සඳක් කළ සක්මන් බෝනස් කතාංගය – 41 වන කොටස

විශ්වාසය කියන්නේ කෙනෙකු තුළ කෙනෙකු ට බලයෙන් ඇති කළ හැකි
දෙයක් නොවේ. එය වූ කලී නිරායාසයෙන් ඇති වන්නකි. ආකාශ් කෙරේ මා තුළ ඇති
වූ ස්නේහයත් විශ්වාසය ත් යන දෙක ම එසේ නිරායාසයෙන් ඇති වූ ඒවා ය.
එහෙයින් ම කාගේවත් උවමනාව මත බලහත්කාරයෙන් ඒ හැඟීම් මරා දැමිය නො
හැකි ය.
අම්මා හදන්නේ ආකාශ් සම්බන්ධයෙන් වන ඇගේ අදහස් හා ආකල්ප මා මත
පටවන්නට ය. ඒ නිසා ඇති වූ නො රිස්සුම මත මා නිදන්නට වැටුණේ රෑ කෑම පවා
නොකා ය.
“ලොක්කියෙ…බත් කටක් කාල නිදා ගනිං මයෙ අම්ම. රෑට නොකා නිදා
ගත්තහම කුරුල්ලෙකුගෙ බර අඩු වෙනවයි කියනව”
ආච්චම්මා මවෙත විත් කෑම කවා ගන්නට පින්සෙණ්ඩු වූවා ය.
“කන්න බෑ ආච්චම්මෙ”
ඇගේ හිත නො රිදෙනු වස් මම හෙමිහිට කීවෙමි. අම්මා කුස්සියේ සිට කෑ
ගෑවා ය.
“කන්න බැරි වෙන්න මොකෝ ගල් ගිලලයැ. අපි වචනයක් කතා කළොත් තමයි
ඔය ඔක්කොම ගෑස්. අර එහා ගෙදර ගෑනි කිව්වනං දෙයියං වහන්සෙ කිව්ව වගෙයි
පිළි ගන්නෙ”
“හරි හරි සුමිත්‍රා…උඹ කට වහගෙන හිටහංකො දැං”
“අපිට කට වහගෙන ඉන්න කියල නේන්නං මේගොල්ලො කියන්නෙ. මොන දේ
සිද්ද වුණත් අපි කට වහං ඉන්න ඕනෙ. ඇයි යකෝ තමංගෙ සහෝදරීට නේද
මෙහෙම වෙලා තියෙන්නෙ…ඒ ගැනවත් හිතන්න බැරිද…ගෙදර උන්ට වඩා පිට උං
ලොකු කර ගෙනනෙ…”
අම්මා සිතන්නේ එතැන සිට ය. අම්මා කවදත් කළේ නංගී කියන දේ හිස්
මුදුනෙන් විශ්වාස කිරීමයි. අද නොව අප කුඩා උන් සාවියේ මිදුලේ කෝම් පිට්ටු
තනත්දී ත් එහෙම ය. ඒ කාලේ දීත් නංගී බොරු වැරදි මා පිට පටවා ඇගේ වැරදි
වහ ගත්තා ය. අම්මා ඇවිත් ‘ඩාං’ ගා පිටට ගැහුවේ මගේ ය. මම ගතු කියන්නට
නො ගොස් නිහඬ වී බිම බලා ගතිමි. අදත් නංගී හදන්නේ මා ලවා ඒ දේ ම කරවා
ගැනීමට ද? නමුත් ආකාශ් කෙරේ මගේ විශ්වාසය පළුදු කරන්නට අද ඇයට හැකි
නොවනු ඇත.
මා බත් කටක් කෑවේ ආච්චම්මා ගේ පෙරැත්තයෙන් බේරෙන්නට බැරි තැන ය.
රෑ තුන් යමත් මම හීනයෙන් හූල්ලමින් අවදි වීමි.
පසු දා තේ විවේකයේ දී ආකාශ් මගේ කුටියට පැමිණියේ ය. මගේ ඇස් වල
කඳුළු ගුලි දෙකක් පොර කමින් තිබෙන්නට ඇත.
“මේ හරි පව්කාර දවස් ටිකක්. මට මෙහෙම ජීවත් වෙන්න ඕන නෑ අයියෙ”
හැඬුම් නො එනු වස් ඉතා ම හෙමිහිට හා නැවතිල්ලේ කතා කරන්නට මම
වග බලා ගතිමි.

“නපුරු කාල එනව පූජා. නරක කාල…කටුක ඍතු…ජීවිතේ එහෙමයි. හැබැයි
වසන්තය ආයෙ එනව කියන විශ්වාසෙං අපි බලං ඉමු”
ඔහු සිය මුණිවර නදින් ද සන්සුන් දෑසින් ද යුතු ව ඉතා හෙමිහිට පිළිතුරු
දුන්නේ ය.
“ඒත් මට මේක ඉවසගන්න හරි අමාරුයි. අම්මා හිතන්නෙ…ඔයා කියන්නෙ
නංගිට අතවරයක් කරපු මිනිහයි කියල…එහෙම මිනිහට මං තාම ආදරේ කරනව
කියල..ඒක මගෙ නංගිට කරන වැරැද්දක් කියල…”
“මිනිස්සු බුදු හාමුදුරුවන්ටත් කතා හැදුව පූජා. ඒක මේ ලෝකෙ හැටි.
මිනිස්සුංගෙ හැටි. අපි කලබල නොවී ඉමු”
“මට ඔයා ගැන දුකයි”
“ඔයාට මාව විශ්වාසයිනං දුක් වෙන්න එපා. ඒ විශ්වාසය ඔයාට සැනසීම
ගෙනෙයි”
“මං දෙයක් කියන්නද…”
එවර මා කතා කළේ සිනා සී ගෙන ය. ආකාශ් මේසයට බර වී මගේ ඇස්
වලට නැඹුරු වූයේ ය. ඔහු ගේ ඇස් බින්දු තුළ මම මගේ ඉතා කුඩා රූ දෙකක් දුටිමි.
“ඔයා ඩොක්ටර් කෙනෙක්ද නැත්තං ක්‍රිස්තියානි ආගමේ බ්‍රදර් කෙනෙක්ද කියල
මේ වෙලාවෙ මට හිතෙනව. ඇත්තටම මේ වෙලාවෙ ඔයා කතා කරන්නෙ බ්‍රදර්
කෙනෙක්ගෙ මං දැකල තියෙන සන්සුන් කමින්…”
ආකාශ් ලස්සනට සිනහ වූයේ ය. ඒ සිනහ වශීය තුළ මම තත්පර ගණනාවක
වශීයකට බඳුන් ව සිටියෙමි.
“දැං ඔයා කැමති ඒ බ්‍රදර් ටද නැත්තං ඩොක්ටර් ටද…”
“ඇත්තම කියන්නද..”
“ඇත්ත තමයි කියන්න ඕනෙ”
“මං ඔයාට මුලිංම පිස්සු වැටෙද්දි ඔයා මට ආදරෙයි කියල තිබුණෙත් නෑනෙ.
මං ඉතිං පොඩි කාලෙ ඉඳලම මට දැනෙන ඇත්තම හැඟීම් එහෙම් පිටිංම එළියට
පෙන්නපු කෙනෙක් නෙවෙයිනෙ. ඒක නිසා ඔයා මට ආදරෙයි කියද්දිත් මං හිටියෙ
ඔයාගෙ අම්මා එහෙම දේකට කැමති වෙන්නැති නිසා අමු ගින්දරකට පනින්න බෑ
කියන හිතිවිල්ලෙනෙ. ඔයා මාව බලන්න නුවර එන්න ගත්තහමයි…මාව කාර් එකේ
දාං එහෙ මෙහෙ යන්න ගත්තහමයි පස්සෙ වුණත් මං දැනං හිටියෙ නෑනෙ ඔයා
ඩොක්ට කෙනෙක් කියල. දැං තමයි ඇත්තම කියන්නද කියල අහන්න ඕනෙ”
“කියපං බං”
ආකාශ් නො ඉවසිල්ලේ සිටියේ ය. මම දෝතෙහි මුහුණ හංගා ගෙන සිනහ
වුණෙමි.
“ඒ කාලෙ මං හිතං හිටියෙ ඕගොල්ලොන්ට ගාමන්ට් එකක් හරි හාඩ්වෙයාර්
එකක් හරි…ඔය ඒ වගේ බිස්නස් එකක් ඇති කියල”

“අඩෝ…හිතුවෙ මං හාඩ් වෙයර් එකක යකඩ ඇණ විකුණනව කියලද…”
මම මහ හඬින් සිනහ වුණෙමි. ආකාශ් ආදරය පිරී ඉතිරෙන දෑසකින් බලා
සිටියේ ය.
“ඒකමයි මං මෙච්චර ආදරේ”
ඒ ආදර දෑස වෙනස් නො කරගෙන ම ඔහු මිමිණී ය.
“ඇයි…”
“මට ආදරේ කළේ මං කවුද කියලවත් නොදැනනෙ. ඒ කියන්නෙ එතන
තිබුණෙ ආදරේ විතරමයිනෙ..මං මොකෙක් වුණත් මට ආදරේ කළානෙ”
ඉකි ගසා හඬන්නට තරම් මට සිතුණේ ය. එය ඒ තරම් සතුටු නිමේෂයකි.
ආදරය පෙරලා තමන් ව තේරුම් ගනිත්දී හදවතට දැනෙන්නා වූ විසල් හැඟීම
වචන වලට පෙරළන්නට කිසි දා ක කිසිවෙකු සමත් යයි නො සිතමි.
මගේ අම්මා මට කියන්නේ එහෙව් මිනිසෙකු අත් හැර දමන්නට කියා ද? මගේ
නංගී මගෙන් ඉල්ලන්නේ ඒ මිනිසා ව අවිශ්වාස කරන්නට කියා ද? මගේ ප්‍රේමය හා
මගේ විශ්වාසය ගැන මහත් බැතිබර බවකින් මම සන්තෘප්ත වෙමින් සිටියෙමි.
ආකාශ් ලා ඒ ගේ හැර දමා ගිය එක හොඳ යයි සිතන්නට එවක් පටන් මම
උත්සුක වීමි. හැකි නම් මම ඔහු මගේ හදවත ඇතුළේ හංගා ගෙන රැක ගමි.
පාපතර වූ මේ දුෂ්ට ලෝකයේ ඇස නො ගැටෙන්නට ඔහු අර පරෙස්සම් කර ගමි.
නංගී ගේ දරු ගැබ කෙමෙන් බාහිරයට පෙනෙන සේ වර්ධනය වෙමින් තිබිණි.
දරු ගැබක් දරා ගත් දැරියක වන නංගී කෙරේ, මුලින් තිබූ කේන්තිය වෙනුවට මහත්
අනුකම්පා සහගත බවක් මගේ හද තුළ වැඩෙන්නට ගති. ඇය සාමාන්‍ය ස්වභාවය
වෙනස් කොට නිහඬ වූවා සේ මට දැනිණ. ඉදිරියට නෙරා එන කුසයත් සමග ස්ත්‍රී
ශරීරයක හෝමෝනමය වෙනස්කම් සිදු වෙත්දී ඇති විය හැකි අපහසුතා ගැන මම
සංවේදී ලෙස සිතුවෙමි. නංගිගේ කුස තුළ වැඩෙනා දරුවා ගේ පියා කවුද යන්න
නොව ඒ කළලයක් නොවේදැයි මට සිතෙන්නට ගත්තේ ය. දස මාසයක් තිස්සේ දරු
ගැබක් දරා සිටීම වූ කලී අසම සම වේදනා කන්දක් දරා ගැනීමකි. එසේ සිතත්දී
නංගී ගැන හදවත උතුරා ගියේ අපරිමිත ස්නේහයකි.
“මොනාද කන්න ආස…”
වැඩට යන්නට සූදානම් වෙමින් ඇතැම් දවසක මම අසමි. නංගී අහිංසක
සිනහවක් පාන්නේ කුස පිරිමදිමිනි.
“විශේෂ දෙයක් නෑ අක්කෙ”
ඇය එහෙම කීවත් මම අම්මා අතට වැඩිපුර මුදලක් දෙමි. ඒ නංගී රිසි හා
පෝෂ්‍යදායී ආහාර වේලක් ඇයට පිස දෙනු පිණිස ය. නිතරම හවසට ගෙදර එත්දී
මගින් මොනවා හෝ ගෙන ඒම ද මම පුරුද්දක් කොට ගතිමි. ඒ ලැබෙන්නට යන්නේ
අපේ පවුලේ දරුවෙකි. ඇය හෝ ඔහු උස් මහත් වීමෙන් පසු සමාජයේ කවර
තරාතිරමකට පත් විය හැකි වන්නේ ද? අපට ළමා වියේ දී දැනුණා වූ සියලු ආකාර
වල අග හිඟ කම් ඒ දරුවාට නම් විඳින්නට දිය යුතු නැතැයි මම සිතා ගතිමි.

“මෙයාට බබා හම්බ වුණහම මාවත් අමතක වෙයි වගේ”
ළදරු ආම්පන්න අලෙවි කරන සාප්පු වල ඇවිදිමින් මා ඒවා අත පත ගාත්දී
ආකාශ් කියයි.
“සුවඳයි නේ මේ බඩු වුණත්”
“දෙයක් අහන්නද…”
“හ්ම්..”
“ඔයා ඒ බබාට දැංම තියාම ඔය තරං ආදරේ කරන්න පටං අරං
තියෙන්නෙ….ඇත්තටම එයා මගෙ කියල හිතලද…”
මම ඔහු ගේ අත් ගොබයක නළල තියා තක්පර කිහිපයක් සිටියෙමි.
“නෑ. හැබැයි එයා ඔයාගෙ වුණත් දැන්නං මට කමක් නැද්ද මන්දා”
“පිස්සි”
ආකාශ් පිරිමිකාර සිනහවකින් කීවේ ය.
“මට ඉවසිල්ලක් නෑ බබාගෙ මූණ දකිනකල්”
“අපි බබෙක් හදමු”
“ආ…”
තිගැස්සුණු කලබලයකින් මම ඒ වත දෙස බැලුවෙමි. ආකාශ් නැවතත් සිනහ
වුණේ ය.
“ඇස් දෙක ලොකු වෙච්ච හැටි. මං කිව්වෙ අපි මැරි කරල බබෙක් හදමු
කියල”
ඒ වෙලාවේ ඒ කතාව එතෙකින් සමාප්ත වුණත් මගේ හිත ඇතුළේ ඒ
සිතිවිල්ල යටපත් කළ නො හැකි ලෙස ඉස්මතු වෙමින් තිබෙන්නට ඇත. රියට
නැගුණ ඉක්බිතිත් මම ඒ ගැන කල්පනා කරමින් සිටියෙමි.
“ඒකට තව කොච්චර කල් යයිද…කැම්පස් අවුට් වෙන්නත් අවුරුදු කීයක්නං
යනවද…”
මා කීවා නොව මගෙන් එසේ කියවිණි.
“මොකටද…”
ආකාශ් එක බැල්මක් මදෙසට හෙළා යළි රියෙහි ඉදිරිය බලා ගත්තේ ය.
“අපිට බබෙක් හදන්න”
එවර මගේ ඇස් වල වූයේ උහුලා ගත නො හැකි අහිංසක කමක් බව මට ම
දැනුණේ ය. ආකාශ් ටික වෙලාවක් නිහඬ ව රිය පැදවී ය. ඒ අතරේ නිමග්නව උන්
කල්පනාවේ ප්‍රතිඵලය කියා සිටියේ ඉනික්බිති ය.

“ඔයා කැමතිනං හෙට වුණත් ඔයාව මැරි කරන්න මට පුළුවන්. ඔයා තෝර
ගන්න…ඔයා ඉස්සරහ ලොකූ පාරක් ඕපන් වෙලා තියෙනව”
“ඇත්තම කියන්නද…ඩොක්ටර් කෙනෙක් වෙන හීනෙට වඩා මං ලස්සන
හීනයක් දකිනව ඔයා එක්ක ගෙවන ජීවිතේ ගැන. ඒත් ඔයාගෙ අමමගෙ ආසාව මං
ඩොක්ටර් කෙනෙක් වෙන එක. මෙච්චර මං වගේ කෙල්ලෙක් ලේලි කර ගන්න
කැමති වුණ එයාගෙ හීනෙ ඉෂ්ට කරන්න ඕනෙ මං…”
ආකාශ් සිය වමතින් මගේ හිස් මුදුන පිරිමැද්දේ ය. මම කුඩා දැරියක ගේ
කෝල බවින් දෙතොල් තද කොට හිනැහුණෙමි.

Related Articles

Don't Miss


Latest Articles