පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට කතා කර ගත්තේ මා හා නංගී දෙදෙනා ම විභාග වලට සූදානම් වෙමින් සිටි නිසා ය. මගේ විභාගය නිම වූ පසු සුදුසු තැනක් බලා බෝඩින් විය යුතු යයි ද නංගීව ද මා සමගින් තබා ගත යුතු යයි ද අපි කතිකා කොට ගතිමු.
තාත්තා යන නිසා ගෙදර තනි නො තනියට ආච්චම්මා ඇවිත් නතර වන්නට කැමති වූවා ය.
“සුමිත්‍රා කතරගම ගිහිං පදිංචි වෙන්න අකමැතිනං කරන්න තියෙන්නෙ රංජි එහෙ ජොබ් එක කරල මාසෙකට හමාරකට සැරයක් ගෙදර එන එකනෙ. අපි ඉතිං කට්ටියටම ගිහිං ඉන්න පුළුවන් කියල කිව්වෙ එයාල එහෙම වෙනසකට කැමතියිනං විතරයි පූජා”
නෙරංජලා ගුරුගේ මා හා කීවා ය.
“තාත්තා ටිකක් මේ පරිසරෙං ඈත් වෙලා ඉන්න එක හොඳයි තමයි. ඒත් අම්මයි නංගියි පව් කියල මට හිතෙනව ආන්ටි”
“ආන්ටි නෙවෙයි අම්මා”
ඇය සිනහ වී මතක් කළා ය. මාව සිය ලේලිය වශයෙන් පිළිගන්නට කැමැත්ත ප්‍රකාශ කළාට පස්සේ, ඇයට අම්මා කියා කතා කරන්නයි නෙරංජලා මගෙන් ඉල්ලීමක් ද කළා ය. නමුත් පුරුදු වූ ඇමතුම බොහෝ විට මගේ මුවින් පිට වූයේ ය. ඇය එහැම විටෙක ම සිනහ වෙවී එය නිවැරදි කළා ය.
“සොරි අම්ම”
මම ද ලැජ්ජාශීලී සිනහවක් පෑවෙමි.
“විශේෂයෙන්ම නංගි පුරුදු වෙලා ඉන්නෙ මෙහෙ ජීවිතේට. මට හිතෙනව අම්ම අපේ ගේ ටිකක් හොඳට හදන්න. අම්මලට නංගිලට පිළිවෙලට ඉන්න පුළුවන් විදිහට. මට ලෝන් එකක් ගන්න පුළුවන් වෙයිනං…”
“මොනාද දරුවො මේ කියන්නෙ…ඔයා පිට කෙනෙක්ද…අනිත් එක තාත්තා මට කියනව ඔයා හොස්පිට්ල් එකේ වැඩ වලට මහන්සි වෙන තරම. ඔයා ලෝන් එකක් ඇප්ලයි කරන්න”
“ඒක මගෙ යුතුකම කියල මට හිතෙනව අම්ම. අම්මල හැමදාමත් දුක් වින්දා. මට පුළුවන් වෙච්ච වෙලාවෙ මං එයාල වෙනුවෙන් එහෙමවත් දෙයක් කරල දෙන්න ඕනෙ”
මම මගේ අදහස ගැන තාත්තා ට කීවෙමි. ඔහු එකවර පිළිතුරක් නොදී කල්පනා කළේ ය.
“මෙතනම ගේ හදනවයි කියන්නෙ අපි හැම දාම මෙතනම ඉන්නවයි කියන එකනෙ ලොක්කි”
ඔහු සිය බෙල්ල කසමින් එසේ කීවේ තමන්ගෙන් වරදක් සිදු වූවාක් මෙනි.
“ඒත් ලොක්කි කසාද බැඳල එහා ගෙදරට යන්න ඉන්න එකේ…අපි මෙතන ඉන්න එක ලොක්කිට ලැජ්ජාවක් නේද…”
“තාත්…තෙ”
මට තාත්තා බදා ගෙන හඬන්නට තරම් දුකක් දැනුණේ ය. මා කොතැනකට යන්නට නියමිත වූව ද මේ මගේ තාත්තා ය. ඔහු ගේ චර්යාවන් ගැන මා කෝප ගත්තා සැබවි. නමුත් තාත්තා දැන් වෙනස් වෙමින් හිඳී. ඔහු කළ සමාජ විරෝධී කටයුතු ලැජ්ජාවක් වූවා ට තාත්තා කිසි දා ක මට ලැජ්ජාවක් නොවේ. අපේ දුප්පත් කම ද මට ලැජ්ජාවක් නොවේ. නමුත් මා කොහොම එය ඔහු ට පහදා දෙන්න ද?
“එහෙම කොහොමද වෙන්නෙ…මේක තාත්තා හිටපු තැන. අපේ තත්වෙ දැනගෙනයි ආකාශ් අයියගෙ අම්මල මට කැමති වුණේ. හැබැයි මං ඒ ගෙදර ලේලි වෙලා යන නිසා තාත්තා උන් හිටි තැන් අත්ඇරල යන්න ඕන නෑ. තාත්තල ගුරුගේ ගෙදර අයට ලැජ්ජාවක්නං මටත් ඒ ගෙදරට යන්න උවමනාවක් නෑ”
මා කතා කළේ මගේ හදවත ට දැනුණ ඇත්ත ම ඇත්ත ය. තාත්තා කතරගම යන එක ගැන මා සතුටු ය. ඒ ඔහු ට එහි දී ගෞරවනීය ලෙස රැකියාවක් කර ගෙන සිටිත හැකි නිසාවෙනි. ඔහු ගේ පාප මිත්‍රයින් ගෙන් තාත්තා ට මඳක් දුරස් වී සිටිත හැකි වන නිසාවෙනි. එසේ සිටියදී තාත්තා ට සිය ජීවිතයෙහි වැරදුණ තැන් ගැන නැවත සිතා බලා ස්වයං පුනරුත්ථාපනයක් විය හැකි නිසාවෙනි. එසේ නැතිව ගුරුගේ මැදුරට යාබද කුඩා නිවසෙහි තාත්තා ජීවත් වන නිසා නොවේ.
“එහෙමනං අපි ඉක්මනට ඔයාගෙ ලෝන් එක රෙඩි කරල දෙන්නං. හැබැයි පූජා මේ වෙලාවෙ ඔයා ප්‍රයරිටි එක දෙන්න ඕන එග්සෑම් එකට. අන්න ඒක අමතක කරන්න එපා”
ආකාශ් මගේ තීරණය බාර ගත්තේ එසේ ය. කලින් වතාවේ දී සේ ම ඔහු මාත් සමග ප්‍රශ්න පත්තර සාකච්ඡා කළේ ය. නො දන්නා විෂය කරුණු යළි කියා දුන්නේ ය. නමුත් පසු ගිය වතාවට වඩා, ඔහුත් සමග ම මා අරමුණක් කරා ඇදී යමින් හිඳින බව මට දැනිණ. යමක් සඳහා තනි ව සටන් කරනවාට වඩා දෙදෙනෙකු එක් ව එසේ කරත්දී යෙදිය හැකි ශක්තිය වැඩි ය.
තාත්තා කතරගම යන්නට පෙර අපි කුඩා නිවසක් සඳහා සැලැස්මක් අන්දවා ගතිමු. නෙරංජලා ගුරුගේ විසින් අලුතෙන් සාදවා දෙන ලද කාමරය හා නාන කාමරය එසේ ම තිබියදී තවත් කාමර දෙකක් සහ සාලයකින් ද මුළුතැන්ගෙය කින් හා නාන කාමරයකින් ද එම නිවස සමන්විත වූයේ ය. සැලැස්ම අන්දාගෙන ආ දා තාත්තා ගේ මුව මත ඇඳී තිබුණ සිනහව කිසි දා මට අමතක නො වන්නකි.
අම්මා ගේ ගෙදරින් දායාද වශයෙන් ලැබුණ ඉඩම, තාත්තා විකුණා දැමුවේ ය. ගෙවන්නට තිබූ ණයක් පියවා ඉතිරියෙන් මඩ ඉඩමක් මිලදී ගෙන ගෙයක් හදන්නට ගියේ ය. නමුත් ටික කලක දී එය ද විකුණා දමන්නට සිදු විය. ආච්චම්මා විසින් මිලදී ගෙන දෙනු ලැබූ මේ ඉඩම් කැබැල්ලේ යන්තම් අටවා ගත් කාමරය හැරුණු කොට මෙහි ගෙයක් තනන්නට හැකි වෙතැයි ඔහු සිහිනයෙන් හෝ නො සිතන්නට ඇත. නමුත් ලස්සන කුඩා නිවසක සැලැස්මක් මේ මොහොතේ තාත්තා ගේ අතේ තිබේ.
“අනේ මන්දා. මේ වෙලාවෙම මං ගෙදරිං ගියාම මේ වැඩ කරන්නෙ කොහොමද ලොක්කි…ලොක්කිට පුළුවනෑ මේවත් හොයල බලන්න…”
තාත්තා හිටියේ දෙගිඩියාවෙනි.
“අපේ කාමරේ හදපු බාසුන්නැහෙලව ආකාශ් ගෙ අම්ම කතා කරල දෙයිනෙ තාත්තෙ. එයාල ඉතිං කරං යයිනෙ”
“කොල්ලො ටිකට කියල අත්තිවාරම කපන වැඩේ හරි කරන්න තිබුණා මට”
“අනේ අනේ උඹේ වසවර්තියො නැති වුණාට කාරියක් නෑ. ඒක ඒ බාස්ලම කරපුවාවෙ”
ආච්චම්මා වහා මැදිහත් වූවා ය. තාත්තා නැවතත් සිය මිත්‍ර සේනාව මෙහි ගෙන්වන්නට හදනවායි ක්ෂණික බියක් ම තුළ ද ඇති විය.
“දෙයියනේ කියල උඹ ගිහිං ඔය රාජකාරිය කොරහං රංජියො. දැං මේ කෙල්ලොත් උස් මහත් වෙලා රස්නාවල් කරන තැනට ආපි….උඹ තාත්තා විදිහට ජීවිතේ පිළිවෙලක් කර ගන්න ඕන බං”
ආච්චම්මා දේශනයකට සූදානම් වූයේ තාත්තා කතරගම යන්නට ගත් තීරණය වෙනස් කරතැයි සිතා ගෙන බියෙන් මෙනි.
“මෙහේ වැඩ කෙරෙයි කොහොමත්. ඒ වගේද උඹ මාසෙ පඩියක් ගන්න රස්සාවක් කරනවයි කියන එක. අනික ඒ වගේ ලොකු වගකීමක්…මේ කෙල්ලගෙ නමටත් කැළලක් නොවෙන විදිහට උඹ අවංකව ඒ කටයුතු කරන්න ඕන ඔන්න”
තාත්තා හෝටලයේ මුදල් හදල් සම්බන්ධයෙන් වංචා කරතැයි බියක් ආච්චම්මා ට වන්නට ඇත. නමුත් මගේ තුන් හිතකවත් එවන් සිතිවිල්ලකුදු නො විණි. තාත්තා ව මම දන්නෙමි. ඔහු දුර දිග නො බලා හා මිතුරන් ව විශ්වාස කරමින් කටයුතු කරන බව ඇත්ත ය. නමුත් ඔහු කිසිවෙකුට වංචාවක් කොට ඇතැයි මම නො සිතමි. අනුන් වෙනුවෙන් ඔහු ඔහු ව ම අමතක කොට කැප වුණේ ය. නමුත් අනුන්ගේ දෙයක් කඩා වඩා නො ගත්තේ ය.
තාත්තා ගියේ ආනන්ද ගුරුගේ සමග ඔහු ගේ රියෙනි. හෝටලය සතු ව යතුරුපැදියක් සහ ත්‍රීරෝද රියක් ද එහි වන නිසාවෙන් තාත්තා ට ඒවා පාවිච්චි කළ හැකි යයි පැවසිණ. ඒ නිසා ඔහු ගේ ත්‍රීරෝද රිය, දෛනිකව මුදල් ලබා දෙන පදනම මත මිතුරෙකුට කුළියට දෙන ලදී. දිනපතා ම හවසට, අම්මා අතට මුදල් ගෙන දිය යුතු විය.
පුංචි කාලයේ සිට ම මා තාත්තා ගැන සිතුවේ ප්‍රසාදී හැඟීමකින් නොවේ. ඔහු මගේ පාසලේ දෙමාපිය රැස්වීමකට හෝ එනවාට මම නො සතුටු වීමි. නමුත් තාත්තා රැකියාවක් සඳහා ගෙදරින් සමු ගෙන යන්නට හදන මේ මොහොතේ මට දැනුණේ මගේ ළය පැළෙන්නට එනවා මෙනි. ඒ වෙලාවේ නො හැළුණ කඳුළු මා සැළුවේ ආකාශ් සමග රෝහලට යන ගමන් ය.
“එයා හොඳ තාත්ත කෙනෙක් වුණෙ නෑ තමයි. ඒත් එයා හොඳ මනුස්සයෙක් අයියෙ. උණු වෙන හිතක් තියෙන මනුස්සයෙක්. මං තාත්තට ආදරේ නෑ කියලයි මං හිතං හිටියෙ. ඒත් තාත්තට මං කොච්චර ආදරේද කියල දැන් තමයි මං දන්නෙ…”
“අපි තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරනවනෙ පූජා…ම්..”
“එයාගෙ ජීවිතේ මැදි වයසෙං පස්සෙ කාලෙවත් සතුටෙන් සැනසීමෙන් හිතේ නිදහසෙන් ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් හදල දෙනව මං…මේ ලෝකෙ ඉන්න හොඳම තාත්තා එයා නොවෙන්න පුළුවන්. ඒ වුණත්…මට එයාට සලකන්න ඕනෙ අයියෙ. මට එයාව බලාගන්න ඕනෙ…මාව කවදාවත් ඒ අසරණ තාත්තගෙන් වෙන් කරන්නනං එපා අයියෙ”
මගේ උරහිස වටා වමත යවමින් ආකාශ් මාව සිය සිරුර වෙතට සමීප කොට ගත්තේ ය. ඒ එක්ක ම ඉඩ කඩ වූ තැනක් බලා රිය නතර කළේ ය.
“මං ඔයාට ආදරේ කළේ ඔය ඉන්න තත්වෙං පූජා. මට ඒකෙ කිසිම වෙනසක් කරන්න ඕනෙ නෑ. ඔයාගෙ තාත්තා ඔය නරක ආශ්‍රයෙන් ඈත් වෙලා කීයක් හරි හම්බ කර ගන්න එක හොඳයිනෙ. ඒ ඇරෙන්න…ඔයාගෙ පවුල ගැන මට නිසි ප්‍රශ්නයක් නෑ. ඔයාගෙ ආදරේ විතරයි මට වැදගත් වෙන්නෙ”
ගුරුගේ ලා පොළොවේ පය ගසා ජීවත් වන මිනිසුන් වීම තුළ මට විඳ ගත හැකි වූ සැනසුම වචන වලින් විස්තර කළ නො හැකි තරම ය. ඒ වාගේ මිනිසුන් මිහි පිට සිටිත හැකි ද කියා පවා නො සිතුණා නොවේ. නමුත් මොන යම් හේතුවක් මත හෝ මට ඔවුන් හමු වී තිබිණි.
“පෙර කුසල් කියන්නෙ ඕවට තමයි ලොක්කියෙ”
ආච්චම්මා කීවා ය.
“ඉරණම ඒ මිනිස්සුන්ව ගෙවල් දොරවල් හදාගෙන මෙහෙටම එවල තියෙන්නෙ උඹව මුණගස්සන්න වෙන්න ඇති. ඒව හැම කෙනෙක්ටම සිද්ද වෙන දේවල් නෙවෙයි. සංසාරෙ කොතනකදි හරි කරපු අකුසලයක් නිසා උඹ මේ වගේ පවුලක දුක් විඳින්න ඉපදුණාට…ඊට වඩා ලොකු කුසල් බලයක් ඇති. අර පව් ගෙවිල ඉවර වෙද්දි උඹට හිමි තැන තමයි ඔය ලැබෙන්න යන්නෙ”
පුංචි කාලේ මුව ද අයා ගෙන ආච්චම්මා කී කතා අසා උන් විශ්මයෙන් ම මම ඇදෙස බලා සිටියෙමි.
“එහෙනං අපිත් ඒ කුසල් වලට හවුල් වෙලා ඇතිනෙ”
නංගී කට දැම්මා ය. ආච්චම්මා නංගී විනිවිද බැලුවා ය.
“එක කුසේ උපන්නත් එක එකාලගෙ පිං බලේ වෙනයි බං. උඹ කටේ කිරි සුවඳ යන්නත් කලිං මිනිහෙක් එක්ක පැනල ගියා. ඒව සසර අකුසල්. ඒ ගිය එකවත් හරි ගියාද…නෑ. ඒක අත්ඇරල ගෙදර එන්න වුණා. ඒව කරපු අකුසල් කර්ම වල විපාක. අඩු ගානෙ ඒව තේරුං අරගෙන දැංවත් ජීවිතේ පිළිවෙලක් කර ගන්න බලපං පොඩි එකියෙ. අක්ක තරං උඹ පිංකාරියෙක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ අක්කෙක් ලබන්නත් උඹ කරපු පිං ඇති. කරුමනං අපි ගෙවල ඉවර කරන්නම ඕන කෙල්ලනේ”
නංගි ගේ මුහුණේ හොඳක් නොවුණත් ඇය ආච්චම්මා සමග එකට එක කියා ගෙන ආවේ නැත.
මගේ හිස මත වගකීම් සමුදායක් පැටවී තිබිණ. මගේ පවුලේ අය වෙනුවෙන් කුඩාවට හෝ ගෙයක් ඉදි කරනා වගකීම මම පවරා ගෙන සිටිමි. නංගිගේ අනාගතය පිළිසකර කරනා වගකීම මම පවරා ගෙන හිඳිමි. මාව වෛද්‍ය පීඨය තෙක් කැටිව යන වගකීම මම පවරා ගෙන හිඳිමි. ඊට අමතර ව වෘත්තීය වගකීම් රැසක් ද හිස මත විය. නමුත් මා වඩාත් ම සතුටෙන් ජීවත් වූ කාලය මෙයයි.
ආකාශ් ව නිදහසේ ඇසුරු කිරීමේ අවස්ථාව මට සැලසී තිබිණි. පෙම්වතුන් වශයෙන් අපට ලෝකයට මුවාවෙන් හමු විය යුතු වූයේ නැත. ඔහු ත් එක්ක ගමනක්, රහසින් යා යුතු වූයේ නැත. ඇතැම් විට එසේ රහසිගත ව හමු වූ මුල් දවස් ටික වඩාත් සුන්දර වන්නට ද ඇත.
“ඔයාගෙ නංගි වගේ පැනල ගියා නං හොඳයි කියලත් වෙලාවකට හිතෙනව”
දවසක් පාඩම් වැඩ අවසානයේ ආකාශ් සිනහ වෙවී කීවේ ය. මම යටපත් කර ගත් සිනහවෙන් ඔහු ට රැව්වෙමි.
“හැම දේම කලාවට අකුරට වෙනකොටත් කිසි ගතියක් නැති වෙනව අප්ප. ඔයාව බලන්න හොරෙං හොරෙං නුවර ආපු දවස් වල තමයි ලස්සන තිබුණෙ. විනූට ඕපීඩී එක තනියම කවර් කරන්නයි කියල බැණුං අහ අහ පැන ගත්ත ඒ දවස් ටික ඇත්තටම ලස්සනයි පූජා”
“ඔයා කියන විදිහට ඉතිං…අම්මා කැමති නොවුණනං තමයි මේ කතාව ලස්සන වෙන්නෙ”
“හ්ම්. හුඟක් මිනිස්සුන්ගෙ හිත් සහජයෙන් ම කැමති ශෝක රසයට තමයි”
“ඉතිං ශෝක රසය ඉතුරු කර ගෙන අපි වෙන් වෙමු එහෙනං”
ආකාශ් හඬ නගා හිනැහුණේ ය. ඒ සිනහව මගේ හදවත් බිත්ති වල හැපෙමින් පිළිරැව් නැගෙන්නට විය. කුමක් දැයි හරියට ම නොතේරෙන රිදුමක් හිත පහුරු ගානවා තවත් දින කිහිපයක් ගත වෙන තෙක් මට දැනෙමින් තිබිණි.