පෙමාතුර – 38

ආදරණීය කිසා,

මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක් වෙන්න විදිහක් නෑ. ඔයා වෙනුවෙන් ඕන ම දෙයක් අත් අරින්න මං සූදානමින් හිටිය බව ඔයා දන්නව. ඒක බොරුවක්, මවා පෑමක්, රඟපෑමක් නෙවෙයි. මගෙ හදවතට දැනුණ ඇත්තම ඇත්ත.එහෙම තියෙද්දිත් ඔයා මේ විදිහට යන්න හේතුවක් මට හොයා ගන්න අමාරුයි. 

ඔයා බොළඳ ගෑනු ළමයෙක් නොවෙන බව මං දන්නවා. බොළඳ ගෑනු චරිතයක් එක්ක විඩාපත් වෙලා හිටිය මට ඔයා කොහොම දැනුණද කියල පැහැදිලි කරන්න මං ඔයා වගේ වචන හරඹ දන්න කෙනෙක් නෙවෙයි. කිසා මට මෙහෙම දඬුවමක් දෙන්න මං කරපු වරද මොකද්ද?

උදේ ඔෆිස් යද්දි හිනා වුණ ඔයා හවස ගෙදර එද්දි නෑ කියල හිතන්නෙ කොහොමද? මට පිස්සු වගෙයි. මොනව කරන්නද කියල මන් දන්නෑ. ඔයාගෙ ගෙදර අය කිසි දෙයක් කියන්නෙ නෑ. ඇයි මේ? අඩු තරමින් මොකද්ද සිද්ද වුණේ කියලවත් මං දැන ගන්න ඕන නැද්ද?

කිසා, මට ඒ මල් සුවඳ අමතක කරන්න බෑ. ඔයා මල් සුවඳ ඉතිරි කරල එක පාරට අතුරුදන් වෙලා කියල තවම මම හිතන්නෙ නෑ. විශ්වාස කරන්නෙ නෑ. මේක හරියට පොඩි කාලෙ දැකපු දේවතා එළියක් ගැන මතකය වගෙයි. ඒක ඇත්තක් ද කියල තවමත් මම හිතනව. ඔයා හරියට මාව චමත්කාරයට පත් කරල ඇස් ඉස්සරහම නොපෙනී ගිය උල්කාපාතයක් වගේ!

 ඔයා එයි කියල මං බලන් ඉන්නව. ඔයා කතා කරයි කියල මං බලං ඉන්නව. ඒ බලාපොරොත්තුව විතරයි මේ කලබලකාරී තත්පර වල ඉතුරු. මට හුස්ම ගන්නත් අමතක වෙනව වගෙයි. කිසා මෙහෙම ලියන්නෙ අනුකම්පාවක් දිනන්න නෙවෙයි. මේ වෙලාවෙ මගෙ හිතට පිළිවෙලක් නැතුව එන දේවල් ලියනව විතරයි. ඒත් මං කැමතියි ආදරේ හිඟමින් පස්සෙන් එන මේ හිඟන්නට ඔයා අනුකම්පා කරනවට වුණත්.

සමහර දේවල් මට පැහැදිලියි. ඔයා හරි ම හොඳ ගෑනු ළමයෙක් කියන එක ඒ අතරින් ප්‍රධානයි. ඔයා ට බෑ ඉෂිනි ගෙ හිත රිද්දන්න. ඔයාට බෑ කිසි නරක දෙයක් සිදු වෙන්න ඔයා හේතුවක් වෙන්න. ඔයාට මගෙන් ඈතට යන්න තියන එක ම හේතුව ඒක. මන්දා. මන් නො දන්න හේතුත් තියනවද දන්නෙ නෑ.

මං ඔයාට හරි ආදරෙයි කිසා. ඔයා හීනයක් පෙන්නල මුවා වුණාද මන්දා. එහෙම නෑ කියල මට කියන්න. 

ඉතින් ඔයාට තිබුණනෙ යනව කියල මට කියන්න. එහෙනං එනකං බලං ඉන්න හරි මට හේතුවක් තියෙනවනෙ. බැල්කනි එකට එක පාරටම ආපු හිරිකඩක් වගේ ඇවිත් ඔයා යන්න ගිහින් කියල මට හිතා ගන්න බෑ. උදේ හිටිය ඔයා කොහොමද හවස නැතුව ගියේ…මට පිස්සු වගෙයි කිසා.

මං දරා ගන්නම්. ඔයා එනකල් බලන් ඉන්නං. මේක ස’ප්‍රයිස් එකක් කියල කියන්න මැණික. මාව බය කරන්නයි ගියේ කියන්න. 

ඔයා හරි ඊස්තටික් ගෑනු ළමයෙක්. ඒක නිසා මෙහෙම ස’ප්‍රයිස් කිරීමක් කියන්නෙ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. මං ඒකට සූදානම්. ඒත් ඔයාගෙන් උත්තරයක් එනකල් මං හුඟක් නො ඉවසිලිමත්.

විසල් ගේ ඒ ෆෝ එකක් තරම් දිග ලියුම එහෙම ය. හැල්මේ එය කියවා ගෙන ගිය මම අන්තිමටම හුස්මක් හෙළා නිසල වීමි. 

කඳුළුත් එක්ක සටන් කරනවා කියන්නේ කෙබඳු දෙයක් දැයි මා ඉගෙන ගන්නේ දැන් ය. එක්කෝ හැඬිය යුතු ය. නැත්නම් සිනාසිය යුතු ය. ඒ දෙක අතර මැද සටන් කිරීම දරුණු දඬුවමකි.

ලැප් ටොප් එක වසා තබා මම එහෙම ම ඇඳෙහි උඩුකුරු ව වැතිරුණෙමි. මුළු සිරුර ම අප්‍රාණික ව ඇති සැටියක් දැනේ. අත පයක් හෝ සොලවා ගත නො හැකි ලෙස මට මා අවසඟ ව යමින් තිබේ. හිස පැත්තෙන් රුදුරු වේදනාවක් දැනුණේ ය. මේ මරණීය මොහොත වන්නට පුළුවන. මම අම්මා ව සිහි කළෙමි. මිය යන මොහොතේ ඈ ළඟ ඉන්නට බැරි වීම අවාසනාවකි. නමුත් අම්මා මගේ මරණය හෝ මේ මරණීය වේදනාව නොදැනීම සැනසිල්ලකි. අප නිතර ම සිතන්නේ මරණය සැනසිලි සුවයක් බවයි. නමුත් ඒ සුවය අත් පත් කර ගැනීම වෙනුවෙන් විඳ ගත යුතු වේදනාව අපි අමතක කරමු. අනිත් අතට එම වේදනාව මැනවින් දන්නේ එය විඳ ගෙන මරණයත් සමග ගියවුන් ය. ඒ නිසා මරණීය වේදනාවන් ගැන අප කතා කරනවා අඩු ය.

මට දැඩි පිපාසයක් දැනිණ. උගුර කට වියළී ගිහින් තිබිණි. අම්මා හිටියා නම් මේ අවසාන මොහොතේ වතුර ටිකක් මුවට දමාවි නේද කියා මට සිතිණි. සැබවින් සිතුණා ද නැත්නම් දැනුණා ද කියා සැක සහිත ය. 

ඈතක සිට විසල් බලා ඉන්නවා මට පෙනුණේ ය. ඔහු ගේ මුහුණ දුක්බර ය. මා ඔහු ට බලවත් අසාධාරණයක් කළ පෙනුමක් ඔහු දරා සිටියේ ය. මගේ මරණය ඔහු වෙනුවෙන් බැඳි ප්‍රේමයට සාක්ෂි දරාවිද කියා මා දන්නේ නැත. විසල් ගේ උරහිසට පිටුපසින්, තවත් ඈතින් මම විරංග ගේ දෑස් දුටිමි. ඒ ඇස් වල නෝක්කාඩුවක් විය.

මම ඒ මනෝ රාජ්ජයෙහි ඔහේ සැරිසැරුවෙමි. විටෙක මගේ සිරුරෙන් ඈත් වී පසෙක හිඳ මදෙස බලා සිටියෙමි. සියල්ල ව්‍යාජයකි. සියල්ල විහිළුවකි. 

ආයේ මා නො නැගිටිනු ඇතැයි මට සිතිණ. ඉන්දියාවේ අග්‍රා නුවර ශ්‍රී ලාංකිකයෙකුට අයත් සාචාරක හෝටල් කාමරයක සුදු ඇතිරිලි ලූ පිරිසිඳු යහනාවක් මත මගේ දේහය නිසල ව තිබෙනු ඇත. මම සන්සුන් සිතින් ඒ ගමන සඳහා සූදානම් වීමි. සියල්ල සොබා දහමට අවනත ය. කැඳවන වෙලාවේ එන්නටත්, කැඳවන වෙලාවේ යන්නටත් සිදු වේ. එපමණකි.

අති විශාල ශබ්දයක් මට ඇහෙන්නට ගත්තේ ය. ඒ ශබ්දය කුමක් දැයි මම ඒ ඉරියව්වේ සිට ම කල්පනා කළෙමි. කිසිවක් නිරවුල් නොවී ය. එන්න එන්න ඒ ශබ්දය වැඩි වූයේ ය. මේ මරණීය ලෝකයට අයත් හඬක් දැයි මම විපිළිසර ව සිතුවෙමි. අනිත් අතට ඒ හඬ තුළ ට වැද, ඒ තුළ මුහු වී මම ඔහේ සිටියෙමි. සොබා දහමට අවනත වෙනවා මිස වෙන විකල්පයක් මට නැත.

“කිසා…කිසා…කිසා…”

ඒ ලොකු ශබ්දය අතරින් මගේ නම කියවෙනවා ඇසුණේ ය. මරණින් පසු ලොවෙහි දී ත් මගේ නම එය ම දැයි සිතන්නට මට ඕනෑ විය. කතා කරන්නේ කවුදැයි පෙනුණේ නැත. නමුත් අමතනවා ඇසේ. තාත්තා වත් ද? මට ඉක්මනින් තාත්තා හමු වෙනවා නම් හොඳ ය. එතකොට මගේ කියන්නට කවුරුන් හෝ මෙහි සිටී. එතකොට අම්මා ට ද බියක් නැත!

“කිසා..දොර අරින්න ළමයො..ඔයා තාම නිදිද…”

ඒ වචන ටිකත් සමගින් මගේ ඇස් පිය ගැස්සී විවර වුණේ ය. මුලින් ම මා දුටුවේ සිවිලිමේ ඉහලින් එල්ලෙන විදුලි පංකාවකි. හාත්පස සුදු ම සුදු ය. ඇසෙමින් තිබෙන්නේ දොරට ගසමින් මා අමතන හඬක් බව පසක් වූ ගමන් මම යහනින් පැන දොර ඇරියෙමි. කාංචනා කම්මුලක අත තියා ගත්තා ය.

“අනෙ අම්මේ ගෑනු ළමයි…පුදුම නින්දක්නෙ ඒක. අයිය කිව්වෙ උදේ නැගිටල හිටියයි කියල”

“ආපහු නින්ද ගියා”

මම කටට ආවක් කීවෙමි. 

“බඩු වගයක් ගන්න ඕන කිව්ව නේද…යමු”

මා වැඩිපුර බඩු පටවා ගෙන ආවේ නැත. අවශ්‍යතාව මත මිල දී ගන්නා අදහසින් පැමිණියෙමි. පැළඳ පැමිණි ඩෙක් ශූස් යුවල හැරෙන්නට වෙනත් පාවහනක් වූයේ ද නැත.

අපි සෙරෙප්පු කඩ වලට ගියෙමු. අග්‍රා වඩාත් ප්‍රකට සම් භාණ්ඩ හා පාවහන් වලට බව කාංචනා කීවා ය. 

“හව් මච් ඩස් දිස් කොස්ට්..”

ඇතුළු වූ ගමන් පාවහන් සාප්පුවේ වූ සෙරෙප්පු දෙකක් ගෙන මම එහි සේවය සපයන තරුණයෙකු ගෙන් විමසීමි.

“ඕක නංගි රුපියල් හයසීයයි. පන්සීයට දෙන්නං”

ඔහු පිළිතුරු දුන්නේ ඉතා නිරවුල් සිංහලෙනි. මම කාංචනා ගේ මූණ බැලුවෙමි.

“මෙහේ කඩ වල ඉන්න හැමෝටහ හොඳට සිංහල පුළුවන්. ඇයි මිස් අනෝජා කියල නැද්ද…ලංකාවෙන් එන වන්දනා නඩ වල අය එක්ක කතා කරලමද කොහෙද…ඔයා දැන් ඇවිදින්න යනකොට තේරෙයි. ලංකාවෙන් දඹදිව එන වයසක අම්මලට වුණත් ශොපින් කරන එක ලේසියි…ඒ ගොඩක් අයට ඉංග්‍රීසි බැරි නිසයි මේගොල්ලන්ට සිංහල පුළුවන් නිසයි”

ඇය මූලික පැහැදිලි කිරීමක් කළා ය.

 “බලල ගන්න නංගි. මේ තියෙන්නෙ තව ලස්සන ඩිසයින්”

වෙනත් රටක දී විදේශිකයෙක් සිංහලෙන් කතා කිරීම කෙතරම් නම් අසිරිමත් අත්දැකීමක් දැයි මා වටහා ගත්තේ එදා අග්‍රාවේ දී ය.

අත්‍යවශ්‍ය දේවල් ටිකක් ද ගෙන යළි හෝටලයට විත් මම දිවා ආහාර ගතිමි. සිංහල ක්‍රමයට බණ්ඩක්කා උයා, මෑ කරල් බැදුමක් හා ගොවා කොළ මැල්ලුමක් ද කුකුළු මස් ව්‍යාංජනයක් ද සමග බත් තිබිණි.

“රෑට මිස්ට හොඳ ඉන්ඩියන් ඩිනර් එකක් දෙනව”

කුස්සියේ වැඩ කරන ඉන්දියානු තරුණයෙකු වන රාහුල් කැඩුණ සිංහලයෙන් කීවේ ය. ඔහු ට කඩ වල තරුණයන් ට තරම් හොඳින් සිංහල කතා කළ නො හැකි ය. මම චිත්‍රපට බැලීම නිසා අල්ලා ගෙන තිබූ හින්දි වචන ටිකක් එහෙන් මෙහෙන් යොදා ගෙන ඔහු ගෙන් තොරතුරු ඇසුවෙමි. මගේ හින්දි ගැන ඔහු සතුටු වූයේ ය. සිංහලෙන් හෝ හින්දියෙන් තේරුම් කොට දිය නො හැකි තැනකදී අපි ඉංග්‍රීසි යොදා ගතිමු. ඒ සන්නිවේදනය සුන්දර වූ මිනිස් අරගලයක් වූයේ ය.

“රාහුල් දන්නවද…ලෝක ආරම්බයෙදි මිනිස්සු එක භාෂාවක් කතා කළේ. එයාල හොඳින් එයාලව තේරුම් ගත්ත. ඉතින් මිනිස්සු එකතු වෙලා හැදුවලු අහස උසටම දිව්‍ය ලෝකෙටම යන්න පුළුවන් තරං උසට කුළුණක්. ස්වර්ගයට යන පාර. මේක දැකපු මැවුම්කාර දෙවියා මිනිස්සු කතා කරන භාෂාවල් වෙනස් කළාලු. එතකොට එයාලට එකිනෙකාව අඳුර ගන්න බැරි වුණා. අනවබෝධය මත වෙන වෙන කණ්ඩායම් වලට බෙදිල තැන් තැන් වලට විසිරිල ගියා. අර දෙව් ලොවට යන කුළුණ හදන සාමූහික වැඩෙත් එහෙමම නතර වුණා”

 අසා තිබි කතාවක් සිංහල ද හින්දි ද ඉංග්‍රීසි ද යොදා ගෙන මම කියවීමි. එහි අරුත තරුණයා විසින් වටහා ගන්නා ලදැයි නො සිතමි. නමුත් ඔහු අවිහිංසක ලෙස සිනහ වෙවී අසා උන්නේ ය.

දිවා ආහාරයෙන් පසු මම හෝටලය ආසන්න අවට වීදි වල ඇවිද්දෙමි. ඒ වගේ ජනාකීර්ණ නගරයක පාරවල් මතක තියා ගෙන යළි නවාතැනට එන හැටි ගැන අවබෝධයෙන් කළ යුතු ය. අග්‍රා වූ කලී වැඩි වශයෙන් මුස්ලිම් ජනගහනයක් ඇති නගරයකි. ඔවුන් ට ශ්‍රී ලාංකිකයන් හුරු බව ද පෙනෙන්නට තිබිණි. මහන්සි දැනෙන තුරු ඇවිද විත් දිය නා ගෙන ලැප් ටොප් එක දිග හැර ගත් මම විසල් ට ලියුමක් ලියන්නට පටන් ගතිමි. පටන් ගත්තා කීවා ට කෙසේ ඒ ලියුම අරඹන්න දැයි පැහැදිලි අදහසක් නැති ව මම ටික වෙලාවක් කල්පනා කරමින් සිටියෙමි.

විසල්, 

මං සමාව ඉල්ලන්නෙ නෑ ඔයාට නොකියා ආව එක ගැන. ඒක සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි කියල මං දන්නව. ඒත් ඔයා කවදා හරි දවසක මාව තේරුං ගන්නවනං මං ගොඩක් කැමතියි.

අනේ ඔයාගෙ මේල් එක සැරෙන් සැරේට මගෙ පපුවෙ තැන් තැන් පුච්චල දැම්ම විසල්. මං කොච්චර නරක නපුරු ගෑල්ලමේක් ද කියල මං මගෙන් ම ප්‍රශ්න කරන තැනකට ඒ ලියුම මාව ගෙනත් අත්ඇරිය. 

ආදරේ කියන්නෙ කොච්චර ගැඹුරු හැඟීමක් ද කියල මං ඉගෙන ගත්තෙ ඔයාගෙන්. ඒත් දැන් මං ඒ ගැන උසස් හැදෑරීම් කරනවා. ආදරේ ගැන ඔයා නොදන්න හුඟක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා. පුළුවන් වුණොත් මං දවසක ඔයත් එක්ක ඒ ගැන දිග සංවාදයක් කරනවා.

ටික දුරක් වේගවත් ව ලියා ගෙන ගිය මම නතර වී ඇඳේ පෙරළුණෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...