“ඔයාට මහන්සි වෙන්න හොඳද ඔච්චර දඟලන්නේ..”
කාලය ගෙවී ගියේ අවිශ්කට ඒ ප්‍රශ්නය අමන්දීගෙන් අසන දවස කැඳවමිනි. පාසලේ දහසකුත් එකක් වැඩ ද නයනිගේ කුඩාවුන්ගේ රාජකාරි ද අඩු නැතුව ඉටු කරන අතර තාරා ගමනකින් ඇවිද යමින් එළවළු පැළ වලට වතුර දමන අමන්දී අවිශ්කගේ දෑසට ගෙන එන්නේ සෙනහසක මිහිරියාව ය.
“අප්පච්චි වගේ හිත හයිය කොල්ලෙක් මං ගාව ඉන්නෙ.එයාට මේ මහන්සිය ඒ තරම් දෙයක් නෙවෙයි..”
පස් මසක කුස දරා අමන්දී කියන්නේ අන් කවරදාකටත් වඩා අවිශ්කට බැඳෙමිනි.
මහ ගෙදර අතැර අලුත් නිවසට පැමිණ වසරකටත් වඩා කාලයක් ගෙවී ඇති බව අමන්දීට සිහි කරන්නේ මල් පොකුරු වලින් බරව ඇති මල් පඳුරු ය.ළපටි හිස් ඔසවා බලන කුඩා පළතුරු පැල වැඩෙන්නේ අනාගතයේ උපදින අමුත්තාට රස ද ගුණ ද ඇති ඵලවැල ලබා දීම තමන්ගේ එකම සිහිනය බව කියමිනි.උසස් පෙළ විභාගය අහවරව ප්‍රතිඵල බලාපොරොත්තුව හිඳින සඳුනි හා එක්ව එළවළු වවන්නට අමන්දීට සිත් වූයේ ඇය ගැබිණියක වූ පසුව ය.
“ඔයාලා ඉතිං ඔය විකුණන එළවලු හදන්නෙ පෝර ගහලනෙ..මේවා මම හදන්නේ විසක් නැතුව කන්න..”
අමන්දී එසේ කියමින් කුඩා එළවළු පාත්ති සෑදුවා ය.අවිශ්ක කිසිත් නොකියා ඇයට අත් උදව් දුන්නේ ය.
“ඔය ඕගනික් වගාව දැන් වැඩියෙන්ම ලාබ උපයන වගාවක් හැබැයි..”
ඉතා ස්වල්ප දිනයකින් අවිශ්ක රැගෙන ආවේ එවැනි ආරංචියකි.
“ඔයා ඒක පටන් නොගන්නෙ අවාසි නිසා කියලයි මං හිතුවේ..නැත්තං අමාරු නිසා කියලා..”
ගොවිතැනෙහි විවිධ ඉසව් කරා සක්මන් කරන්නට කැමති සැමියා දෙස බලමින් අමන්දී පැවසුවේ ආදරයෙනි.
“අවාසියක් නෑ.මං වැඩ කරනකොට අමාරුකම් හිතන මිනිහෙක් නෙවෙයිනෙ..”
අවිශ්ක අලුත්ම සිහිනයක් දිග ඇවිද යන්නට පටන් ගත්තේ ය.විවාහ වූ අලුත මේ මිනිසාට ආදරය කරන්නට නොහැකි තරමට ඔහුගේ රළුකම් ගැන වද වූ අන්දම අමන්දී සිහි කරන්නී ය.ඒ අතීතය ය.ඉඳුවර සිතේ අලවා ගනිමින් සිටි අතීතයට වඩා කුඩා බිළිඳෙකු කුස දරා ගත් ගුරුතුමියක වී ධෛර්යමත් ගොවියෙකුට බිරිඳ වන වර්තමානයට අමන්දී ප්‍රිය කරන්නී ය.වඩා ඇලුම් කරන්නී ය.
ජීවිතය අපට ලබා දෙන්නේ ද අප රැගෙන යන්නේ ද වඩා සුන්දර ඉසව් වෙත ය. එය ඉතා නරක බව සිතා සිටින තුරු සතුටක සේයාවක හෝ දකින්නට නොහැකි බව දැන් අමන්දී වටහා ගෙන අවසන් ය.
“නාලක වගේ ගස් වැද්දෙක් එක්ක යන්න අක්කට දික්කසාදෙ අරන් දුන්නටත් පාඩුයි..”
කුඩා දියණියන් පසුපස පන්නමින් හිඳින අතර දිනක් සඳුනි අමන්දීට පැවසී ය.නයනිගේ පිළිවෙළකට නැති ජීවිතය ගැන අමන්දීට දුකක් නොදැනෙනවා නොවේ.නමුත් ඇය හැකි සෑම විටකම දියණියන්ට අම්මා වෙමින් නයනි නැති අඩුපාඩුව මකා දමන්නට තැත් දැරී ය.
“දූට මේ යස්ස පැටව් එක්ක ඔට්ටු වෙන්න බෑ දුවේ..දැන් හිතේ නිදහසේ ඉන්න ඕන කාලේ..”
ශාන්‍ති මන්තරයක් සේ මතුරන්නී ය.එහෙත් පාසල් ගොස් එන අතර මහ ගෙදරට ගොඩ වන අමන්දීගේ සාරි පොටේ එල්ලී ඈ සමඟ “නැන්දා ගෙදර” යන්නට පොඩිත්තියන් මනාප ය.
“අපේ අක්කාට හොඳ කසාදයක් කරගන්න බැරුව නෙවේ අක්කෙ.අම්මා ළමයි බලා ගනීනෙ.දැන් ඉතින් කසිප්පු පෙරන ගාණට වැටුණා..”
සඳුනි තම සහෝදරිය ගැන නිරන්තරයෙන් ශෝක වන්නී ය.
“මට ඔයා ගැන හරි සතුටක් දැනෙනවා..”
අමන්දී සඳුනිට පැවසුවේ සැබෑ හැඟීමකිනි.සඳුනි තම නෑනන්ඩිය වෙත විමසුම් නෙත් දැල්වූවා ය.
“අක්කා වගේ,සුරේකා වගේ ඔයා නාස්ති වුණේ නෑනෙ..ඔයා ඉහළින්ම එක්සෑම් පාස් වෙනව කියලත් මට විස්වාසයි..”
සඳුනි අමන්දීගේ අතකින් අල්ලා ගත්තේ උතුරා යන සහෝදර ප්‍රේමයෙනි.
“කැම්පස් එක ගැන හීන බලන්න මට ඉඩ ඇරියෙ අක්කා.ඔයා නිසා තමා මං ඒ හීනෙට ගියොත්..මගේ ජීවිතේ එකම හීනේ එතකොට සම්පූර්ණයි..”
අමන්දී නෑනන්ඩිය දෙස බලන්නේ සරදම් බැල්මක් නෙතු මත තවරාගෙන ය.
“සනුරිගෙ වෙඩින් එකට ගියාම මං හිතුවෙ තව හීනයක් හිතේ තියනව කියලා..”
සඳුනි උස් හඬින් හිනැහෙන්නී ය.
“ඉඳුවර මගෙ නෑනා අක්කාගෙ හොඳම යාලුවෙක් වෙලා ඉඳුවර අයියා වෙන්න කලින් ඉඳලනෙ අක්කෙ මගෙ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක වුණේ..දැන් දුර අඩු ඇති..ඒත් තරු ලස්සන අහසෙ තියනකොට..අපි ඒවා අපේ බිත්තියේ අලෝගෙන තේරුමක් නෑ..”
සඳුනි කෙටි කලකින් අවබෝධ කරගෙන ඇති ජිවිතාබෝධය ගැන අමන්දීට ඇති වන්නේ සතුටකි.
සියල්ල සොම්නස්සහගතව සිදු වේ.එවැනි පණිවිඩයක් රැගෙන ඉඳුවරගේ ඇමතුමක් පැමිණියේ හවස් යාමයක ය.
“අමා, මේ පාර ෆිල්ම් අවෝඩ්ස් වල අපේ දුලනි කෙල්ලත් බෙස්ට් සිගින් වලට නොමිනේට් වෙලා..”
ධෛර්යමත් ලෙස තමන්ගේ මාවත සොයා ගත් තම සිසුවිය ගැන අමන්දීට උපදින්නේ හද උතුරා යන සොම්නසකි.එහෙත් ඇයට අසන්නට තවත් ප්‍රශ්නයක් තිබේ.
“මේ පාර තව කවුරුත් නොමිනේට් නැද්ද ඉඳුවර..මං දන්න කෙනෙක්..”
ඉඳුවර වඩා මිහිරි ලෙස හිනැහේ.
“ඇයි ඔයාගෙ හොඳම යාලුවා.අන්න එයත් සිලෙක්ට්..”
ප්‍රේමය යැයි පටලවා ගත් මිතුරුකම යළිත් තමන් අසල රැඳීම ගැන අමන්දීට දැනෙන්නේ සොම්නසකි.ඔහුට ආදරය කරන්නට වැය කළ කාලය මුළුමනින්ම අවිශ්කට දෙන්නට තිබුණා නොවේදැයි අමන්දී දැන් සිතන්නේ නිස්කාංසුවේ ය. ඉඳුවරට අත හැරී ගිය තම අත ගැන සිතමින් හඬන්නට වැය කළ කාලය ගැන ඇයට දැන් උපදින්නේ සොවකි.ආදරය සහ මිත්‍රත්වය කියන්නේ කාරණා දෙකකට ය.හොඳම මිතුරා ස්වාමි පුරුෂයා නොවූ හන්දාම අවිශ්ක වැනි සුන්දර මිනිසෙකු තමා දරා ගන්නට ඉදිරිපත් වීම ගැන ඇයට දැන් දැනෙන්නේ සොම්නසකි.
රත්පැහැ අහසත් පලා පැහැ බිමත් අතර ඇගේ දිව්‍ය ලෝකයත් සොඳුරු ලෝකයත් ඉදිව තිබේ.තාරකාවකට අයත්ව ඇති ලෝකයක නතර වූවානම් මේ සොම්නස පලා යන්නට ද ඉඩ තිබූ බව අමන්දී සිතුවා ය.
“ඔච්චරටම කල්පනාව මොකක්ද?”
අවිශ්ක පැමිණ ඇය අසලින් අසුන් ගන්නේ ඔහුගේ නිහඬ සිනාවෙන් මුව සරසාගෙන ය.අමන්දී මහ පොළොවට රළුව ගිය ඔහුගේ අතක් රැගෙන කුස මත තබා ගත්තා ය.
“මැකිලා නැති වෙන දේදුන්නකට වඩා ළඟ ඉන්න මහ ගහක අගේ ගැන හිතුවා”
හිස් මුදුනත තැවරෙන උණුසුම් සුසුම විඳ ගනිමින් අමන්දී කියන්නී ය.ජීවිතය ගීයකැයි ඇයට සිතේ.උස් තුරු මුදුනතට වී නිශා යම පිළි ගන්නට ගී ගයන කුරුල්ලන්ට ඉඩ දෙමින් ඇය දෑස පියා ගත්තා ය.අවිශ්ක ඈ උරහිසට වාරු කරගත්තේ සැනසීමෙනි.ආදරයෙනි.
සමාප්තයි!!
ආදරණීය පාඨක ඔබට,
කොවිඩ් වෛරසයට ලක් වී ගිලන් වන්නට සිදු වූ නිසා පසුගිය දින කිහිපයක්ම “අවසන් ඉඳුදුන්න” ට පායන්නට ඉඩ හරින්නට නොහැකි විය.ඒ පිළිබඳව ඔබේ සමාව ඉල්ලා සිටිමි.තවම සම්පූර්ණ සුවය ලැබී නැති හන්දා අලුත්ම නවකතාව වන “ළපෙති මල්” පිපෙන්නට බ්‍රහස්පතින්දා වනතුරු ඉඩ හසර අපේක්ෂා කරමි.ඔබේ රසාස්වාදයට මගේ රෝගී තත්ත්වය නිසා සිදු වන බාධාව වෙනුවෙන් සමාව ලැබෙන බව දනිමි.ආදරයෙනි!