන හිතන්නේ ඉරිසියාකාරියකගේ කෝණයෙනි.ඇය එදා අර තරම් රළුවට තමන්ට කඩා පැනීම ගැන ඔහු තවමත් අමනාපයෙනි.ඈ එදා ඉතසිතින් තමන්ට ආශිර්වාද කළා නම් අද ඈ තම පෙම්වතිය බව ඔහු සිතයි.සරසවියට පැමිණි දා පටන් ඉඳුවරට අමුතු සිරිතක් විණි.විභාගයක් හෝ සංදර්ශනයක් ඇතිනම් ඔහු අමන්දීට ශාලාවට පිවිසෙන්නට නොදෙයි.ඔහු එනතුරු රැඳෙන්නට යැයි සිහි කරයි.
“ඔයාගේ මූණ බලලා ගියාම වැඩේ කිරි ගහට ඇන්න වගේ..”
එදවස අමන්දී තමන් එසේ කී අන්දම ඉඳුවර සිහි කළේ ය.එවැනි දෑ නිසා අමන්දී තමන් ගැන බලාපොරොත්තු තබා ගැනීම සාධාරණ ය.නමුත් වරද වූයේ ඈ අතිනි.ඇගේ වාසනාව සදාකල් තමන් සමඟ රැඳුණේ නම් අවසාන මහා තරගයේ දී කොහේදෝ සිටි ජීවන්ත කිරුළු නොපළඳින බව ඉඳුවර අදට ද සිතයි.
අමන්දීගේ විවාහයට පෙර දා රැයේ මධුවිත ද හාද කරගමින් “විකසිත පෙම් පොකුරු පියුම්”ගැයූ හැටි ඉඳුවර සිහි කළේ ය.ඒවා අන් කිසිවෙකුද දන්නේ නැත.
“හිතේ කදුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකිබිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොදැනේවා..”
ඔහුට වඩා දැනුණේ ඒ පද පේළි වග ඉඳුවර සිහි කළේ ය.ඇයට අතීතය වේදනාවක් විය යුතු නැති බව ඔහු අදහයි.නමුත් ඈට අසාධාරණයක් වූ බව පිළිගන්නට ඔහු නොකැමති ය.
“අමා එක්ක කතා කරොත් මොකද? ඇත්තටම උඹට හිතුණු දේ කිව්වොත්..උඹ එයා එක්ක තරහ වුණු හේතුව ඒකි දන්නෙ නෑනෙ..උඹ ඇත්තටම ඒකිට ආදරෙන් හිටියා.රියැලිටි එකට විරුද්ධ වුණ හින්දා තරහ ගියා කියලා අමාට කිව්වොත්..”
අදීෂගේ හඬින් ඉඳුවර පියවි ලෝකයට ආවේ ය.නමුත් දැන් එවගක් හෙළි කරන්නේ කුමකටදැයි ඔහුට පැහැදිලි තර්කයක් විණි.
“අඩුම තරමේ උඹ දවසක් හරි ආදරේ කරල කියල ඒකි හිත හදා ගනියි.ඒ කෙල්ලට පවුල් ජීවිතේට හැරෙන්න ඒක හේතුවක් වෙයි…”
අදීෂ එසේ කියා අනතුරුව තවත් වාක්‍යයක් පැවසී ය.
“ඒ උනාට උඹට එහෙම නොකර ඉන්න තිබ්බා ඉඳුවර..”
ඉඳුවර අසුනින් නැගිට නොසන්සුන්ව එහෙමෙහෙ ඇවිදින්නට පටන් ගත්තේ ය.
“සංගාට තිබ්බේ ස්කූල් ලව් එකක් කියනව නේද? ක්‍රිකට් ගහන්න ගියාම ගෙදර ඉන්න වෙන් නෑ.ලෝකෙම කෙල්ලන්ට ක්‍රෂ් එකක් වෙයි වගේ ඒවා ඒ මනුස්සයගෙ වයිෆ් හිතුවනම්..අද අපිට ලෙජන්ඩ් කෙනෙක් ඉන්නවද? එච්චර වටින ක්‍රිකටර් කෙනෙක් ලෝකෙට හම්බෙනවද?
අදීෂට ඒවාට පිළිතුරු දෙන්නට සිතක් නැත.ඔහු නැගිට ඉඳුවර වෙත ආවේ වෙනත් ප්‍රශ්නයක් අසාගෙන ය.
“ඕවා වැඩක් නෑ..අමාට කෝල් කරොත් උඹ කතා කරනවද?”
ඉඳුවර තත්පර කිහිපයක් අපතේ යන්නට හැරියේ ය.අනතුරුව හිස වැනුවේ ය.පවසන්නේ මොනවාදැයි ඔහුට අදහසක් නොවිණි.රංගනයට නවක නළුවෙකු වී පිවිස ගත වන්නේ ද දෙසතියකි.කැමරාවක ඉදිරියේ පවා පෙම්වතෙකු වන්නට තමන්ට මොනතරම් අසීරුදැයි ඔහු සිතී ය.නමුත් දිගු කාලයක් හදවතේ ඉහළින්ම හුන් යුවතියක දැන් වෙනත් නිවසක පතිනියකි.තමා ඇයට වෛර කරන්නේ ඇය තමන්ගේ සිහිනය දෙස අවඥාවෙන් බැලූ නිසාදැයි නැතිනම් වෙනත් තරුණයෙකුට පතිනිය වූ නිසාදැයි ඉඳුවරට වැටහෙන්නේ නැත.නමුත් මේ ඇමතීම තමන්ටත් අමන්දීටත් සුවයක් ගෙනේවිදැයි ඔහුට නොතේරිණ.
“අමා..මං මේ යාලුවෙක් එක්ක ඉන්නෙ..ඔයාව මතක් වුණා..”
අදීෂ ඊළඟ තත්පරයේ තමන් අත දුරකථනය තබන වග ඉඳුවර දැන සිටියේ ය.