දික්කසාද නඩුව ඇසෙන්නට ගත්තේ ය. දික්කසාදය ලබා දීමට නම් ඔහු ට වූ අවමානය වෙනුවෙන් මංජුල අති විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය. එය නො ගෙවන්නේ වී නම් කිසි සේත් දික්කසාදය ලබා දිය නො හැකි බව ඔහු කීවේ ය.
“ඔය තරං සල්ලියක් කොහෙන්ද නිකී දැං අපි ළඟ…ඔයා හොඳට ම දන්නවනෙ පප්ප අන්තිමට බංකොලොත් වෙලයි ඉන්නෙ කියල”
සුමනා තැතිගැන්මෙන් යුතු ව කීවා ය. නිකිනි ඒ බව හොඳට ම දනී. ඩෙස්මන් කියන්නේ පියෙකු සේ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ සීයා කෙනෙකි. දැන් ඔහු සන්තකයේ ඉතිරි ව ඇත්තේ දේපල ස්වල්පයක් පමණකි.
“අම්මයි ඩැඩියි තමයි මුල ඉඳලම ඔය ළමයව නරක් කළේ”
පාලිකා කෑම මේසයට එමින් කීවා ය. ඇය තකහනියේ බත් පතක් බෙදා ගෙන මේසය වෙන ආවේ ම සුමනා ගේ කතාව ඇසුණ බැවිනි.
නිකිනි බිම බලා ගත්තා ය.
“ඉල්ලන ඉල්ලන දේවල් දීල ඔය ළමයි දෙන්නව ඕනවට වඩා හුරතල් කළා. අපි මොනා හරි කිව්වහම කිව්වෙ අම්ම නැති දරුවො කියලනෙ”
“ඉතිං දැං පාලිකා මොකද්ද කියන්න හදන්නෙ…”
“කියන්න හදන්නෙ දැං රිසල්ට් එක ඇවිල්ල තියෙන්නෙ කියලයි. කසාදෙ එපා කියල ආවහම ඒකත් හා කියල ගෙට ගත්තා. දැං දික්කසාදෙ දෙන්න මංජුල ඉල්ලන ගාන ගෙවන්න මේ ගේ හරි විකුණයි. අන්තිමට එච්චරනෙ ඉතුරු වෙලා තියෙන්නෙ”
නිකිනි ට මහත් සන්තාපයක් දැනිණ. පාලිකා කරන චෝදනාව අසාධාරණ නැති බව ද ඇය ට දැනේ. ඩෙස්මන් නිවුන් දැරියන් දෙදෙනා ට කවදා හෝ කිසිදු අඩුවක් හෝ දැනෙන්නට හැර නැත. ඕනේ කියන දෙයක් ඕනේ කියන පමාවට ඔහු ඔවුන් වෙනුවෙන් ලබා දුන්නේ ය. ජගත් ගේ දරුවන් ට පියා ඉර හඳ හෝ ගෙනැවිත් දෙනු ඇතැයි පාලිකා එකල ද අරගල කළ හැටි නිකිනි ට මතක ය.
“හැබැයි අම්මෙ එහෙම කළොත් තමයි මේ පාලිකා කවුද කියල බලා ගන්න වෙන්නෙ”
සුමනා අඩ සිනහවක් හෙළුවා ය. නමුත් නිකිනි නම් උන්නේ හුස්ම ගන්නට පවා නො හැකි ගාණට ය.
“පාලිකා මොකොටද කලබල වෙන්නෙ…කොහොමත් මේ ගේ අයිති වෙන්නෙ පාලිකා ට නෙවෙයිනෙ…මිත්රටනෙ…”
“අම්මෙ මිත්ර කියන්නෙ කසාද බැඳපු මිනිහෙක් නෙවෙයි. දරු මල්ලො ඉන්න මිනිහෙක් නෙවෙයි”
“ඒ වුණාට ඉතිං පාලිකා මේ ගේ ගැන නං බලං ඉන්න ඕන කමක් නෑ”
සුමනා කටට දිවට නො දැනී මේ අවස්ථාවේ එයත් කියා දැමුවේ, කොයි වෙලේ හෝ එය අවධාරණය කළ යුතු බව සිත සිතා සිටි නිසාවෙනි.
“මේ ගේ නැතත් ඔය වන්දිය ගෙවන්නනං ඩැඩීට ඔය රෙන්ට් එකට දීල තියෙන බිල්ඩින් එකක් හරි විකුණන්න වෙනවනෙ. ඒක හරි අසාධාරණයිනෙ අම්මෙ. සන්තකේම මෙයාට වියදං කරල හරියනවද..”
එවර පාලිකා ගේ හඬ තරමක් හැඬුම්බර වන සෙයක් නිකිනි ට දැනිණ. ඇය නෙතු ඔසවා බැලුවා ය. මහත් ආත්ම අසරණ කමක් නිකිනි ගේ පපුව බර කරන්න ට විය.
“නෑ නැන්දි….”
පෙනහලු පිරෙන්නට නිකිනි හුස්මක් ගත්තා ය.
“මංජුලට වන්දි ගෙවන්න මං මේ කිසි දෙයක් විකුණන්න දෙන්නෑ. නැන්දිල බය වෙන්න එපා. එහෙම වුණොත් මං ආයෙ ඒ අපායට යනව”
“නි…කී…”
නිකිනි ට ඉකි බිඳී හැඬිණි. සුමනා ඇගේ හිස පිරිමදින්නට වූවා ය.
“ඕව මුලිං කල්පනා කරල වැඩ කළා නං මේ කිසි ප්රශ්නයක් නැනෙ. එහෙම වුණානං අර අහිංසකය…විදත් මේ කුණු ගොඩවල් වලට පැටලෙන්නෙත් නෑනෙ”
“පාලිකා දැං කියවන්නෙ නැතුව ඉන්නකො. පප්පෙක් විතරක් නෙවෙයි නිකිනි ට තාත්තෙකුත් ඉන්නවනෙ”
සුමනා ට උවමනා වූයේ පාලිකා නිහඬ කරන්නට යි. නමුත් ඒ කතාවෙන් පාලිකා තවත් ඇවිස්සුණා ය.
“හපොයි මොකට කියනවද ඉතිං එහෙම තාත්තල ගැන. එක පොල් පිත්තක් ගත්තනං එහෙම තාත්තල දහයක් දොළහක් වුණත් කපා ගන්න තිබුණා”
“නැන්දි මේ. මට ඕන දෙයක් කියල බනින්න. තාත්තිට ඔය විදිහට කතා කරනවට මං කැමති නෑ. අනිත් එක මං කිව්වනෙ වන්දි ගෙවන්න මේ පවුලෙ දේපල මුකුත් විකුණන්න තියන්නෙ නෑ කියල”
“හරි හරි බලමුකො අන්තිමට වෙන දේ”
කියා ගෙන පාලිකා පුටුවෙන් නැගිට ගත්තා ය.
“අපිත් ඕව නොදැක මැරෙන එකක් නෑනෙ”
නිකිනි බරැති සුසුමකින් නිදහස් වූවා ය. ඒ සුසුමේ කෙළවරින් අරඹා සුමනා ද සුසුමක් හෙළුවා ය.
“මගෙ ජුවෙලරි ටික විකුණුවොත් සෑහෙන ගාණක් ගන්න පුළුවන්. මං කසාද බඳිනකොට මගෙ අප්පච්චි දෑවැද්දට දීපු ඉඩං කෑල්ලකුත් ඇති ගමේ. අපි බලමු නිකී. කරන්න පුළුවන් දෙයක් මං නොකර ඉන්නෙ නෑ”
සුමනා එසේ කීවේ මේ මොහොතේ නිකිනි හිඳින මානසික තත්වය ගැන සිතා ඇය මඳක් සනසනු වස් නොව, අවංකව ම එහෙම කරන්න ට සිතා ගෙන ය. විදත් ඇයට ආදරය කරන බව ඊයේ සුමනා හොඳින් ම තේරුම් ගත්තා ය. ඔවුන් උනුන් ට පෙම් කරන එකේ වයස පරතරය ගැන නො සිතා ඉන්නට ඇය සිතා ගත්තේ ඉනික්බිති ය.
හැන්දෑවේ නිකිනි මිදුලේ බංකුව මතට වී කල්පනා කරමින් සිටියදි විදත් පැමිණි මෝටර් රථය පෝටිකෝව යට නතර විය. තුරුණුවෙකු සේ ඔහු රියෙන් බැස ගත්දී වූ පෞරුෂය දෙස ඇය බලා උන්නේ නෙතු පිය නො සලා ය.
“මොකද…”
ඈ එහි සිටිනු දුටු විදත් එහෙම අසා ගෙන බංකුව වෙත ආවේ ය. නිකිනි නො වෙනස් බැලමෙන් බලා සිටියා ය.
“ඇයි…”
ඇය නව යෞවනියක සේ සුකොමළ වූවා ය.
“ඇයි කියල තමයි මාත් ඇහුවෙ. මං දිහා ඔහොම බලං ඉන්නෙ ඇයි කියල”
විදත් බංකුව කොනේ ඉඳ ගත්තේ යන්තම් හෝ ඇගේ සිරුරේ ස්පර්ශ නො වෙනට වග බලා ගනිමිනි.
“වෙන කොහොම බලන්නද…බැල්මකිං කෙනෙක්ව ගිලින්න පුළුවන් නං මං ඔයා දිහා එහෙම බලල ඔයාව ගිලියි”
“මං දන්නව”
“මොනාද…”
“මට එච්චරට ආදරෙයි කියල”
ඔහු ඇගේ අතක් අල්ලන්නට ගියේ ය. නමුත් නිකිනි වහා ඒ අත ඇද ගත්තා ය. යටැසින් බලා පෑ ඇගේ මඳ සිනහවේ තේරුම ඔහු ට පසක් වූයේ පසු ව ය.
“මේක ලංකාව නේ…”
ඒ දෙතොලතර වූයේ දඩබ්බර කොල්ලෙකු ගෙන් දැකිය හැකි සිනහවකි.
ටික දවසකට හරි ඔයාව ඔසී එක්කං යන්න ඕනෙ. නිදහසේ ඉන්න”
ඇය බිම බලා ගත්තා ය. හුඟක් දේවල් හුඟක් ඉක්මනින් සිදු වූ බව ඇත්ත ය. නමුත් ඉදිරියේ දී වෙන්නට නියමිත දේවල් ගැන දැන් ඇය ට දැනෙන්නේ දෙගිඩියාවකි. මුදල් කියන්නේ ජීවිතයකට බලපෑම් කළ හැකි ප්රබල සාධකයක් බව ඇය වඩාත් පැහැදිලි ව වටහා ගත්තේ මේ දික්කසාද නඩුව නිසාවෙනි. මංජුල අමානුෂික ලෙස ඉල්ලා සිටින වන්දිය ගෙවන්නට ඔවුන් ගේ දේපළ විකුණා දැමිය යුතු වනු ඇත. ජගත්, ඔහු ට පිය උරුමයෙන් ලැබුණ පොල් වත්ත විකුණන්නට තීරණය කළ බව හැන්දෑවේ ඩෙස්මන් ට කතා කොට කීවේ ය
“හැම දේටම වඩා වටින්නෙ නිකිනි ගෙ සතුට ඩැඩා. මට එයාගෙ අමමගෙ සතුට ගැන හිතන්න තරං අවබෝධයක් තිබුණෙ නෑ ඒ කාලෙ. ඒක නිසා මෙ සැරේ මං වරදින්න දෙන්නෑ”
නිකිනි ට දුක ය. ජීවිතයේ එක තැනක් වැරදී ගිය විට එතැන නිවැරදි කරනු වස් ජීවිතයෙන් ම වන්දි ගෙවන්න ට සිදු වේ.
“ඕගොල්ලො කල්පනා කරන්නෙ මංජුල ඉල්ලන වන්දිය ගැනනං…ඒක ප්රශ්නයක් කර ගන්න එපා”
තේ මේසයේ දී විදත් එසේ කියූවේ මේසය වටා හිඳ තේ බොමින් සිටි සියලු දෙනා උනුන් ගේ මුහුණු දෙස බලවමිනි. ඒ තේ මේසයෙහි විශේෂත්වය වූයේ විදත් මුණ ගැසෙනු වස් ජගත් ගේ පැමිණිමයි. ජගත් මේ ඔහු ව දකින්නේ විදෙස් ගත වූවා ට පසු ප්රථම වතාවට ය.
“ඒ වන්දිය මං ගෙවනව”
පාලිකා ට තේ උගුරක් හිස්මොළයේ ගියේ ය.
“නෑ විදත්”
ජගත් සිය ගැඹුරු හඬ අවදි කළේ ය.
“මං මගෙ පොල් වත්ත විකුණන්න ඉන්ටනෙට් එකේ ඇඩ් එකකුත් දාල ඉවරයි”
“ජගත් අයිය…”
විදත් ඔහු ට පුරුදු සහ පහසු ආමන්ත්රණයෙන් ජගත් ඇමතුවේ ය.
“නිකිනි වෙනුවෙං ඔයිට වැඩිය ගෙවන්න වුණත් මං ඒක කරනව. ඕගොල්ලො මේ කන්ඩිශන් එක තේරුං අරගෙන මේකට කැමැතථ දීපු එක විතරක් ඇති”
“කොහොමත් ඔය ලෑන්ඩ් එක දවසට නිකිනිටයි බිනුරිටයි දෙන් තිබුණ එකක්නෙ. ඒකෙ ප්රශ්නයක් නෑ”
“ඒත් ඒක විකුණල දාන එක අපරාදෙනෙ. ඒකෙ පරම්පරා වටිනාකම විකුණන වටිනාකමට වැඩිය ගොඩක් වැඩිනෙ”
“විදත් පුතාගෙ ඒ කතාව ඇත්ත. ඒත් මේක අපේ යුතුකමක් පුතා. අපේ වගකීමක්. අපි නිකිනි ව ඔයාට බාර දෙන්න ඕනෙ මේ හැම දේකිංම නිදහස් කරල…”
ඩෙස්මන් වඩාත් වගකීම් සහගත ලෙස දෙඩුවේ ය.
“අංකල්…මං හම්බ කරපු හැම සතයක්ම මංජුල ට ගෙවල නිකිනි ව ආපහු ගන්න වුණත් මං ඒක කරනව. අපි ඔය ඉඩං විකිණිලි වලට නොයා ඉමු. මොකද පහුගිය අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සෙ මංසල්ලි හම්බ කළා විතරයි. වියදං කරන්න හේතුවක් තිබුණෙ නෑ. මං කැමතියි මේක මගෙ සල්ලි ටිකක් වියදං කරන හේතුව වෙනවට. මොකද…නිකිනි කොච්චර මට වටිනවද කියල එතකොට මගෙ හිත ම තේරුං ගන්නව”
මිත්ර සිය මිතුරා ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය. සහස් මහපටැඟිල්ල ඔසවා විදත් ට ආශිර්වාද කළේ ය.
“නිකිනි ලකී ගර්ල්…මං හැම වෙලේම කිව්වෙ දෙවියන් වහන්සෙගෙ කැමැත්ත විදිහට හැම දේම සිද්ද වෙයි කියල”
ඒ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත දැයි නිකිනි ත් සිතුවා ය. ඇය ළඟ තිබුණේ ඉපැරණි ආදරයක් පමණකි. ඒ ආදරය ට හිලව් කොට විදත් ඔහු හරි හම්බ කළ විශාල මුදලක් මංජුල ට ගෙවන්නට සැරසෙයි. සිය ආදරය ඒ තරම් අගනේ දැයි නිකිනි මුල සිට සිතිය යුතු ව තිබේ.
“ඇයි බය වෙලා වගේ ඉන්නෙ…”
ඔබේසේකර මැදුරෙන් නික්ම යන්නට පෙර, රිය ට නැගෙන්නට මත්තෙන් විදත් නිකිනි දෙස බලා ඇසූයේ ටික වෙලාවක් තිස්සේ ඔහු ගේ හිතේ වූ ප්රශ්නයකි.
“ම්…මොකක් හරි අවුලක්ද…”
“මාව එච්චරම වටිනවද…”
ඔහු එක එල්ලේ ඇගේ ඇස් දෙක දෙස බලා උන්නේ ය.
“මං වගේ මුකුත් ම නැතුව හිටිය හිඟන්නෙක් ට එක පාරටම ආදරේක වටිනාකම දීපු ගෑනිව මට ජීවිතේටත් වැඩිය වටිනව නිකිනි. මගෙ සක්තකේටම වඩා මට ඔයා වටිනව. මොනවත් ම නැති හිඟන්නෙක් වුණත් ඔයා මාත් එක්ක එනව කියල මං දන්නව. එහෙම වටිනකමක් මට දීපු ඔයාව මට එච්චර වටිනවද කියල ඔයා අහනව…”
ඔහු ගේ දෙතොල් පෙති අතරේ තෘප්තිමත් සිනහවක් නළියනවා අඩ අඳුරේ ම ඇය දුටුවා ය. තවත් ටික වෙලාවක් ඔහු ළඟට වි ඉන්නට ඇත්නම් යයි නිකිනි ට සිතිණි. ඒත් ඔහු රිය දොර ඇරියේ ය.
“එහෙනං…මං යන්නද…”
ඈ ඔහු ගේ අතක් ගෙන තද කොට අත්ල සිප ගත්තා ය.
“මං මගෙ ඉරණමට ආසයි”
ඇය හෙමිහිට මිමිණුවා ය. රෑ අඳුරේ රිය පදවා ගෙන යන අතරේ දිගට ම විදත් ට නිකිනි ගේ ඒ වචන ටික ඇසුණේ ය.