ඉටිපන්දම්

මලිති විවාහයෙන් වෙන් වීම තීරණය කලේ සංකල්පගේ බේබදු ජීවිතය ඉවසා ගන්න බැරිම තැන. සංකල්ප  කැම්පස් යන  කාලේ  සංකල්පගේ බේබදු ජීවිතේ දිහා ආදරෙන් බැලුවට එකට ජීවත් වෙන්න ගත්තාම ඒක පහසු නැති බව මලිති ඉක්මනින් තේරුම් ගත්තා. ඒත් අවුරුදු හයක් ආදරේ කරපු පිරිමියාව එක පාරම ලෙහලා දාගන්න හය්යක් මලිතිට තිබුණේ නැහැ. අනෙක් පැත්තෙන් සංකල්ප හැම උදේකම හාදු තවර තවරා දෙන පොරොන්දු විශ්වාස නොකර ඉන්නත් මලිතිට පුලුවන් වුණේ නැහැ.

ඒත් ඒ හැම දරාගැනීමක්ම ඉවර වෙන දවස උදා වුණා. දෙනෝදාහක් ඉස්සරහ සංකල්ප මලිතිට අත ඉස්සුවා. කම්මුලට දෙපාරක් ම ගැහුවා. එතනින් නැවතෙන්නේ නැතුව අහගෙන ඉන්න බැරි තරමේ අපහාස වචන වැලක්ම කියවගෙන ගියා. පහුවෙනිදා උදේ වෙනකොට බීමත් මනස සිඳිලා ගිහින්, දයාබර සංකල්ප ඉපදිලා හිටියත් මලිති ගත්ත තීරණය වෙනස් නොකරන මතේම හිටියා. 

සංකල්ප එක්ක උන්න ගෙදරින් ගිහින් අම්මලා ළඟ නැවතෙන්න මලිති දවස් දෙකයි ගත්තේ. සංකල්ප ඊට පහුවෙනිදා ඉඳන්ම ඇවිල්ලා මලිති ට ආයේ ආයෙම ගෙදර එන්න කීවේත් කටගොන්නක් බීගෙනමයි. 

“හදන්න හිතාගෙන මිනිස්සු එක්ක සම්බන්ධතා දික් ගස්සන්න හොඳනෑ…”

මලිතිගේ  පොඩි  නෑනා කිව්වේ එහෙම. වෙනදාට නෑනා එක්ක එකඟ නොවී එල්ලි එල්ලී රණ්ඩු කරන මලිති අද නිහඬවම ඒක පිළිගත්තා. 

සංකල්ප මත්තේම ජීවත් වෙලා හිටපු නිසාම මුල් දවස්  මලිති ගෙව්වේ යම් පීඩනයකින්. උදේ, දවල්, හවස, රෑ වෙනසක් නැතුව ජීවිතේ මිහිරිව තිබුණ තැන් මලිතිට රිදෙව්වා. ඒ රිදුම් පිරිමැදෙන හේතුව ගැන ආයේ ආයෙම හිතලා මලිති හිත හදාගන්න උත්සාහ කලා. 

“සංකල්ප වෙන ගෑනියෙක් එක්කන් ඇවිල්ලා..”

දික්කසාදේ දෙවෙනි නඩු වාරයටත් කලින් ඒ පණිවිඩේ ඇහුණම මලිති කඩාගෙන නොවැටුණා නෙවෙයි. ඒත් අත් හැරපු යමක් වෙනුවෙන් ලෝබ කම් කරන එක තේරුමක් නැති බව තේරුම් ගන්න තරම් මලිති ශක්තිමත් වෙලා හිටියා. 

“ඒ ගෑණි සංකල්පගේ ගේත් විකුණලා, වාහනේත් විකුණලා රට ගිහින් ලු…”

අවුරුද්දකට පස්සේ එහෙම ඇහෙනකොට මලිතිට තිබුණේ ආගන්තුක සිදුවීමක් දිහා  බලන හැඟීම විතරයි. 

අහම්බෙන් ෆේස්බුක් ගෲප් එකක දැකපු දැන්වීමක් හොයාගෙන ගිහින්, සුවඳ ඉටිපන්දම් හදන්න ගත්ත මලිති ගෙවුණ මාස හය පුරාවමට වටිනාකම් තියෙන ව්‍යාපාරයක් ගොඩ නඟාගෙන තිබුණා. සංකල්පගෙන් ඈත් වීමේ වේදනාව ඇය දිය කලේ ඒ ඉටිපන්දම් වලට. තමාම හදලා දල්වන ඉටිපන්දම් ක්ශය වෙලා යන විදිය බලාගෙන මලිති බැඳීම් ගැන කියෝගත්තේ. 

ඒ නිසාම, සංකල්පගේ ජීවිතේ බිඳීම් ගැන පවා මලිති උපේක්ෂාවෙන් බැලුවා. 

” Candle M ” අවුරුද්දක් යනකොට ෆේස්බුක් අවකාශයේ වැඩිපුරම හොයන නමක් බවට පත් වුණා. සංවස්තර , උපන්දින සැමරුම්, තෑගි,  රාත්‍රී සම්භාෂණ, විවාහ වගේ නේක කාරණා වෙනුවෙන් මලිති සුවඳ ඉටිපන්දම් හැදුවා හැදුවා කිව්වට, හැදෙව්වා. අවුරුද්දක් යනකොට මලිතිගෙ ඉටිපන්දම් කර්මාන්තශාලාවේ හය දෙනෙක් දවසට පැය අට ගානේ, මුර දෙකකට සේවය කලා. 

සංකල්ප මලිතිගේ ව්‍යාපාරය ගැන දැනගත්තේ අලෙවි විධායකවරයෙක් විදියට රැකියාව කරන්න පටන් ගත්තාම. බේබදු කම ජීවිතේ සම්පූර්ණයෙන්ම උස්සලා බිම ගැහුවම සංකල්ප අංශක 360කින් වෙනස් වුණා. කණපිට පෙරළුණා. 

මලිති ට ලං වෙන්න, ජීවිතේ ඉස්සරහ දවස් මලිති එක්ක සැලසුම් කරන්න හීනෙකින්වත් ඉඩ නැති බව දන්න නිසාම සංකල්ප කරේහැම දාකම කොහෙර් හරි කඩේකින් මලිතිගෙර් ඉටිපන්දම් අරගෙන යන එක. ඒ ඉටිපන්දම් එලියෙනුයි මත් සුවඳයි එක්ක සංකල්ප සෑහෙන්නම දවස් ගෙව්වා. 

පස්සේ පස්සේ මත්පැන් වලින් අයින් වෙලා, ඉටිපන්දම් සුවඳ එක්ක පොත් කියවන්න ඇබ්බැහි වුනා. රැකියාව වෙනුවෙන් උපරිම කැප වුණා. මලිති යන එන දිහාවලට ගිහින් මලිති දිහා බලාගෙන ඉන්න පුරුදු වුණා. 

සංකල්ප මේ විදියට හොරෙන් හොරෙන් මලිති දිහා බලන් ඉන්න එක ඉස්සෙල්ලාම දැක්කේ මලිතිගේ මල්ලී. මල්ලී ඒ ගැන මලිතිට කියන්නේ නැතිවම සංකල්ප ව මුණ ගැහුණා.

ඒත්, සංකල්ප කලේ මඟෑරලා ගියපු එක. සහෝදරයෙක් වගේ තිබුණ බැඳීමකට පිටු පෑවට පස්සේ සංකල්පට තව දුරටත් ඒ බැඳිම් වලට මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුණේ නෑ. 

තමන්ව මඟ හැරියා වුනත්, දිගින් දිගටම සංකල්ප අක්කා ගැන අවධානෙන් ඉන්න බව තහවුරු කරගෙන, මලිතිගෙ මල්ලී ඒ ගැන මලිතිට කිව්වා. මලිති මල්ලී කීව විස්තරේ අහගෙන හිටියේ ඇස් ලොකු කරගෙන. 

හොරෙන්ම සැලසුම් කරලා,එක ඉරිද දවසක මලිති සංකල්ප හොර ගල් අහුලපු තැනට කඩාගෙන පැන්නා. 

සංකල්ප කලේ ආපහු හැරුණු එක.

“අම්මා කිව්වා ගෙදර ඇවිල්ලා යන්න කියලා … ඔයාලෑ අම්මාලත් අපේ දිහා ආවා…”

එහෙම කියලා සංකල්පට කලින් මලිති ආයෙම හැරුණා.

මලිතිගේ  හඬේ තිබුණ දයාර්ද බවක්ද, තෙත් බවක්ද, වියළි බවක්ද කියලා සංකල්ප ට අඳුනගන්න බැරි වුණා.

ඒත්:; බලාපොරොත්තුවක් දැනුණා.

ඉටිපන්දම් දැවිලා ඉවර වුණාට පස්සේත් එන  සුවඳ වගේ ඒ බලාපොරොත්තුව පණ ගැහි ගැහි උඩ පැන්නා. 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles