ඉඳුදුන්න -19

ඉඳුවර සිටියේ ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ය.රූපවාහිනී වැඩසටහනක් ඇරඹෙන තුරු ක්‍රීඩාවක නිරතව සිටි ඔහුගේ දැහැන බිඳී ගියේ පිටට ලැබුණු මෘදු තට්ටු කිරීමකිනි.

“හරී…බිසී නේද?”

තරිඳි දැන් කතා කරන්නේ ඕනෑවට වඩා ඇදපැද බව ඉඳුවර සිතී ය.ඇය නිළියක වූ පසු පැවැත්ම ඉතා වෙනස් වී ගොස් ය.

“ගේම් එකක් ගැහුවා..” ඉඳුවර ඇයට පැවසුවේ සැහැල්ලුවෙනි.තරිඳි හඬනගා හිනැහුණා ය.

“ගේම් නම් ගහනවා ඇති තමා..” ඇය කියන්නේ ඇඟට පතට නොදැනී ය. ඉඳුවර මඳහසකින් තම සහාය නිළිය දෙස බලා හුන්නේ ය.

“අපි එහෙම ගේම් කාරයො කියල නංගිට හිතෙනවද?” ඉඳුවරගේ පැනයට තරිඳි යළිත් කළේ හිනැහීම ය.තිරයේ දුටු සිහින කුමරා අද විහිළු කර හිනැහෙන තරමට සමීප වී හිඳීම ඇයට සතුටකි.එය සතුටකටත් වඩා අමුතුම මිහිරියාවක් බව ඈ සිතුවා ය.

“කෙල්ලෝ චැට් කරන්නෙ නැද්ද?” තරිඳි අසන්නේ මවාගත් පුදුමයකිනි.

“එවනව ඉතිං…”

“අපෝ කොච්චරක් කෙල්ලො ඔයාට ක්‍රෂ් ද..” තමා තවමත් ඒ කාණ්ඩයට අයත් බව නොකියා තරිඳි එසේ පවසයි.ඉඳුවර යළිත් හඬ නඟා හිනැහෙන්නට පටන් ගත්තේ ය.ඒ මිහිරි සිනාවේ ගිලී යන්නේ නොදැනීම වග තරිඳිට දැනේ.ආකර්ෂණය ප්‍රේමයට වඩා බලවත් නොවේදැයි ඈ සිතන්නේ තරගයට එන්නට පෙර ඇය අසල සිටි පෙම්වතා අමතකම කර දමමිනි.

“තරිඳිත් දැන් කොල්ලන්ගෙ ඩ්‍රීම් ගර්ල් වෙලානෙ..මං දැක්කා පේජ් වල..”

ඇය දෙවුර ගස්සා හිනැහේ.ඒවායේ ඇති සමහර දෑ අසභ්‍ය ඒවා ය.නමුත් ජනප්‍රියත්වයට ඒ සියල්ල උවමනා බව ඇය දැන් දනියි.ගැහැනු ළමයෙකුට කැත කතා කීමේ වරද ගැන සමහරුන් ඒවාට කමෙන්ට්ස් දමන අන්දම ඇයට පෙනෙයි.ඇය හිඳින්නේ ඒ නොදුටු ලීලාවෙනි.

“බනින්නේ මට, මේ ගෑනු හෑලි ලියනවා.”

ඇය මිතුරියක හා හිනැහුණා ය.මිතුරිය ඇය දෙස බැලුවේ නොරිස්සුමෙනි.

“මේ ජර්නලිස්ට් අක්කා කෙනෙක්නෙ.රේප් කේසස් වල ඉඳන් සයිබර් බුලින් වෙනකන් එයා ලියනවා.ඒවට ෆයිට් කරනවා..මං මාරම ආස ලේඩි කෙනෙක්.එයා මේ ලියලා තියන ඒවා හරිනෙ තරූ.ඔයාගේ බ්‍රෙස්ට් එකේ සයිස් එක මේ පේජ් කාරයන්ට වැඩක් නෑනෙ..”

මිතුරිය කියන්නේ තදිනි.නමුත් තරිඳි හඬ නඟා හිනැහුණා ය.

“එයා කොහොමත් මිනිස්සු දන්න කෙනෙක්නෙ.ඉතිං එයා මොකටද මගෙ ජනප්‍රිය වෙන එකට අකුල් හෙලන්නේ..”

මිතුරිය තරිඳි දෙස බලා සිටියේ අප්‍රියජනක බැල්මකිනි.මේ ගමන කොතැනින් අවසන් වේදෝ යන සැකයෙනි.

“එයා ඔයාට අකුල් හෙළලා නෙවේ තරිඳි.ඇත්තටම ඔයා වෙනුවෙන් ලියලයි තියෙන්නෙ.එහෙම කාවවත් බුලි කරන්න බෑනෙ.එයා ලියන්නේ ඒක.ඔයාගේ ඇඟේ ප්‍රමාණෙන් නෙවේ ඔයා ජනප්‍රිය වෙන්න ඕන.ඔයාගෙ ටැලන්ට් එකෙන්..”

තරිඳි මේ මොහොතේ පවා එය පිළිගන්නට සූදානම් නැත.ඇය හිඳින්නේ කෙසේ හෝ ජනප්‍රිය වන උමතුවකිනි.

“ඈතකට ගියානෙ.කොල්ලන්ගෙ ස්වීට් ටෝක්ස් මතක් වුණාද?

ඉඳුවරගේ හඬින් තරිඳි පියවි ලෝකයට ආවා ය.ඔහුගේ සිනාවේ කැල්ම ඇයට දරන්නටත් අපහසු ය.

“අයියට ඇත්තටම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද?”

ඉඳුවරගේ මුහුණේ සිනාවක් ඇදී මැකී ගියේ ය.සරසවියේ හිඳිනා කාලයේ තමන් ප්‍රේමවන්තයෙකු බවත් ඇය දැන් විවාහක බවත් ඔහු හෙළි කළේ ය.තරිඳිට ඒ මුළු කතාවම දැන ගන්නට ඕනෑ විය.

එහෙත් ඉඳුවර ඒ කතාව පැවසූයේ වැඩසටහන තුළ දී ය.

“ඉඳුවර ඇයි අද හදේ කොතැනක හෝ ගයන්නෙ..” නිවේදකයා ඇසී ය.තාරකා යුගලයක් කැමතිම ගී ගයන වැඩසටහනේ දී නිවේදකයාට කොහොමටත් අවැසි වූයේ ගී රස නොවේ.කුණු රස ය.

“මගේ ප්‍රථම ප්‍රේමය වෙනුවෙන්..”

සාලයට වී සඳුනි සමඟ වැඩසටහන බලමින් හුන් අමන්දී තිගැස්සී ගියා ය.නිවේදකයා ප්‍රථම ප්‍රේමයට වූ දේ අසන්නේ හාරාවුස්සමිනි.

“මං ගායකයෙක් වෙලා හෙමින් හෙමින් ගමනක් යනවට ටික ටික ඔලුව උස්සා ගන්නවට එයා ආස උනේ නෑ මංගල අයියේ.එයා බැන්දා.දැන් ව්‍යාපාරික බිරිඳක්..”

අනන්ත වාරයක් ප්‍රතික්ෂේප වූ ආදරයේ කටුක මතක දරාගෙන අමන්දී ඒ අසත්‍ය අසා හුන්නා ය.අසභ්‍ය වචන කිහිපයක් සහිතව ඉඳුවරට බැන වැදී සනුරි පණිවිඩයක් එවා ඇති බව ඇය දුටුවා ය.එය විවර කරන්නට හෝ ඇයට සිතක් නැත.

“උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම්
බල මහිමෙන්…
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර යදින්නම්…ඔබ
මැකී යනු මතකෙන්”

ඉඳුවර ගයයි.අමන්දී අසා හුන්නේ අපහසුවෙනි.සඳුනි ඒ තමන්ගේ නෑනාට ගයන ගීයක් බව නොදැන තමන්ගේ සිහින කුමරාට රිදවූ ගැහැනියට හෙණ ඉල්ලා සිටියා ය.අමන්දී රූපවාහිනියෙන් මෑත්ව එළිමහනට ආවා ය.රෑ අඳුරට මුවා වී ඇති වනතුරු හඬන්නට ඇයට ඕනෑ ය.

“එයා මතකෙන් මැකෙන්න කියනවා නම් ඔයා මැකිලා යන්න..හිතන්න එපා.නමක් ගමක් කියලා අපහාස කරේ නෑනෙ මැණිකෙ.එහෙම කරපු දවසට සින්දු කියන්න ඌට කටක් ඉතුරු වෙන්නේ නෑ..”

අවිශ්කගේ හඬ අඳුර මැදින් ඇසිණ.ඔහු මැණිකේ යැයි අමතන්නේ දැඩි ආදරයක් ඇති වූ විට බව අමන්දී දනියි.ඇය ඉකි ගසන්නට ගත්තා ය.

“ඔයාට කෙල්ලො එපා වෙලා ඇතිනෙ අයියා..” තරිඳි වැඩසටහන නිමා වූ වහා ඉඳුවරට පැවසී ය.නොදන්නා ගැහැනියකට දෙස් තබා හෝ ඔහුට ළං වීම ඇගේ අපේක්ෂාව ය.

“එහෙමත් නෑ…”

ඉඳුවරගේ සිනාව පායා එයි.තරිඳි එහි ගිලී යන්නට ගත්‍තා ය.

“ලස්සන ගෑනු ළමයෙක්ට වේකන්සියක් හැදීගෙන එනව වගේ මට දැනෙනවා..බලමු ඉතින්..”

ඒ වචන තරිඳි අහසට විසි කරන්නට සමත් විණි.හුන් තැනම ගල් ගැසුණු ඈ අනාගතය ගැන දහසක් හීන මවන්නට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles