කලු කුමාරි

මාලනී කඩිමුඩියේ ගේට්ටුව වහගෙන ඇතුලට එනවා දැකලා මිදුලේ හිටපු සරත් ඒ පැත්තට ඇවිදගෙන ගියා. උඩ තට්ටුවේ ඉඳන් අහසේ පින්තූර අරගනිමින් උන්න සමිලත් අම්මාගේ කලබලේ දිහාවට ඇස් ඇලෙව්වා. 

“මොකෝ මාලා….”

සරත් එහෙම විමසගෙනම විමසිල්ලෙන් ගේට්ටුවෙන් පාර දිහාවට එබුණා. මාලනී තමන්ගේ සැමියාට උත්තර දෙනවා වෙනුවට කලේ ගේට්ටුව අස්සෙන් එබිල බලාගෙන හිටපු එක. ඊටත් පස්සේ ගේට්ටුව පහු කරගෙන ගියපු තරුණ ජෝඩුවක් දිහාව තව තව උනන්දුවෙන් බලනවා සරත් වගේම සමිලත් දැක්කා.  අම්මගේ සමහර හැසිරීම් ගැන තමන් ට තියෙන කලකිරීම නිසාම සමිල ඒ දසුන් මඟාරින්නම හිතාගෙන කාමරේ ඇතුලටම ගියා. 

මාලනී යන්න ගියපු ගමනත් නවත්තලා ගේ ඇතුලට ගියා.  සරත් ඒ ගැන විමසුවත් කිසිම පිළිතුරක් නොලැබුන තරම්. සරත් ගැන වගක්වත් නැතුව සාලේ සෙටියේ ඉඳ ගත්තා. ඊට පස්සේ කාටදෝ ඇමතුමක් අරගෙන මහ විස්තරයක් කියන්න ගත්තා. සරත් එතැනින් ඉවතට ඇවිදගෙන ගියේ ඒ කතා බහ අහගෙන ඉන්න එකම මානසික පීඩාවක් බව දන්න නිසා. ඒත් පුරුදු විදියටම ඇමතුම අවසාන කරලා මාලනී සරත් දිහාවට ඇවිදගෙන ආවා.

“සරත්… දන්නවද ඒ කවුද කියලා …’

“කවුද ?”

“අර ගියපු ජෝඩුව…”

” මං කොහොමද දන්නේ මාලා….”

“ඒ අපේ බොස්ගේ පුතා …”

“කාගෙද ? වීරවර්ණ මහත්තයා ගේ ?”

” ඔව්ව් ඔව්… ඒ ලොක්කාගේ තමා… දැන් ඉතින් සායම හේදිලා යයි මිනිහගෙයි, ගෑණිගෙයි දෙන්නගේම..  පොඩි පුතණ්ඩියා ඉංජිනේරු විද්‍යාලේ යන්න තේරුනය කියලා පුදුම මහන්තත්තකමක හිටියේ… දැන් තේරෙයි…”

“මොකද්ද වෙලා තියෙන්නේ මාලා ..?”

” ඔය ලොකු කොල්ලා ගාර්මන්ට් පැක්ටරි එකක ලොකු පුටුවක ඉන්නේ සරත්… හොඳ නිවුණ කොල්ලා.. අපේ ඔෆිස් එකෙත් පොත්ත සුදු අම්මණ්ඩිලා කොල්ලාට ඇහැ ගහගෙන හිටියෙ… දැක්කද ඒ වුණාට කොල්ලා අන්තිමේදී පටලගෙන තියෙන කලු කුමාරි ?”

මාලනී ගේ භාශා විලාශය කිසිම තැනකදී,කවදාවත් වෙනස් නොවෙන එක ගැන සරත් ට හැමදාම දැනෙන සිතුවිල්ල ආයෙම දැනුණා. ඒ සිතුවිල්ල එක්ක බර හුස්මක් වැටුණා.

“මොනවද ඔය කතන්දර මාලා.. දරුවෝ නේද ඔය …?”

“හරි අනේ… අන්තිමේදී කොහොම හරි ඒ කොල්ලා යාලු වෙලා තියෙන්නේ කට්ට කලු කෙල්ලෙක් එක්ක.. එකත් එකටම ගාර්මන්ට් වල මැශින් පාගන එකියක් වෙන්නැති…”

” ඒ කවුරු උනත් ඔයාට ඒකෙන් වැඩක් නෑ මාලා.. ඒ ළමයින්ගේ පෞද්ගලික ජීවිතේ  ඔහොම එක එක මිනිස්සුන්ට වෙන්දේසි දාන එක නම් ඇත්තටම අප්පිරියයි … ඔයා අවුරුදු ව්සි ගානක කොල්ලෙක් ගේ අම්මා කෙනෙක්… ඒක මතක තියාගෙන වැඩ කරන්න…”

සරත් ට මාලිනීගෙ මේ හැසිරීම් ගැන දැනෙන කෝපය දැන් පිළිකුලක් බවටත් පෙරලෙනවා. මිනිස්සුන්ගේ ජීවිත වලට එබි එබී ,ඇණ ඇණ කුණු රහ ට බෙදන්න උත්සාහ කරන කාන්තාවක් තමන්ගේ බිරිඳ වීම ඇත්තටම හරි අවාසනාවක් බව සරත්ට  කියාගන්න ඕනි වුනත්, සරත් ඒ බව ගිල ගත්තා. මාලිනීට මුවින් නොබැණ මිදුලටම ඇවිදගෙන ගියා.

මාලනීට සරත්ගේ හැසිරීම් වලින් වගේ වගක් තිබුණේ නෑ. කාර්‍යාලයේ එක එක්කෙනාට ඇමතුම් අරගෙන මේ සිදුවීම රහ කර කර බෙදන්න ගත්තා. 

සරත් ඒ වචනයක් වත් නෑහෙන්න හිතාගෙන  මිදුලේ කොනටම වෙලා හිටියා. ආදරේ කරන කාලේදිත් මාලනී ළඟ මේ ගතිගුණම තිබුණා නේද කියලා සරත් ට මේ මතක් වෙන්නෙ සිය දහස් වෙනි වතාවට. ඒත් ඒ කාලේ ඒ දේවල් වල බරක් නොතිබුණ බවත් සරත් කල්පනා කලා. 

තමන්ගේ මිතුරන් අතරේ පවා මාලනීගේ මේ සමහර පුරුදු කියවිලි කතා බහ වෙන බව දැනගන්න වාරයක් ගානේ සරත්ගේ මිතුරු සමාගම් වල හමු මඟෑරෙන එකයි වුනේ. ජීවිතේ සමහර දේවල් මාලනී හින්දාම අතෑරල දාපු හැටි මතක් වෙනකොට  සරත්ගේ පපුවට හීන් රිදුමක් දැණුනා. විවාහය ඇතුලෙ තමන්ට තමන්ව එච්චරට අහිමි වෙලා කියන වේදනාවෙන් සරත් ආයේ ආයෙම කුඩුපට්ටම් වෙන්න ගත්තා. 

සරත් ගේට්ටුව ඇරගෙන එලියට බැස්සා. ඉස්සරහ ගෙදර අම්මලා, දූලා වත්තේ වගා වැඩ. සරත්ගේ හිත ආයෙම රිඳුණා.

“අනේ ඔය මඩ ගොඩවල් වල බැහැගෙන වැඩ කරන්න පුලුවන් කාටද සරත්… ඔයාට මල් ඔනි නම් මම හොඳ වැන්ඩා ටිකක් ඕර්ඩර් දාන්නම්…”

මාලනීගේ හඬ ඇහුණා.  සරත්ගේ අතක් හිරි වැටීගෙන ඇවිල්ලා තිබුණේ. ඒත් ඒක ගානකට නොගෙනම සරත් පාරේ තව අඩි දෙක තුනක් ඇවිද්දා. ඊට පස්සේ හැමදේම කලුවර වෙලා ගියා. 

මාලනී පියවි සිහියට ආවේ සමිලගේ හඬින්. 

“අම්මලාගේ බොස්ගෙ ලේලි තමා තාත්තව බලලා තියෙන්නේ අම්මේ… ඒ අක්කා කීවා දැන් තාත්තා අවුට් ඔෆ් ඩේන්ජර් කියලා…”

මාලනීගේ ඔලුව උඩ මහා පිපිරුමක් එක්ක ඒ හඬ ඇහුණා. මාලනී සමිල ඒ කීව කතාව විශ්වාස කරගන්න බැරුව වගේ ඒ දිහාම බලාගෙන හිටියා.  ඒත් ඒ ඇත්ත විශ්වාස කරන්න මාලනීට සිද්ද වුනා.

“මායි  චාලකයි ආන්ටිලාගේ රෝඩ් එකේ යමින් ගමන් තමයි අංකල් ෆේන්ට් වෙනවා දැක්කේ..ෆර්ස්ට් ඒඩ් දිදී අපි ඉක්මනට හොස්පිටල් ගෙනාවා ආන්ටි .. ඒ නිසා ඔක්කොම හොඳින් හොඳේ… කලබල වෙන්නෙපා… අපි අංකල්ව අන්ඩර් ඉන්වෙස්ටිගේශන් තියාගනවා ට්වෙන්ටි ෆෝර් අවර්ස්… ඊට පස්සේ ඔක්කොම හරි…”

අර කලු පාටයි කීව කෙල්ලගේ රිදී පාට හඬ දෝංකාර දෙන්න ගත්තා. මාලිනි අඬාගෙනම පුටුවක ඉඳ ගත්තා. 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles