“අද ඉඳන් තරිඳි ෂූටින් එනවනෙ..”
ටෙලි නාට්‍යයේ රූගත කිරීමට යන අතර ඉඳුවරට ආරංචියක් ලැබිණ.එක්වරක් දුටු යෞවනිය දැක ගැනීමේ ආශාවකින් ඔහු පිරී ගියේ ය.බොහෝ යුවතියන්ගේ ප්‍රේමාරධානා ඔහු උසුලන්නේ සිනාවකිනි.ඒ එක් දෑසක්වත් ඔහුව කළඹන්නට සමත් වී නැත.
“උඹට කෙල්ලක් හිටියේ නෑ කියන්නෙ මහම මහ බොරුවක්.ආදරයක් තාම දැනිලා නෑ කියලා පත්තරවලට බොරු ඉන්ටර්විව් දෙන්න එපා බං..ඇත්ත කියහං…”
රූගත කිරීම් වලට කාලය එනතුරු හිඳිද්දී ඉඳුවරට එසේ කීවේ තරුණ නළුවෙකි.සියල්ලන්ම හිනැහිණ.ස්ථානයට ආධුනික නිසා කෝල බවින් හිඳින තරිඳි ද හිස ඔසවා හිනැහුණා ය.
“රජීව්ගේ ලව් වගේ චාටර් වෙන්නත් එපා මල්ලි..මෙයා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පිරෙනකම් ෆොටෝස් දැම්මා, ලෝකෙ හොඳම ආදරේ ගැන ඉන්ටර්විව් වලට කිව්වා.කෙල්ල ඇමති පුතාව බැන්දා..”
මැදිවියේ නිළියක කියන්නේ රජීව්ට සරදම් කරමිනි.නැවත සිනාවෙන් පිරී ගිය තැන ඊළඟ අවධානය යොමු වූයේ තරිඳිට ය.
“ඔව් නංගි..දැන්ම හොඳ සල්ලිකාරයෙක්ව ඒම් කරන්න.චාතූර්යාත් ටෙලි දෙකක ඇක්ට් කරා.රජීව්ගේ සංසාරගත ප්‍රේමය වෙලා පත්තර පිරෙව්වා.අන්තිමට යොමාල්ව කසාද බැන්දා..ඔන්න දියුණු වෙන කෙල්ලෝ..”
තමන් අඩිය ගැසුවේ පහසු බිමකට නොවන බව තරිඳි සිතුවා ය.හඬ නඟා හිනැහෙන පිරිස අතර නිහඬ සිනා දෙන්නට ප්‍රවේසම් වන ඉඳුවර වෙතට තරිඳිගේ ඇස් බැල්ම යොමු විය.ඔහු අන්අය මෙන් මේවාට හිනැහෙන්නේ නැත.
ඉඳුවර සේම රියැලිටිය නිසා රඟපෑමට ආ සිතිජ ද අහංකාරයන් යැයි තරිඳි සිතුවා ය.
“චාතුර්යා නෙවෙයි බං ඇත්ත නම…චතුරිකා.අර ෆීල්ඩ් එකට දාගත්ත නම..චලනි අක්කටත් තියෙන්නෙ චාරුලතා වගේ නමක්ද?”
රජීව්ගේ කියවිල්ල නිමක් නැත.ඔහු ඒ අතරම තරිඳි වෙත හැරුණේ ය.
“නංගිගෙ නම තරිඳි කිව්වා නේද? ඇත්ත නම මොකක්ද?”
යළිත් සිනාවක් පැතිර ගියේ ය.ඒ තමන්ගේ සැබෑ නම වග තරිඳි හෙළි කළේ අපහසුවෙනි.අසීරුවෙන් වටපිටාව බලද්දී ඉඳුවර ඇයට දෑසින් හඬ ගසන අන්දම තරිඳි දුටුවා ය.
“කේසරගෙ කෙල්ලට රඟපාන්න ආව ගමනනෙ නංගි.ඔන්නොහෙ මුංට බයිට් නොවී මෙතෙන්ට වෙලා ඉන්න..”
කතා කළේ සිතිජ ය.තරිඳි ඔහු හා හිනැහුණා ය.
“ඔව් නංගි..මේ කසාද බැන්ද මිනිස්සු එක්කත් වැඩි ඇයිහොඳයි ඕන නෑ.මං ඉන්නව ඔයාට..”
ඉඳුවර එසේ කියද්දී තරිඳි සිතිජ දෙස බැලුවේ විමසිල්ලෙනි.සිතිජ හිනැහී ඉවත බලා ගත්තේ ය.සිතිජ විවාහක වගක් කිසිතැනක සඳහන් වන්නේ නැත.ඉඳුවර කළේ සරදමක් දැයි තරිඳි සිතන්නට ගත්තා ය.
අමන්දී දවස ගෙව්වේ හෝන්දු මාන්දුවෙනි.කාලාන්තරයකට පසු ඉඳුවරගේ කටහඬ ඇසීම ඇයට මහත් වේදනාවකි.සනුරිට අමතා හඬන්නට සිත් වූවද අමන්දී ඒ සිතුවිල්ලට ඉඩ නොදුන්නා ය.සනුරි අදීෂට බැන වදිනු ඇත.තමන් නිසා ඒ දෙදෙනා අතර ගැටුමකට ඉඩ දිය යුතු නොවේ.
“අදත් ඔලුවෙ රදේද?”
අවිශ්ක කාමරයට ආවේ එසේ අසාගෙන ය.හිසරදය හෝ ඔලුවේ කැක්කුම වෙනුවට ඔහු භාවිතා කළ වචනය ඇයට සිනා ගෙන ආවේ ය.
“හිතේ අමාරුවක්..”
අමන්දී ඇත්තම කීවා ය.බැඳීම රැක ගන්නට බොරු කියන්නට ඇයට නුවුමනා ය.හදවතින් නොබැඳුණු අවිශ්කගේ නීතිමය බැඳීම ලෙහී ගිය ද කම් නැතැයි අමන්දී සිතුවා ය.
“සඳා කිව්වා..”
අවිශ්ක කෙටි පිළිතුරක් දී ඇය අසලින් හිඳ ගත්තේ ය.අමන්දීගේ දෑසින් කඳුළු උතුරමින් තිබිණ.
“කාලෙකට පස්සෙ මං එයාගෙ කටහඬ ඇහුවෙ..”
ඇය කඳුළු පිසලමින් කීවා ය.
“ඒකනම් බොරුවක්..ටීවී එක දාන්නෙ කොයිවෙලාවෙද ටීවී එකේ ඉන්නේ ඒ මනුස්සයා..”
එය පහසුවෙන් හිනැහෙන්නට වටිනා විහිළුවකි.අමන්දී හරිබරි ගැසී හිඳ ගත්තා ය.
“එයාට මොනවහරි කියන්න තියෙන්න ඇති නැත්තං අදීෂ කවදාවත් ඔහොම කෝල් එකක් මට අරන් දෙන් නෑ..”
අමන්දී කියන්නේ කල්පනාබරව ය.අවිශ්ක ඇඟිලි තුඩකින් ඇගේ කම්මුල පිස දැමුවේ ය.ඒ ඇඟිලි මෙතරම් රළු නොවෙන්නට තිබුණු බව අමන්දී සිතුවා ය.
“දැං මොනව කිව්වත් මොකක් කරන්නද අමන්දි..ඔයා දැන් මගේනෙ..”
අමන්දී ඒ වාක්‍යයට ඇති බර ගැන සිතන්නට ගත්තා ය.සැබෑ ය ඇය දැන් අවිශ්කගේ ය.ඉඳුවර ඇයට යළි හැරී එන්නැයි කීවද තේරුමක් ඇත්තේ නැත.