මතක දිගහැරුම 5 – අප්සාරි සිංහබාහු තිලකරත්න

පස්වන දිගහැරුම ,

එකල ජනප්‍රිය වේශ නිරූපණ ශිල්පියෙකු වූ ඊබට් විජේසිංහ මහතාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීමට අපට අවස්ථාව ලැබින.රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු එයට , එවකට රිදී තිරයේ ජනප්‍රිය යුවළක් වූ විජය – මාලිනි යුවළද සහභාගී විය.බතික් ලුංගියකින් සැරසි වරලස මුදාහැර සිටි මාලිනි ෆොන්සේකා මහත්මියගේ සුන්දරත්වය අදටත් මා වෙන කිසිවෙකුගෙන් දැක නැත.ඇයටම ආවේණික වූ සුරූපි බවකින් හෙබි ඇය ඇත්ත වශයෙන්ම නිළි රැජිණක වූවාය.
එම විවාහ මංගල උත්සවයේ මා හට අමතක නොවෙනම ලස්සන මතකයක් ඇත. මා තාත්තා සහ අනෙක් අය සමඟ නටමින් සිටින විට ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි ෆොන්සේකා මහතා පැමිණ මා වඩාගෙන නැටුවේය.මා අතිශය ප්‍රිය කරන රංගන ශිල්පියෙක් වන ඔහු හා බැඳුනු එම මතකය මට කිසි දිනක අමතක නොවෙයි.

එකල මා නෑමට බියුවුනු අතර හිසට වතුර වැටෙන විට මා කෑගසා හඬන කෙල්ලක විය.තාත්තා එයට විසඳුමක් ලෙස අපූරු ක්‍රමයක් යොදා ගත්තේ ඉන්පසුවය.ඔහුගේ ඔඩොක්කුවේ මාව හරහට තියා ගන්නා තාත්තා වතුර බේසමක්ද ලඟට ගෙන පොල් කට්ටකින් මගේ හිස සේදීය.මදක් ලොකු වනතුරුම ඒ බිය මට තිබුනු අතර තාත්තාට සෑහෙන කලක් යනතුරුම ඔහුගේ ක්‍රමය පාවිච්චි කරන්නට සිදුවිය.

අම්මාගේ සහ තාත්තාගෙ ආදරය ගැන වචනයෙන් කියා නිම කරන්නට බැරි තරම් ය.එතරම්ම හදවතට දැනෙන ලෙස ඔවුන්ගේ හිත්වල අප කෙරෙහි වූ ආදරය විය.අප නිවසේ කොතරම් කාමර තිබුනද කිසි දිනක අප වෙන වෙනම නිදාගත්තේ නැත.මා විවාහ වන්නට ලඟක් වනතුරුම නංගීත් මාත් නිදාගත්තේ අම්මා සහ තාත්තා සමඟ එකම කාමරයේය.තාත්තාට තුරුලුවී නිදන්නට මා ඉතා ප්‍රිය කල අතර මා ඔහුට බොහෝ සේ ලංව සිටි දියණියක වෙමි.ඇස් දෙක මෙන් අපව බලාගත් ඔවුන් දෙදෙනාගෙ ආදරය මහමෙරක් තරම් ය.

මා උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන් ය.එකල මා අමතර පන්ති වලට සහභාගී වීමෙන් පසුව මා රැගෙන යාමට තාත්තා එම පන්ති අසලට එයි. ඔහු හැම දිනකම නොවරදවාම එලෙස පැමිණි අතර පන්තියෙ ඇතැම් ළමුන් විහිලුවට මෙන් ” අන්න බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ඉන්නවා ” යැයි මට පවසයි.

පාසල් කාලයේ මට පෙම්වතෙක් නොසිටි අතර එසේ සිටිය යුතු යැයි හැඟීමක් මට කිසිදාක දැනී නැත.මගේ බොහො මිතුරියන්ට පෙම්වතුන් සිටිය අතර මා හා යාලුවීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිමි ළමුන්ද බොහෝ සිටි බව මට මතකය.ඇතැමුන් අපේ නිවස අසලට පවා පැමිණ සෝදිසි කරමින් එහා මෙහා යනු මා දැක ඇත.නමුත් දෙමව්පිය ආදරය නොඅඩුව ලද දැරියක වූ මා කිසි දිනක එවැනි සම්බන්ධතා කෙරෙහි නැඹුරු නොවීය.

පාසල් කාලයේදි ක්‍රීඩා වලට සහභාගී නොවූ මා පිහිනීම පමණක් කල අතර තාත්තාද මට ක්‍රීඩා වලට සහභාගී වන්නට අවසර දුන්නේ නැත.අව්වේ සිට කලු වන්නට මා අකමැති වීම මගේ හේතුව වූ අතර ඇතැම්විට තාත්තාගේ හේතුවද එය විය හැකිය.අම්මා එකල සුදු හදුන් මුහුණේ ආලේප කිරීම , මී කිරි සහ කහ ආලේප කිරීම අපට හුරු කල අතර දේශීය සහ ස්වාභාවික දේවල් වලින් රුව ලස්සනට පවත්වාගෙන යාම ගැනද අපව උනන්දු කලාය.

වර්තමානයේ දෙමව්පියන් මෙන් කුඩා අසනීපයකටත් අප දෙමව්පියන් අපව ඩිස්පෙන්සරි වලට හෝ රෝහල් වලට රැගෙන ගියේ නැත.මුලින්ම බුදු පහන ලඟට රැගෙන ගොස් තෙල් ස්වල්පයක් හිසේ ගාන අම්මා ” බුදුන්ගේ සරණයි ,ඉක්මනින් සනීප වෙන්න ” කියා කියන්නීය.වෙද පරම්පරාවකින් පැවත එන තාත්තා විවිධ අත් බෙහෙත් අපට ලබා දෙන අතර ඉංග්‍රීසි බෙහෙත් ලබා දුන්නේ ඉතා අකමැත්තෙන් වුවත්, එයද අතිශය අසාධ්‍ය වූ අවස්තාවක පමණමය. අපට හෙම්බිරිස්සාවක් හෝ හැදුන විටකදි ඉඟුරු කොත්තමල්ලි , වෙනිවැල්ගැට වැනි දේ ලබා දෙමින් එය ඉබේම සුව වෙන්නට හරිමින් ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමට ඉඩ දීම සාමාන්‍යයෙන් සිදු විය.ඉංග්‍රිසි බෙහෙත් වලින් වරුවකින් හොද වන අසනීපයක් සුව වීමට ටික කාලයක් සිංහල බෙහෙත් වලින් සුවවීමට ග්ගතවුවත් අම්මා ඇයගේ පහසුව ගැන සිතුවේ නැත.

අම්මා අපට කුඩා අවධියේ සිට ඉතාම හොඳ දේවල් ආහාරයට දෙන්නට වග බලාගත්තාය.කැඳ වර්ග, කොළ වර්ග , එළවලු වර්ග සහ ධාන්‍ය වර්ග ඈ නිතරම අපිට සාදා දුන්නාය.තාත්තා පවා නිතරම ගමේ ක්‍රමයට ආහාර රටාවකට හුරුවී සිටි අතර ඔහු දීර්ඝායූශ ලබන්නට එයම හේතුවක් වන්නට ඇත.අදටත් මා මගේ දරුවන්ට නිවසේම සකස් කරන පිරිසිදු දේශීය ආහාර ලබා දෙන අතර ඉතා ඉඳහිට වෙනසකට මෙන් පිටින් ආහාර ගත්තද සෑම විටකම මගේ අතින් සකස් කල ආහාර පමණක් ඔවුන්ට ලබා දීම මගේ පුරුද්ද බවට පත්වී ඇත.

වරෙක විදෙස් ගතව සිට පැමිණි අයෙකුගෙන් මට ඩෙනිම් සායක් තෑගි ලැබිනි.එකල ඩෙනිම් කලිසම් සහ සායවල් භාවිතයට ආරම්භ කල කාලය වූ නිසා මට එම ත්‍යාගය ගැන තිබුනේ ඉතා උනන්දුවකි.දණහිසට මදක් ඉහලට වන තරම් කොට වූ එය කොහේ හෝ ඇඳගෙන යන්නට ඕනෑ කමකින් මා පසුවිය.දිනක් අම්මා සමඟ ගමනක් යන්න ලෑස්ති වෙන්න යැයි ඇය කී විට මා සතුටින් ඉපිලෙමින් එම ඩෙනිම් සායද හැඳගෙන ලෑස්ති වී අම්මා සමඟ යන්නට සූදානම් විය.මා දුටු අම්මා මා වෙත හෙලුවේ ඉතා තද බැල්මකි.එම බැල්ම මට අදටත් අමතක නොවෙන අතර ” ඔය හම්බ වෙන හැම එකම අඳින්න ඕන නෑ, මාත් එක්ක එනවා නම් කරුණාකරලා ඕක ගලවලා එන්න ” යැයි ඇය පැවසීය.අකමැත්තෙන් වුවද එය මාරු කරගත් මා මේ වනතුරුම කොට ඇඳුම් අඳින්නේ නැත.ඉඳහිට හෝ දණහිස වැහෙන ප්‍රමාණයට ඇඳුමක් ඇන්දද මට අම්මා සිහිවෙයි

පියානෝ වාදනය සහ වයලීන් වාදනයට කුඩා කල සිටම හුරු වු මා නර්ථනය විශයක් වශයෙන් හැදෑරුවේ නැති වුවද නර්ථනයට ඉතාම ප්‍රිය කලෙමි.කුඩා කල සිටම අද දක්වාම මා ඇතැම් උත්සව අවස්ථාවන් වලදි එලෙස නර්ථනයේ යෙදෙන්නට දෙවරක් හිතන්නෙ නැත.

කැලුම් විජේසූරිය අයියා පදිංචිව සිටියේ අප නිවෙස අසල වන අතර ඔහු මා හා බොහෝ හිතවත් අයෙකු විය.අම්මාද ඔහු හා බොහෝම හිතවත් අතර ඇතැම්විට ඔවුන් දෙදෙනා මහරගම පොළටද යයි.මගේ අම්මා කැලුම් අයියාගේ අම්මා මුණගැසීමට ඔහුගේ නිවසට යනවිට එහි යාමට මමද බොහෝ කැමැත්තෙක් දැක්වූයෙමි.එයට විශේශ හේතුවක් ඇත.කැලුම් අයියාට අතිශය රසවත්ව කේක් සෑදිමට හැකියාව තිබුනි.අම්මලා දෙදෙනාගේ කතාව අතරතුර තේ වලින් සහ කේක් වලින් අපට සංග්‍රහ කරන්නේ කැලුම් අයියාය.ඔහු සාදන උණු උණු චොකලට් කේක් කෑමට ප්‍රිය කරන මා හට අදටත් ඒ රස මතකයේ ඇත.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles