“ගෙදරට අමුත්තො ඇවිල්ල ඉද්දි එලියට යනවද හරිහමන් තැනක ගෑණියෙක් නම්
අන්තීමේ තේ හදන්නත් උනයින් මට ඒ මිනිස්සු එක්ක හරියට කතා කරන්නවත් උනේ නෑ”
නිවසට ආ පසුව චිරායුගෙ අම්මාගේ දෝශාරෝපණ අහගෙන ඉන්නට විය. එහෙත් වෙනදා මෙන් ඒවාට කෝප ගන්නට අදහසක් තාරාට තිබුනේ නැත. තමන් අද ඉන්නේ බොහෝ සිත නිවිසැනසිල්ලේය. මේ වදන් වලින් ඒ නිවිසැනසිල්ල නැති කරගන්නට කිසිත් උවමනාවක් තාරාට තිබුනේ නැත.
“ඒ මිනිස්සු උනත් මොනව හිතන්න ඇද්ද? ඒ ලමය හිටියෙ ෆොටෝග්‍රැෆර් එක්ක එන්න දවසක් අහගන්න. ඒකට තමුන් නිවාඩු දාන්න පුලුවන් කවද්ද කියල අහන්න. මොනව හිතන්න ඇද්ද? පුදුම ලැජ්ජාවක් තමයි
අපිම එන්න කියල කන්න බොන්න දීල මූණට ඔහොම කරාම මිනිස්සුන්ගෙ හිත් රිදෙන බවවත් තේරුම් ගන බැරිද මං අහන්නේ?”
කිසිවෙකු දෙස නොබල කීවද මේ සියල්ල ඉතින් තමන්ට බව තාරාට ආයෙ අමුතුවෙන් කියන්නට ඕන නැත. එහෙත් තාරා උන්නේ මේ කිසිවක් ගැන සිතමින් නොවේ. තමන්ගේ සිත රිදෙන බව නොසිතා කට වාචාලකමට ඕන දෙයක් කියන්න පුලුවන් ගැහැණියක වෙනුවෙන් සිත උණු කරගන්න ඕනා නැති බවට තාරා හිතට තරවටු කරමින් උන්නාය.
“ඔයා වැරදියි තාරා ඒ මිනිස්සු ඉද්දි ගිය එක”
චිරායු එසේ කිව්වේ තාරා මුලුතැන්ගෙයට වී රාත්‍රී ආහාරය සූදානම් කරමින් ඉද්දීය. වෙනදාක අම්මලා ආ විට හැම කෑම වේලක්ම හැකි ඉස්තරම් අයුරින් කරන්නට තාරා මහන්සි උනත් ඒ කිසිදවසක තමාට නොහොඳක් මිස හොඳක් අහන්නට නොවූ බව අද මතකයෙන් අලුත් කරගත්තාය. ඒ සිතුවිල්ල මත මේ කිසිවක් නෑසූ කන්ව පරිප්පු කරියකුත් චිකන් හොද්දකුත් එලවලු මිශ්‍ර නූඩ්ල්ස් පිඟානකුත් සමග පොල් සම්බල් හැදුවාය.
“ඔයාට ඒ මිනිස්සු ඉස්සරහ එහෙම නොකර ඉන්න තිබුනෙ. ඔයාට තිබුනා හිතන්න එහෙම කරන එකෙන් අපේ තත්ත්වෙටමොකද්ද වෙන්නෙ කියල, මගේ තත්ත්වෙට වෙන්නෙ මොකද කියල”
“ඇයි මං එහෙම කරන්නෙ?”
පොල් සම්බෝලයට දෙහි මිරිකමින් උන් අතරම තාරා චිරායුගෙන් එසේ ඇසුවේ සමච්චල් සහගත බැල්මක් දෙනෙතේ රඳවාගනිමිනි. පොල් සම්බලට දෙහි මිරිකමින් උන්නේ තාරා වුවද
මුහුණ ඇඹුල් වී තිබුනේ චිරායුගේ.
“මම ඔයාගෙ හස්බන්ඩ් තරා, ඒ ඔයාගෙ ඉන්ලෝස් ලා”
“එතකොට ඒ ඉන්ලෝස්ලා තමන්ගෙ වයිෆ්ට එක එක දේවල් කියද්දි කට පියාගෙන ඉන්න එකද හස්බන්ඩ් කෙනෙක් විදියට ඔයාගෙ වගකීම?”
තාරා ඇසූ දෙයට දෙන්නට පිලිතුරක් නැතුවාක් මෙන් චිරායු නිහඬවම මුහුණ බලා උන්නද තාරා කතාව නතර කරන්නට සිතුවේ නැත. හඬා දොඩා කොපමණ තමන් දේව්ල් කිව්වද මෙතුවක් කාලයට ඒ කිසිවක් නෑසූ කන්ව උන් මේ මිනිසා තමන් ස්වරය වෙනස් කර බොහෝ ශක්තිමත්ව කරන මේ ආමන්ත්‍රණයන් අසලදී සසැලෙන බව තාරා තේරුම් ගනිමින් උන්නාය.
“මේ ගෙදරට එන හැම වාරයක් ගානෙම ඔයාගෙ අම්මයි අක්කයි ඔයාගෙ අනිත් නෑයොයි මට එක එක දේවල් කියද්දි ඇහුනෙ නැතුව ඉන්න එකද හස්බන්ඩ් කෙනෙක් විදියට ඔයාගෙ වගකීම?
අම්මලගෙ හිත රිදුන එක ගැන මිනිස්සු ඔයාලා ගැන හිතන විදිය ගැන ඇවිත් කියද්දි ඔයාට කවදාවත් හිතුනෙ නැද්ද මගේ හිත කොච්චර රිදෙන්න ඇද්ද? මට ම්නව හිතෙන්න ඇතිද කියල?
මම මං කරපු දේ හරිකියල කියන්නෙ නෑ. ඔයාගෙ අම්මලට මම එහෙම කරපු එක වැරදි නම් එයාල මට ඒ දේ කරපු එකත් වැරදිවෙන්න ඕන නේද?
එහෙනං ඇයි චිරායු ඔයා ඒවෙලාවෙ මං වෙනුවෙන් කතා කරේ නැත්තෙ?”
බිඳක්වත් නොසැලී, පොල් සම්බෝලයට දෙහි අනන අතරම තමන්ගේ දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන සාමකාමීව එසේ කියන්නට තාරාට ශක්තිය ආවේ කොහෙන්ද කියා චිරායුට සිතාගන්නටවත් පුලුවන් උනේ නැත.මේ තමා දන්නා තාරා නොවේ. කුමක් හෝ බලවේගයකින් ඇයව වෙනස් කර තිබේ. ඇයව දරදඬු හිතක් ඇත්තියක බවට පත් කර තිබේ.
එහෙත් ඒ තමන්ම බව චිරායුට මොහොතකටවත් සිතුනේ නැත. තාරාව වෙනස් කර තිබෙන්නේ තමන්ගේ වෙනස් වීම බව චිරායුට මොහොතකටවත් සිතුනේ නැත.
“ඔහොම දුශ්ට ගෑණියෙක් වගේ හැසිරෙන්න එපා තාරා. ඒ වයසක මිනිස්සු. ඔයා හිතුවට මේ ඔයාගෙ හිත රිද්දන්න අපෙ අම්මල එහෙම කියනව කියල එහෙම ඉන්ටෙන්ශන් එකක් ඒ මිනිස්සුන්ගෙ නෑ. ඔයා තමයි මේ එක එක මගුල් හිතාගෙන දුශ්ට ගෑණියෙක් වගේ හැසිරෙන්නෙ? ක්ලාස් එකක් නැති ගෑණියෙක් වගෙ හැසිරෙන්න එපා. මම තමුන්ගෙ නෑයො ඉස්සරහ ඔහොම හැසිරුනානම් ඔයා ඒක ඇක්සෙප්ට් කරනවද? ආ?”
ඉදිරිපස විසිත්ත කාමරයේ වාඩි වී රූපවාහිනිය නරඹමින් උන්නද මාධනී කුලතුංගගේ දෙසවන තිබෙන්නේ මුලුතැන්ගෙයට දෙසට හැරී බව දැන උන් නිසාමදෝ චිරායු කෝපවත් හඬකින් වුව මේ සියල්ල කිව්වේ දත් මිටි කමින් තාරා දෙසට නැඹුරුවීය. චිරායුගේ දෙනෙතේ ඇඳී තිබුන කෝපයක සේයාවන් වෙන මොහොතක වූවානම් තාරාව බියපත් කරන්නක් වුවද මේ මොහොතේ උන්නේ මෙතෙක් කල් චිරායුගේ පතිනිය ලෙස උන් තාරා පමණක් නොවේ.
චිරායුගේ වෙනස් වීම නිසාවෙන් කලක් හඬා වැටී හෙම්බත් වූ අවසානයේ ඒ වේදනාවේ අලු දුහුවිලි මතින් නැගී සිටි ශක්තිමත් ගැහැණියකි. එවන් අයෙකුට චිරායුගේ බැල්ම බියපත් වන්නට කාරණාවක් නොවේ.
“වීකෙන්ඩ් එකේ මොකෝ උනේ?”
උදේ පාන්දරම තිබූ කාර්‍යල මීටිමට අමන්දා ආවේ පමා වී නිසාවෙන් මේ කිසිවත් උදෑසන තේ වෙලාවෙදි අමන්දා සමග බෙදා ගන්නට තාරාට ඉඩක් ලැබුනේ නැත. සියලුම දේ කතකරන්නට පුලුව උනේ මීටිමෙන් පසුවය.
“මාව ගණන් ගත්තෙ නැති හන්දා මම ගණන් ගත්තෙත් නෑ”
මෙතෙක් දිනක් සෑම දෙයක්ම ගැනම බියපත් ව බැලු, සිතූ තම මිතුරිය සහමුලින්ම වෙනස් අයෙකු වී ඇති බව අමන්දා තේරුම් ගත්තේ තාරාගේ හඬෙහි වූ ශක්තිමත් බව නිසාවෙනි. එය ප්‍රින්ටරයෙන් කොල වගයක් ප්‍රින්ට් කරගන්නට පැමිණ හුන් අමන්දාගේ හිස ගස්සා තාරා දෙස බලන්නට හේතු වූවකි.
“මොකද උනේ?” අමන්දා එවරඇසුවේ තාරා වෙත වඩා ලං වීය.
“මට එක එක එක ඒව කිව්ව. අර චිරායුගෙ නෑ කෙනෙක් ඉන්නව පිලියන්දල පැත්තෙ. එයාගෙ ඩෝටර්ගෙ එන්ගේජ්මන්ට් එක අපෙ ගෙදර ගන්න පුලුවන්ද කියල අහනව හොටෙල් එකකට පේ කරන එක අපරාදෙ කියල නෙක්ස්ට් ඉයර් වෙඩින් එක ගන්න නිසා.
මට ඒකනම් කමක් නෑ කියන්නකො. මම වැඩ ඇරිල ගෙදර යද්දි අම්මල පුතාලාඔක්කොම අපේ බෙඩ් රූම් එකේ ඇඳ උඩ වාඩිවෙලා රෙජිස්ට්‍රේශන් එක ගන්න විදිය ගැන කතාව. අම්මා කියනව මගෙන් අහන්න ඕන නෑලු මේක චිරායුගෙ ගෙදරක් හන්දා. මට නේද අමා පුදුම කේන්තියක් ආවෙ. මම මුකුත් ඇහුනෙ නෑ වගේ කාමරේට යද්දි අක්කා මගෙ ඇඳුම් කබඩ් එහෙම දිග ඇරගෙන බල බල ඉන්නව. මට මරන්න හිතුන බං ඇත්තමයි. මං මුකුත් කියනෙ නැතුව එහෙමම බාතෘම් එකට ගියා. මූණවල් දෙක උන්නා හැමෝගෙම මාව දැක්කට පස්සෙ”
“අප්පා එච්චර දෙයක් උනාද? උඹ මැසේජ් එකක්වත් දාලා තිබුනේ නැති හන්ද මං හිතුව ඔක්කොම ශේප් එකේ යන්න ඇති කියල”
“මොන ශේප් ද”
ඊටපස්සෙන්දනෙ ලන්ච් එක තිබුනෙ. මම චිරායුට කිව්ව මා ලන්ච් එකහදන නිසා අපි කොහෙන්හරි ඩෙසර්ට් එකක් ගේමු කියල. මෙන්න ඒක ඇහිච්ච පාර අර කාන්තාව එනව මට කියාගෙන එහෙම නෑයන්ට පිටින් කන්න දෙනවද අරක මේක කියල. මම කිව්ව එහෙනම් ඔයාල උයන්න මං ඩෙසර්ට් එක හදන්නම් කියල. කට වහගෙන යන්න ගියේ. මට පුදුම කේන්තියක් තිබ්බෙ. මෙලෝ මල උදව්වක් කරන්නෙත් නෑ කියන එනව අරව මේව ඔක්කොම.
ලන්ච් එක වෙලාවෙදි මගෙන් අහන්නෙවත් නැතුව අර බඳින්න ඉන්න කෙල්ලට ගෙදර හැම තැනම පෙන්න පෙන්න යනව මෙතන ෆොටෝ ගන්න අරක මේක කිය කිය. මං උයපු කෑම කන ගමන්ම අනං මනං දාහක් ඒව කියන්න ආව. මං ගණන් ගත්තෙ නෑ තඹ සතේකට. ඕනදෙයක් කරගත්ත දෙන් කියල ලන්ච් එකෙන් පස්සෙ මම එලියට ගියා.”
“මාර ඒවනෙ වෙලා තියෙන්නෙ. එහෙම අනුන්ගෙ ගෙවල් වල රෙජිස්ට්‍රේශන් ගන්න එනවද අහන්නෙවත් නැතුව.
මං උනානම් කියනවකන්වල ඇඟිලි ගහගන්න අම්මල අක්කලහැමොගෙම. උඹ අර පෙඩිකියු එකක් කරනව ෆොටෝ එකක් දාලා තිබ්බ නිසා මං හිතුව හැම දේම ලස්සනට කෙරෙන්න ඇති කියල”
කියාගෙනම අමන්දා එතනින් නික්ම ගියත් තාරාගේ දෙතොල සිනහවකින් වර්ණවත් විය.
අමන්දා මතක් කර දුන්නේ සුන්දර පොරොන්දුවකි.
“මම එහෙනම් හෙට සින්ග් කරන්නම් මැඩම්” ඒ අමතක කරන්නට බැරි වදන් වැලකි.