මම ඒ සිනහ වත දෙස ඇස් පිය නො හෙලා මොහොතක් දෙකක් බලා සිටියෙමි. ආකාශ් ට තියෙන්නේ බටහිර නළුවෙකු ගේ පෙනුම යයි මගේ පන්තියේ යෙහෙළියෝ පැවසූහ. එකී නළුවා ගේ නම දැන් මට මතක නැතත්, ආකාශ් වූ කලී කෙතරම් කඩවසම් තරුණයෙකු දැයි ඉන් සිතා ගත හැකි ය.
ඔහු දෙස බලා සිටියා වැඩි යයි සිතුණ ගමන් මම ඉවත බලා ගතිමි. ආකාශ් ට සිනහ ගියේ ය.
“දැං මට ඔයාගෙ නංගි ගැන විතරද ඔයත් එක්ක කතා කරන්න තියෙන්නෙ….ම්…”
ඒ හඬ බෙහෙවින් ප්‍රේමණීය වූයේ ය.
“නෑ එහෙම නෙවෙයි ඉතිං…”
“කියන්නට තරම් සාධාරණ කාරණාවක් මට වූයේ නැත.
“පූජා…”
පහල මාලයෙන් නෙරංජලා ගුරුගේ ගේ හඬ නැගුණේ ඒ මොහොතේ ම ය. ආකාශ් මූණ ඇද කළේ ය.
“අපි ගහකට නගින්න හැදුවත් දෙබලක් අප්ප”
ඔහු ගේ ඒ විලාශය මගේ දෙතොල් මතට සිනහව කැන්දන්නක් විය. මම සිනහ වී ගෙන ම අතට හසු වූ පොත් දෙකක් ද ගෙන පහළ මහළට පැමිණියෙමි.
“තෝර ගත්තද…”
“ඔව්. එහෙනං මං යන්නද ආන්ටි”
“පිස්සුද ළමයො…මං කතා කළේ වුඩ් ඇපල් ජූස් එකක් බොමු කියල කියන්න. අද අපේ පුතණ්ඩියත් ගෙදර. ඉන්නකො මං කතා කරන්න”
නෙරංජලා ගුරුගේ මතු මහලට ඇසෙන සේ ‘පුතා’ කියා දෙවරක් හඬ ගෑවා ය.
“එනෝ”
කියන ආකාශ් ගේ හඬ මට ඇසිණි. පුස්තකාලය අසල දී මට ඔහු හමු වූ බව ගුරුගේ මැතිණිය ට කියන්නට මා පසු බෑවේ, එදා ආකාශ් මට කළ තරවටුව නිස විය යුතු ය.
“මෙන්න බොන්න”
ආකාශ් හිඳ ගත්තේ මේසයේ මට වම් පසින් වූ තනි අසුනෙහි ය. අපේ ඇස් එක මොහොතකට හමු විය. ඉවත බලන්න ට මම ඉස්සර වීමි.
“මෙයා මේ කොහෙන්ද අම්ම කඩං පාත් වෙලා තියෙන්නෙ…මං හිතන්නෙ එග්සෑම ඉවර වුණාට ම පස්සෙ මේ දැක්ක”
වීදුරුව මත්තෙහි වූ අයිස්ක්‍රීම් තට්ටුව, මම හැනදෙන් දිවුල් යුෂයෙහි ගිල්වීමි.
“එන්නෑ තමයි…හදිස්සියෙ ඇවිත් පොත් දෙක තුනක් උස්සගෙන ඉක්මනට දුවනව. මාත් ඉතිං වැඩිය එන්න කියල බල කරන්නෙ නෑ. මං ගැන වැරදියට වුණත් හිතන්න පුළුවන් නෙ”
නෙරංජලා කී ඒ කතාව මා යම් අපහසුවකට පත් කළේ ය.
“අනේ ආන්ටි..මං ඇයි වැරදියට හිතන්නෙ…”
“නෑ ඉතිං…කියන්න බෑනෙ…නේද…”
“පොතක් අරගන්නනෙ මං ඉතිං එන්නෙ…පොත් ටික කියෝල ඉවර වුණාම ආයෙ එනව ඉතිං”
“එහෙම පොත් ගන්නනං ලයිබ්‍රරි එකක මෙම්බශිප් ගත්තනං හරිනෙ”
ආකාශ් මා රිද්දන්නට හිතා ගෙන ම කීවේ ය. මම හැන්දෙන් දිවුල් යුෂ එක කාල් ගාමින් ඔහේ සිටියෙමි.
“හරි හරි ඒ ළමයට ඕක බොන්න දෙන්. නැත්තං ඒක බොන්නෙත් නැතුව යයි”
නෙරංජලා ආකාශ් ට අනතුරු ඇඟවූවා ය.
“ඒ කියන්නෙ මෙයා මාර සයිස් එකෙං ඉන්නෙ…නේ අම්ම…”
“අනේ ඒ කෙල්ල එහෙමනං නෑ. එයාට තියෙන්නෙ ගෑනු ළමයෙක් ළඟ තියෙන්නම ඕන ආඩම්බර කමක්. ඒක තමයි එයාට වටිනාකමක් දීල තියෙන දේ. මං කැමතියි පූජා ඔය ඉන්න විදිහට”
“මාත් ඉතිං කැමති නෑ කිව්වෙ නෑනෙ”
දිවුල් යුෂ බිඳක් මගේ හිස් මොළයේ ගියේ ය. නෙරංජලා ගුරුගේ ඉක්මනට මගේ පිටට තට්ටු කළා ය.
“ඒ ළමයට පාඩුවෙ ඒක බොන්න දෙන්නෙ නෑනෙ මෙයා….”
මහත් වූ මාතෘ දයාවකිනි මට ඒ වචන ටික දැනුණේ.
ආකාශ් ගේ ඇස් වලින් බේරී හිඳීම පහසු නැති සෙයක් මට දැනිණ. අද ඔහු වෙනදා සේ නොවේ. ඒ ඇස් වල අමුතු දාංගලයක් විය. මම හැකි තාක් ඔහු මග හැර ඉන්නට බැලුවෙමි.
ආපසු මා ගෙදර ආවේ කියන්නට තිබෙනවා යි කියූ දේ ආකාශ් ගෙන් දැන ගන්නට අවස්ථාවක් නො ලබා ම ය. පොත් තෝරා ගෙන පහල මහලට පැමිණ තිබුණෙන් යළිත් පුස්තකාලය කරා යාම සඳහා නිදහසට කාරණයක් සොයා ගැනීමට මට බැරි විය. නමුත් කියන්නට තිබෙනවා කියූ දේ දැන ගන්නට බැරි වීමේ අසහනය මා පෙළමින් තිබිණ.
හැන්දෑවේ, සෝදා වේලෙන්නට වැලෙහි දැමූ රෙදි ටික ගන්නට මා වැල ළඟට යත්දී ආකාශ් සඳැල්ලෙහි සිටියේ ය. මම ඔහු දෙස බලා සිනහ වුණෙමි. අතේ ගුලි කර ගෙන සිටි කොළ ගුලියකින් ඔහු මවෙත දමා ගැසුවේ ය. මා සිනා සිසී එය අහුලා කුණු ගොඩට විසි කරන්නට යත්දී, ඔහු එපා යි ඉඟි කරමින් හිසෙහි අත ගසා ගත්තේ ය. මම කිසිත් වටහා ගත නො හැකි ව බලා සිටියෙමි. එය දිග හැර බලන්නයි ඔහු ඉඟි කළේ අනතුරුව ය. මම කුතුහලයෙන් යුතු ව කොළ ගුලිය දිග හැරියෙමි.
“ආදරෙයි”
එහි ලියැවී තිබුණේ එපමණකි. ඒ ආකාශ් ගේ අකුරු බව හඳුනා ගන්නට මට පුළුවන. මම හිස නගා බැලුවෙමි. ඔහු එක එල්ලේ මදෙස බලා සිටියේ ය. මම රෙදි ටිකත් ගුලි කර ගෙන ගෙට දිව්වෙමි.
මා හුස්ම ගනිමින් ඉන්නේ වේගවත් ව බව මට දැනුණේ ය. මම යහනේ උඩුකුරු ව වැතිර ගතිමි. හෘදය ස්ඵන්දනය වන ‘ලබ් ඩබ්’ හඬ පවා පැහැදිලි ව ඇසුණි.
ඒ වගේ සංවේදනාවකින් කර්ණිකා කෝෂිකා පිරී ගිය ප්‍රථම වතාව එය බව මට ඉඳුරා පැවසිය හැක. මීට කලින් ද පිරිමි ළමයින් කිහිප දෙනෙක් ම මගෙන් ප්‍රේමය විමසා තිබේ. උසස් පෙළ උපකාරක පන්තියකට ආ කොළඹ ප්‍රධාන පිරිමි විද්‍යාලයක සිසුවෙකු, මුලින් ම මට එවන් යෝජනාවක් කළ කෙනා නොවේ. තාත්තා ගේ මිතුරු වෙසින් ගේ වටේ කැරකුන ගමේ තරුණයෙකු මග රැක සිට මුලින් ම මට කැමතියි කියා කිව් පුද්ගලයා ය. නමුත් ඔහු කෙරේ කිසිදු කැමැත්තක් මට නම් දැනුණේ නැත. පාසල් බසය නැවතෙන තැන හන්දියට මාස කිහිපයක් ම කරක් ගැසූ හෙතෙම, මා ඔහු ගැන පිච්චියකට මායිම් නො කර සිටියදී ඒ උත්සාහය අත්හැර දැමුවේ ය. පස්සේ ඔහු ගමේ වෙනත් ගෑනු ළමයෙකු සමග බස් රථයක පසු පස අසුනේ අත් අල්ලා ගෙන එනු මම දුටුවෙමි.
උසස් පෙළ පන්තියේ සිසුවා දඟකාරයෙකි. ඔහු හැම ගෑනු ළමයෙකු ට ම විහිළු කළේ ය. ගුරුවරයා සමග ද කවට කම් කරන්නට තරම් සමාජශීලී බවක් ඔහු සතු විය. ප්‍රේමයක් විණි නම් අකමැති වෙන්නට කාරණයක් මට වූයේ නැත. නමුත් මසිත් හි එක මොහොතකට හෝ එවන් හැඟීමක් නූපන් බව කිව යුතු ය.
අපේ පවුලේ වූ සමාජ ආර්ථික තත්වය, පෙම් සබඳකමක් කෙරේ මා නො පෙළඹවූ හේතුව බව මට හැඳින ගත හැක. බාහිර පෙනුමට අනුව මා පැවත එන්නේ එබඳු පවුල් පසුබිමකින් යයි කිසිවෙකු නො සිතනු ඇත. නමුත් පහු වෙත්දී ඒ බව දැන ගැනීමෙන් අනතුරු ව ඕනෑ ම පෙම්වතෙකු වෙතින් මා ප්‍රතික්ෂේප විය හැකි යයි බියක් මවෙත විය. ඒ බිය විසින් එබඳු සිතිවිල්ලකට හෝ මට ඉඩක් ලබා දුන්නේ නැත.
මෑතක දී තාත්තා ගේ මිතුරෙකු වන විරංග ද නංගී අතේ මට ප්‍රේමාරාධනයක් කළේ ය. මම එක හෙළා එය ප්‍රතික්ෂේප කළෙමි. මගේ පවුල් පසුබිම මත මට කැමති විදිහේ පිරිමියෙකු වෙත කිසි දා ලං විය නො හැකි වුව ද විරංගලා වැනි පිරිමින් මම නො පතමි.
ආකාශ් ආදරෙයි කීවේ වෙන ම විදිහකට ය. ඒ සිදු වීම සිහි වෙත්දී ත් දෙතොල් සිනහවකට විකසිත වෙයි. මා ඔහු ගැන වෙසෙස් ළෙංගතු කමකින් සිතන්නට ගත්තේ අද ඊයේ ක නොව මා ඒ ගෙදරට යන්න එන්න ගත් මුල් කාලයේ දී බව සිහිපත් කර ගන්නට පුළුවන. මට අනුව එය ප්‍රේමයක් ම වන්නට පුළුවන. නමුත් ඔහු ගේ පාර්ශවයෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ එය ඒක පාර්ශ්වික ප්‍රේමයක් විය. ඒ වුව මා දරා ගත්තේ මට ම රහසෙනි.
මා ඔහු ට පෙම් කරන්න ට පටන් ගෙන ඇති බවක් මම මගේ ම සිතට පවා නො කීවෙමි. එහෙව් තත්වයක් යටතේ අද ඔහු මට ආදරය දන්වා තිබේ!
මම ඒ පොඩි වුණ කොළ ගුලිය දෙතුන් වරක් දිග හැර කියවා බලා නවා තැබුවෙමි කවුරුන් හෝ දකිතැයි බයට මා එය සැඟවූයේ මගේ සටහන් පොතක් ඇතුළේ ය.
කුළුඳුල් ප්‍රේමය නමැති සූර්ය කිරණින් ප්‍රභාමත් ව විකසිත වන මලක් සේ වූ මගේ හදවත අලුත් රිද්මයකින් ස්ඵන්දනය වන්නට පටන් ගෙන තිබිණි. එය වූ කලී රසවත් කමකි. වචන වලින් කිසි දා කිසිවෙකු ට විස්තර කළ නො හැකි ඒ මිහිරියාව තුළ ගිලී ගෙන මම ඒ සන්ධ්‍යාවත් රාත්‍රියත් තරණය කළෙමි.
“මොකද හලෝ”
වතාවක් නංගී සැරෙන් සේ මා විචාලා ය.
“ඇයි…”
“තනියම හිනා වෙන්නෙ….”
“පිස්සු…”
“පේනව පිස්සුවක් හැදීගෙන එනව කියලනං”
ඇය නංගී ය. අක්කා මා ය. හරි නම් ඇයට සැර කොට යමක් කියන්නට මට පුළුවන්කම තිබිය යුතු ය. නමුත් සත්තකට එහෙව් දිරියක් දැන් මා තුළ නො මැති බවක් මට දැනිණ. ඇය පෙම් කරනා යෞවනයා මට ප්‍රේමය ප්‍රකාශ කොට තිබේ. ඔහු ගැන කියවත්දී මම නංගී ට සැර කළෙමි. අපේ වගේ පවුලක කෙල්ලක හා ඔහු ට පෑහිය හැකි දැයි සිතුවෙමි. නමුත් දැන් මා ඒ සම්බන්ධ ව කුමක් නම් පැවසිය යුතු ද? මට කවරක් නම් පැවසිය හැකි ද?
මගේ මුණිවත ගැන නංගී කුමක් සිතුවා දැයි නො දනිමි.
පොඩි වූ සුදු කඩදාසිය මත දිගටි සිංහල පිරිමි අකුරු වලින් ලියැවී තිබූ වචනය විසින් මසිත් හි ඇති කළා වූ මිහිර තුනී වී යන්නට ගත්තේ රාත්‍රිය මෝරා වැඩීමත් එක්ක ය. ඒ මිහිර වූ අවකාශය, බියක්, දෙගිඩියාවක් හෝ චකිතයක් විසින් පුරවා දමමින් තිබිණ. ආකාශ් විසින් මගේ ස්ත්‍රී හදවත මත සංස්පර්ශ කළා වූ ප්‍රේමයේ කුළුඳුල් සංවේදනාව වූ කලී කෙතරම් අස්ථිර වූවක් ද කියා මගේ හිත හෙමිහිට මුමුණන්නට පටන් ගත්තේ ය. එය වනාහි කිසි දා හැබෑ කර ගත නො හැකි සිහිනයක් වැන්නකි.
ආකාශ් කියන්නේ දඩබ්බර යෞවනයෙහි පසු වන තරුණයෙකි. ළඟින් ඇසුරු කරන්නට ලැබෙන යුවතියක කෙරේ සිය සිත් හි ඇති වන්නා වූ ආකර්ශනය ගැන රහස හදවත තුළ සඟවා නො ගෙන කියා දැමීම, ඔහු වාගේ පවුල් පසුබිමක් ඇති සැහැල්ලු තරුණයෙකු වෙතින් බලාපොරොත්තු විය නො හැකි අරුමයක් නොවේ. එය බරපතල ලෙස නො ගෙන වටහා ගැනීම මගේ වගකීමක් බව මම සිතන්නට පටන් ගත්තෙමි.
“පූජා”
කියා දෙදිනකට පසු නෙරංජලා ගුරුගේ විසින් මා අමතනු ලබන තෙක් ම මම ඔවුන් ගේ මැදුර හෝ පෙනෙන මානයකට නොයා කාමරයට ගුලි වී සිටියෙමි.
“පූජා…අර මැඩම් කතා කරනව නේද”
ඒ හඬ ඇසීත් කුමක් කරම්දැයි නො දැන මා ගල් ගැසී සිටියදී අම්මා කාමරයේ දොරකඩට විත් කීවා ය. මම අතේ වූ නවකතා පොත පසෙක තබා ඇඳෙන් බැස්සෙමි.
“ඇයි ආන්ටි…”
මම තාප්පය වෙත ගොස් උඩ බලා ගෙන විමසීමි.
“එන්නකො”
ඇය සිනහ වී කීවා ය. මා එහි ගියේ සිත් හි වන අදි මදියෙනි. ආකාශ් ගේ රිය ගෙමිදුල නැවතී තිබීමෙන් කියවුණේ මේ මොහොතේ ඔහු ගෙදර සිටිනා බවකි.
මම මඳ ගැස්මකින් ගෙට ගොඩ වීමි.
“මෙහෙට ම එන්න පූජා”
නෙරංජලා මුළුතැන්ගෙයි සිට කීවා ය. මම ඉතා හෙමිහිට හා පසු බෑමෙන් යුතු ව එහි ගියෙමි.
“මේ බලන්නකො”
මේසය මත අලුත් නවකතා පොත් ගොන්නක් විය. මගේ ඇස් වඩාත් දීප්තිමත් ව හා සතුටු සිනහවකින් යුතු ව එදෙස බලන ලදී.
“අයිය ගෙනත් තියෙන්නෙ. දැං ගෙනාවෙ. පූජාටත් පෙන්නන්නයි මං කතා කළේ. මං දන්නවනෙ පොත් දැක්කහම ඔයා ගෙ ඇස් දිළිසෙන හැටි”
ආකාශ් ඇවිත් ආරුක්කුවට හේත්තු වී අත් දෙක පපුව මැද බැඳ ගෙන මා දෙස බලා ගත්තේ එතකොට ම ය. ඒ වෙලාවේ මගේ ඇස් දිළිසෙන්නට ගත්තේ පොත් දැකීමෙන් ද නැත්නම් ඔහු දැකීමෙන් දැයි මට හරියට ම කිව නො හැකි ය.
“අම්ම කිව්ව හරි. ඇස් දිළිසෙනව තමයි මෙයාගෙ”
ගෙදර දුරකතනය නාද වන්නට වූයෙන් නෙරංජලා ඉක්මන් ගමනින් ආලින්දය දෙස ට ගියා ය.
“මං හිතන්නෙ ඇස් දිළිසෙන්නෙනං මාව දැක්ක නිසා”
මම ඇස් පමණක් උස්සා බැලුවෙමි. මට ඉස්සී කම්මුලක් සිප ගන්නට හිතෙන තරම් දඟකාර සිනහවක් ඔහු ගේ වත මත විය.












