“මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…”
අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය.
“අර දෙකේ ඇලේ සුමනා මාර කතා කියන්නේ අප්පා.ඔයාලගෙ අම්මා එකපාරක් සීනි මතුරලා සුරේකට පිස්සු වැට්ටුවලු..ඊට පස්සෙ ආයේ පාරක් මට දුන්නලු..මාව වශී කළාලු.අනේ මොනවද අවිශ්ක මේ කතා?”
එහෙත් ඔහු සිටියේ හොල්මනක් බඳුව ගැහෙමිනි.අමන්දී සැමියා දෙස පුදුමයට පත් දෑසින් බැලුවා ය.
“ඔයාට මොකුත් දුන් නෑ.ඔයා බලන්න ගිය කාලෙ නුවර පැත්තෙ වලව්වකටත් ගියා අපි.අම්මට වැඩියක්ම උවමනා උනේ ඒ මංගල්ලෙ.මං තමා ඔයාට කැමැත්ත දුන්නේ..”
ඔහු යන්ත්‍රයක් පරිද්දෙන් කියවයි.අමන්දී සැමියා තදින් අල්ලා ගත්තා ය.
“අවිශ්ක,ඇයි මේ හේතු කියවන්නෙ..ඔයා හිතනවද මං ඒක පිළි ගත්තා කියලා.මට ඕවා විකාරයි..ඉස්සර කැම්පස් ළමයිත් කියනව ඕව.ඒත් අනේ මොන මෝඩ කතාද?”
අවිශ්ක කඩය තුළ වූ ශීතකරණයෙන් සිසිල් බීම බෝතලයක් ගත්තේ ය.ඔහු එය කඩා එකහුස්මට බොන අන්දම අමන්දී බලා හුන්නේ පුදුමයෙනි.
“වශී කරනව කියන්නේ ඒ මනුස්සයට ඇලිලා ඉන්න එක අමන්දී.ඔයාගේ හිතේ වැඩි හරිය අර ගායකයා ළඟ කියල මං දන්නව..අපේ අම්මල ඔයා වශී කරගෙන මේ කටයුත්ත කරගත්ත කියන්නෙම බොරුවක්..”
අමන්දී අවිශ්ක අත තිබූ සිසිල් බීම බෝතලය ගෙන උගුරක් බීවා ය.ඇයට මේ හෙණ ගෙඩිය ගැන තිබුණේ වියවුලකි.කඩයට කඩාපාත් වී ඕපාදූප දෙඩූ ගැහැනිය පිටත්ව ගියේ ණය පොත පුරවා ය.අමන්දීට එය විහිළුවකි.ඒ විහිළුවට ඇයට සැමියා හා හිනැහෙන්නට ඕනෑ විය.නමුත් ඔහු බය බිරාන්තව හේතු දක්වමින් පසු වේ.
“මට ඔය දේවාලෙ තියන තැන කියන්නකො අවිශ්ක..හිතුණොත් මං ඉඳුවරව වශී කරගන්නව..”
තමන් කළ විහිළුවට අමන්දී ම උස් හඬින් හිනැහෙන්නට ගත්තා ය.
“ඔය හාමුදුරුවෝ ගාව හරියට ඇත්ත ගුරුකං තියනව අමන්දී..මට විස්වාස නෑ අපේ අම්මව.සුරේකව උමතු කරපු එක ඇත්තක් කියලමයි මට හිතෙන්නෙ.මාව එපා උනා හරි.ඒත් අසේලයව බැඳ ගන්න තරං..අපේ අම්මා එහෙම ජරා වැඩකට හිත හදා ගත්තේ කොහොමද?”
අමන්දී පුදුමයෙන් බලා සිටියා ය.ඔහු ඒ කතාව විශ්වාස කරන හැඩකි.හරිහැටි අඳුනා ගත නොහැකි වූ පළාතක, නොදන්නා මිනිසුන් රැසක් රහස් සඟවා ගත් හැඩකි.ඇය විමතියෙන් සහ නොසන්සුන් බවකින් බලා හුන්නා ය.
“ඔයා ඇයි අවිශ්ක මේ ඉස්කෝලෙ යන ළමයෙක් වගේ හැසිරෙන්නෙ..ඔය වගේ විකාර විශ්වාස කරන්නද ඔයාට තියෙන්නේ?”
අමන්දීගේ හඬ මතුව ආවේ තරහිනි.නමුත් තදිනි.එහෙත් අවිශ්ක තදින් බිඳී ගොස් තිබිණ.ඔහු හැදී වැඩුණු පරිසරය ද ඔහුට අසන්නට දකින්නට ලැබුණු දේ ද වෙනස් ය.ඔහු ප්‍රතිචාර දක්වන්නේ ඒවාට බව අමන්දී සිතුවා ය.නමුත් මෙවැනි විකාරසහගත කාරණාවක් වෙනුවෙන් ඔහු පෙළෙන්නට ගැනීම ගැන ඇයට ඇති වූයේ වේදනාවකි.
“ඔහොම කතා තියනවා අමා..මං ඇත්ත නැත්ත හරියටම දන් නෑ.ඒත් මහ අමුතු කතා මාත් අහලා තියනවා.හොඳට ඉන්න පවුල් කැඩිලා ගිය හැටි, හොඳට ඉගෙන ගන්න ළමයි එකපාරටම විභාග ෆේල් වෙන හැටි ඔහොම අමුතු කතා.ඇත්ත බොරුව ගැන කියන්න අපි ඒ මුලු සිද්දියම දන්නෙ නෑනෙ ඉතිං..”
අමන්දීගේ කතාව දුරකථනය ඔස්සේ අසා හුන් සනුරි පැවසුවා ය.නමුත් අමන්දී එය ඕනෑවට වඩා පිළිගන්නට නොසතුටු විණ.
“අවිශ්ක මාව බඳින්න හිත හදා ගන්න ඇත්තෙ සුරේකා වෙනස් වුණු හින්දා.අම්මලා බැන්න ගමන් සුරේකා වෙන මනුස්සයෙක් බැඳලා දරුවෙකුත් හදා ගත්තු හින්දා.ඒත් දැන් එයා ඒකට වෙන හේතුවක් ඇති කියල හිතනවා.අවිශ්කත් මගෙන් ඈත් වෙලා යයිද කියල මට බයයි සනූ..”
අමන්දී පැවසුවේ ශෝකි ස්වරයකිනි.ඇය අවිශ්කට ආදරය කරන්නට හිත හදා ගත්තා විතර ය.ඔහු සමඟ ජීවිතය අපහසු නැති බවට තමන්ටම තේරුම් කර දී ගෙවී ගොස් ඇත්තේ ස්වල්ප දිනයකි.හදිසියේ ම ඔහු අතීතය ගැන ශෝක වන්නට පටන් ගෙන ඇත.තමන්ට ඇත්තේ අවිනිශ්චිත අනාගතයකි.
“ඔයාට තිබ්බෙ මුදලාලි හාමිනේ කෙනෙක් හැටියට ඒ ගෑනු කෙනා ණය වෙලා ගිය හැටි අවිශ්කට කියන්න..ඔයාගෙත් වැරැද්ද අමා.මොන කෙහෙම්මලකට ද ඒ විකාර කියන්න ගියේ..”
සනුරි එසේ පැවසුවේ මිතුරිය තවත් වියවුලට පත් කරන්නට නොවේ.නමුත් අමන්දී ඉන් වඩා ශෝක වූවා ය.නොසිතා ක්‍රියා කිරීමේ සම්පූර්ණ වරද තමන්ගේ ය.
අවිශ්ක හුන්නේ ද කැළඹීමෙනි.ඔහු තැනුණු ලෝකයට අනුව ඒ බැහැර කළ යුතු ආරංචියක් නොවේ.අම්මා සුරේකා සම්බන්ධයෙන් කටයුතු කළේ වියරුවෙනි. කොල්ලෙක් සහ කෙල්ලක් ප්‍රේම සම්බන්ධයක් අරඹන්නේ කෙල්ලගේ අසංවරකමට බව ඇය දැඩි ලෙස විශ්වාස කළා ය.
“ඒකිට මෙතන සැපට ඉන්න මගෙ කොල්ලා අල්ලගෙන.මං මෙතන ඇවිල්ල රජ වෙන්න දෙයි කියල හිතාගෙන ඇති..”
අම්මා නොයෙකුත් නොසරුප් වදන් ද සාප කිරීම් ද සමඟ හඬා වැලපුණු අන්දම අවිශ්කට අමතක වන්නේ නැත.ඔහුට අම්මාට එරෙහිව වචනයක්වත් කියා ගන්නට දිරියක් වූයේ නැත.සොවක් දැනෙන්නේ ද එනිසා ය.
“සුරේකා අක්කා පස්සෙන් ඇවිල්ල බලහත්කාරෙන් මෙයා එක්ක යාලු උන් නෑනෙ අම්මෙ.මෙයා පහුගිය කාලෙම පුදුම වදයක් සුරේකා අක්කට දුන්නෙ.පස්සෙන් ගිය තරම දැක්කෙ අපිනෙ.ඔය බැනිලි ටික අම්මගෙ පුතාට කරන්න.එයාට බනින් නැතුව සුරේකා අක්කට බැනලා වැඩක් නෑනෙ.අනික ඒ ගෙදර මිනිස්සු මෙහෙ ඇවිල්ලා බැන්නෙත් නෑනෙ..”
සඳුනි තමන්ට හැකි අයුරින් අම්මාට එරෙහි වූවා ය.ඇයගේ කොන්ද හරහා සැර පාරක් දෙන්නට එක දවසකටත් තවත් දවසක ඔලුව ගෙඩි ගැහෙන මට්ටමේ ටොක්කක් හැඳි මිටෙන් දෙන්නටත් අම්මා ක්‍රියා කළා ය.නමුත් නංගී තවමත් සිට ගන්නේ සුරේකාගේ පාර්ශවයේ බව අවිශ්ක දනියි.
කිසිම අංගපුලාවකට නැති අසේල හා සුරේකා විවාහ වූ බව ඇසූ අම්මා කැවුම් ඉවූ හැටි අවිශ්කට මතක ය.
“මදනය ගහපු උන්ට ඕන මිනිහෙක්.ඕකි මදනය ගහල හිටියෙ.උඹ හිතන් හිටියෙ යසෝදරා දේවි සිදුහත් උත්තමයා පැතුවා වගේ ඕකි සංසාරෙම උඹ ප්‍රාර්තනා කරලා කියලද.ඕං පේනවනෙ.”
අම්මා පුදුමාකාර සතුටකින් ඉපිල ගිය අන්දම අවිශ්ක සිහි කළේ ය.ඔහුට දැන් සියල්ල පෙනෙන්නේ නුහුරට ය.හැමදෙයකම සැඟවුණු හේතුවක් ඇතැයි ඔහු සිතී ය.
දරුවෙකුට තමන්ගේ අම්මා අවිශ්වාස කරන්නට සිදු වීම දෛවයේ ඉතා අවාසනාවන්ත අවස්ථාවකි.අවිශ්ක ඒ අවස්ථාවට මුහුණ දෙමින් සිටියේ ය.