“සනූ..මං හිතුවෙ නෑ ඔයා එයි කියල..”
අමන්දී සනුරිගේ අත අල්ලා ගත්තේ සෙනෙහසිනි.සනුරි මිතුරියගේ අත අල්ලාගෙන හිනැහුණා ය.
“අදීෂයි, ඉඳුවරයි තරග කරන කාලේ මං මෙතනමනෙ.මට මෙතන පුරුදුයි.ඒ හින්දා ආවා.අපේ පුංචි ගායිකාව සින්දු කියනව බලන්නත් එපැයි..”
සනුරි කුඩා දුලනිව වැළඳ සුබ පැතුවා ය.දුලනි හැඩ ගැන්වීම සහ සෙසු කාර්යයන් වෙනුවෙන් බාර දුන් පසු අමන්දී සනුරිට ඇමතුවේ පහත් හඬිනි.
“ටීවී එකේ දැකලම ආසාවට වෙන්න ඇති.මේ ළමයා තෝරා ගන්න හදන්නෙම ඉඳුවරව..”
සනුරි මිතුරියගේ දෙගිඩියාවට බර මුහුණ දෙස බලා හුන්නා ය.ඇය ඒ තීරණය ගැන අසතුටු බව සනුරිට තේරුම් ගන්නට හැකියාව ඇත.නමුත් ගුරුතුමියගේ ප්‍රථම ආදරය යන කාරණය කුඩා දැරියකට වලංගු නැත.ඇය ඇගේ සිහින වෙත ආසාවෙන් ඇවිද යන්නියකි.
“අමා..ඒක ඒ දරුවගෙ ආශාව.කැමැත්ත.එයා ඔයාගේ කීමට එයාට හිත නැති කෝච් කෙනෙක් තෝරා ගත්තොත් එයාගෙ ගමන අසාර්ථක වෙන්න පුලුවන්.එයාට එයා ආස දේ කරන්න දෙන්න..”
සනුරි මිතුරියට පැවසුවා ය.නමුත් අමන්දිගේ කළුව ගිය මුහුණ ඇයට ගෙනාවේ වේදනාවකි.ඇය අමන්දීගේ උරහිස පිරිමැද්දේ එනිසා ය.
“ඉඳුවරයා ටර්න් වෙයිද බලමුකො.ඔක්කොටොම ඉස්සරල ඒක වෙන්න එපැයි..”
කුඩා දුලනි තමන්ට නුහුරු නුපුරුදු සුවිසල් මැදිරියක පවා තම හැකියාව අවිය කර ගනිමින් සිටියා ය.ඇය මෙතරම් සැහැල්ලු වේයැයි අමන්දී සිතා තිබුණේ නැත.එහෙත් කෙටි කාලයකින් පුහුණු වී දක්ෂතා දක්වන තමන්ගේ සිසුවිය ගැන උපන් කඳුළින් ඇගේ කම්මුල් පෙඟී තිබිණ.කැමරාකරුවන්ට තමා හොඳ ඉල්ලමක් බව අමතක කළ අමන්දී කඳුළු නිදහසේ මුදා හැරියා ය.
විනිශ්ච මණ්ඩලය හුන්නේ දුලනි සම්බන්ධයෙන් මන්මත් ව ය.ඇය පිටිසර දැරියක බව බැලූ බැල්මට පෙනෙයි.එනිසාම ශමාලි ඇගේ විස්තර විමසන්නට සිතුවා ය.දැරිය ගම ගැන කියද්දී කැළඹුණේ ඉඳුවර ය.මේ අමන්දී දීග ගිය ගමේ දැරියකි.
“කවුද ඔයාව ට්‍රේන් කරන්නේ?”
ඒ පැනය ජෙනීගෙනි.ග්‍රාමීය දැරියක සවන් අදහා ගත නොහැකි මට්ටමකට හින්දි ගීයක් ගැයීම ගැන ඇය හුන්නේ සතුටිනි.
“අමන්දී ටීච..”
ඉඳුවරට අසුනින් නැගිට ගන්නට ඒ වචන ප්‍රමාණවත් විය.ඔහු දැරිය ඉතා සුන්දර ළමා ගායිකාවක බව කියා ඈ වැලඳ ගත්තේ අමන්දී නිසාම ය.ඒ ප්‍රසංසාවෙන් කුඩා දුලනි උද්දාමයට පත් වූවා ය.වියළි කලාපයේ ඈත ගමකින් පැමිණි දැරියගෙන් ජන කවියක් අසන්නට ඕනෑ වූයේ රනුක ට ය.
“කෙල්ල එතන ස්ටාර් වෙලා ඉවරයි..”
සනුරි ප්‍රීතියෙන් මිතුරියට පැවසී ය.
“ඔයා තෝරාගන්නේ කාවද කියලනම් අපි දන්නව පුතේ.ඔයාගෙ ඇස් ඒක කියනවා.”
රනුක පැවසුවේ උස් හඬින් හිනැහෙමිනි.ගුරුතුමිය පැවසූ සියල්ල අමතක කළ දුලනි ඉඳුවරම තෝරා ගත්තා ය.
“කෙල්ලට මොකුත්ම කියන්න එපා හොඳේ.ඉඳුවර හග් කරලා ආදරේ පෙන්නුවනෙ.පොඩි එකීට ආස හිතෙන්න ඇති..”
සනුරි මිතුරිය ගිවිස්සා ගත්තා ය.මෙතරම් ජයක් ලැබූ තම කුඩා සිසුවියට තීරණය ගැන කිසිවක්ම කියන්නට අමන්දීට අවශ්‍ය වූයේ නැත.
දුලනි පසසන්නන් බොහෝ විය.ඒ අයට ඉඩ දී දෙමිතුරියන් ද දුලනිගේ අම්මා ද පසෙකට වී බලා සිටියේ ආදරයෙනි.පටිගත කිරීම් අතර ලද විවේකයක පිටතට ආ ඉඳුවර ඔවුන් දුටුවේ ද ඒ මොහොතේ ය.හදිසි සිතුවිල්ලකට ක්‍රියාත්මක වූ ඉඳුවර සරසවි මිතුරියන් වෙත ඇවිද ආවේ ය.
“සනූ..ඔයා එන කතාවක් කීවෙත් නෑනෙ..”
දුලනි වටකරගත් පිරිස ඡායාරූපයට නගමින් හුන් සනුරිට ඒ හඬ ඇසුණේ නැත.එහෙත් අමන්දී ගැස්සී ඉඳුවර දෙස බැලී ය.මේ බොහෝ කාලයකට පසු ඔහු දකින මොහොත ය.ඇය කඳුළු නැගෙන්නට නොදී දෙඅත් තද කරගත්තා ය.වෙදැගිල්ලේ සිරව තිබූ මඟුල් මුද්දේ බර ඇයට වඩා තදින් දැනුණේ ඒ මොහොතේ ය.
“දුලනි අමන්දීගෙ ගෝලයෙක් නේද..මං හිතුවා නම කියනකොටම.පුදුමාකාර දරුවෙක්..”
ඉඳුවර වහා අමන්දී ඇමතී ය.ප්‍රේමය ප්‍රකාශ කරන්නට පෙරම වෙන් වී ගිය ප්‍රේමවන්තයන්ගේ අපහසුව සනුරිට වැටහිණ.කළ හැක්කක් නොමැත්තෙන් ඈ බලා හුන්නා ය.අමන්දී හිස වනා ස්තූතිය පිළි ගත්තා ය.නමුත් ඔහු දැන් ඇයට අමතන්නේ අමන්දී යනුවෙනි.අමා යැයි කෙටි නමකින් තමා අමතමින් නිතරම තමන් ළඟ රැදුණු සැහැල්ලු යෞවනයා මෙතැන නැති බව අමන්දී වටහා ගත්තා ය.දැන් මේ සිටින්නේ තාරකාවකි.
“රියැලිටි නරක නෑ කියල අමන්දිට තේරුණු එකම මදැයි..නැද්ද සනූ.”
අමන්දී ඒ වචන ඇසී තිගැස්සුණා ය.ඔහු තවමත් හිඳින්නේ එදා ඈ කළ ප්‍රතික්ෂේපය ගැන උපන් තරහින් දැයි අමන්දී සිතුවේ ශෝකයෙනි.
“දුලනි වගේ දරුවන්ට මේක නරක නෑ.ඒ දරුවන්ට ලෝකෙ දකින්න මේක හොඳ පාරක්..”.
ඇය හීන් සීරුවේ කියා ගත්තා ය.අමන්දී තර්කයකින් බිඳ හෙළන ඕනෑම මොහොතක නගන්නට පුරුදුව සිටි දඟකාර සිනාව ඉඳුවරගේ දෙතොලේ පිපී ආවේ ය.