ළපෙති මල් – 02

“මගේ ඔලුව තවම පැටලිලා වගේ..”

මන්දාරා පැවසුවේ ටැක්සියට නැග ගත් ගමන් ය.තේජන මඳ වෙලාවක් ඈ දෙස බලා සිටියේ ය.

“පැටලෙන්න තරම් දෙයක් නෑ බලන් ගියාම..”

ඔහු කියන්නේ නිස්කලංකව ය.මන්දාරා ඔහු දෙස බැලුවේ අප්‍රසාදයෙනි.මෙවැනි පැටලිලි ලෝකයාට කුණු රහ කතන්දර ය.කාලාන්තරයක් තලු මරන්නට හැකි ප්‍රවෘත්ති ය.

“මේක නූල් බෝලයක් තේජන.ඔයා කොහොමද ඔච්චර සිම්පල් විදියට දකින්නේ..”

මන්දාරා අසන්නේ කෝපයෙනි.තේජන කුලී රථයේ රියදුරුට නොඇසෙන හඬකින් ඇය ඇමතුවේ ය.

“ඔයාගේ තාත්තා අම්මගෙන් වෙන් වෙලා ගොඩක් කල් මන්දි.එයා හිටිහැටියෙම ඩිවෝස් වුණා..ඊටත් පස්සෙ ආයේ බැන්දා.ඒක හරි සාමාන්‍ය දෙයක්.අනිත් එක තාත්තා වගේ ලෙඩ නැතුව තඩි බඩක් නැතුව ඉන්න හැන්ඩ්සම් මනුස්සයෙක්ට ආයේ බඳින්න පුලුවන්.ඔය සමහර පොලිටීෂියන්ලා ලස්සන කෙල්ලන්ව අපාට්මන්ට් වල තියාගෙන ඉන්නෙ.කොච්චර කැත නාකි මිනිස්සුද? බඩවල් තියනව පස් නිවුන්නු හම්බෙන්න තරම්.තාත්තා එහෙමයැ.උගත් මනුස්සයෙක්.බිස්නස්මන් කෙනෙක්.අපේ කැම්පස් එකට විසිටින් ලෙක්චර්ස් එන ලෙක්චර කෙනෙක්..එයාට ආයේ අලුත් ජීවිතයක් පටන් ගන්න එක හරි සිම්පල්..”

මන්දාරා කිසිත් නොදොඩා අත් මිට මොලවාගෙන මඳ වෙලාවක් හුන්නා ය.

“එක්ස්කියුස් මී..ඔයාට ලොකේෂන් දාලා තියෙන්නෙ රාජගිරියට නේද?”

ඇය ටැක්සි රියදුරාගෙන් ඇසුවා ය.ඉනික්බිති තේජනගේ දුරකථනය රැගෙන යන මාවත වෙනස් කළා ය.

“අලුත් ලොකේෂන් එකට යමු..”

ඇය එසේ කියා කවුළුවෙන් පිටත බලා ගත්තා ය.

“අපි කොහෙද යන්නෙ?”

තේජන අසන්නේ කුහුලෙනි.මන්දාරා ඔහු දෙස බලන්නේ තරහ පිරුණු දෑසකිනි.

“මං අත්තම්මලගෙ ගෙදර යනව.ඔයාට එන්න බැරිනම් ඔය ඉස්සරහින් බහින්න..”

තේජන සිනාවක් නගා ගත්තේ ඇගේ අතකින් අල්ලා ගන්නා අතර ය.ඇගේ කෝපය සාධාරණ බව ඔහු නොදන්නවා නොවේ.කොල්ලන් පිරිස හිමංගිට කළ සරදම් ඔහුගේ දෙසවනේ තවම දෝංකාර නඟන්නට සමත් ය.

“තාත්ති අලුත් ජීවිතයක් පටන් ගත්තු විදිය සිම්පල් නෑ තේජන.ඒ එයාගෙ දුවයි දුවගේ බෝයි ෆ්‍රෙන්ඩුයි දෙන්නගෙ බැච් මේට් කෙනෙක්.මට වඩා හිමංගි වැඩිමල් අවුරුද්දයි.තමන්ගෙ දුවට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ව මැරි කරන්න පුලුවන්ද මනුස්සයෙක්ට?”

මන්දාරාගේ දෑසට උල්පතක් සේ කඳුළු උනා එයි.තේජන ඒ කඳුලක් සෙමින් පිස දැම්මේ ය.

“තාත්ති ඔය ඩිවෝස් නඩුව දාපු කාලෙ කැම්පස් එකේ එයා ගැන ගිය ගොසිප් එක මතකනෙ?”

ඇය අතීතය හාරා ඇවිස්සුවා ය.තේජන එදවස් සිහි කළේ ය.

“අර මිස් කුමලි එක්ක රහල් සර්ගේ අෆෙයා එකක් තියනව කියල කතාවක් යනවලු මන්දි..”

ඒ ඕපාදූපය ප්‍රවේසමෙන් මන්දාරාට හෙළි කළේ ද ඔහුම ය.විදේශයක සිට මව් රටට විත් ඔවුන්ගේ සරසවි ආචාර්යවරියක වූ කුමලි තරුණ විය ඉක්මවා යමින් සිටි ගැහැනියකි.

“මිස් කුමලි ඕස්ට්‍රේලියාවේ කෙනෙක්ව මැරි කරල ඉඳල ඩිවෝස් වෙලා ඇවිත් ඉන්නෙ.තාත්ති එයාව මැරි කරොත් නම් මට පොඩි මල්ලියෙකුත් ලැබෙනව..”

මන්දාරා ඒ ඕපාදූපය එතරම්ම සරලව ග්‍රහණය කර ගත්තා ය.එමතු නොව කුමලි සහ තාත්තා අතර ප්‍රේමයක් ඇති වේදැයි මඟ බැලුවා ය.ඉතා නිදහස් ජීවිත පැවැත්මක් ඇති කුමලි තම සුළු මව වන්නේනම් තමන් තාත්තාගේ නිවසේ පදිංචියට යන බවට පිළිණ දුන්නා ය.

නමුත් එය එසේ වූයේ නැත.කුමලි නැවතත් විදේශගත වූවා ය.

“මිස් කුමලි ඒ වෙනකොට ෆෝටී වලට කිට්ටු කරල හිටිය කෙනෙක්.තාත්ති ඒවගෙ කෙනෙක් බැන්දනම් අද ඔයා එක්ක එකතු වෙලා එයාලට පාටියක් ඕර්ගනයිස් කරන්නෙ මං..ඒත් මේක රටේ ලෝකෙ මිනිස්සු ගල් ගහන වැඩක්..”

මන්දාරා කියවාගෙන යන්නේ වේදනාවෙනි. තේජන ඇගේ අතක් තද කර අල්ලාගෙන බොහෝ වෙලාවක් ගෙවා දැම්මේ ය.

“මේක සර්ට නින්දාවක් වෙන්නෙ හිමංගි රේප් කරානම් හරි මොනවහරි අයුතු බලපෑම් කරන්න ගිහින් ලැජ්ජා උනානං හරිනෙ..එහෙම එකක් නෑනෙ දැන්.එයාලා නීතියෙන් කසාද බැඳලා..”

තේජන පවසයි.උසුලාගෙන හිඳීම අපහසු ඒ නීතිමය බැම්ම නිසාම ය.
තාත්තාගේ කඩවසම්කම තව වසර කිහිපයකින් අවසන්ව යනු ඇත.නමුත් හිමංගිගේ යෞවනය එතරම් ඉක්මනින් අවසන් වන්නේ නැත.

“ඇයි තේජන හිමංගි අපේ තාත්තගෙ කරේ එල්ලුණෙ.කැම්පස් එකේ කොල්ලො කීයක් නම් දන්න දවසෙ ඉඳන් එයාගෙ පස්සෙන් ආවද?”

මන්දාරා කියන්නේ කල්පනාබරව ය.ඒ මුදල් නිසායැයි සිතන්නට නොහැක.
බොහෝ සල්ලිකාර කොල්ලන් හිමංගිගේ අත පැතූ බව මන්දාරා දැන සිටියා ය. රූපය යැයි සිතන්නට ද අසීරු ය.

“එයාගෙ ක්‍රෂ් එක ඔයාලගෙ තාත්තා වෙන්න ඇති..”

තේජන ගණනකට නැතුව පැවසුවේ ය.

“මෙච්චර කොල්ලො ඉන්න රටේ?? කැම්පස් එකේ??”

මන්දාරා අසන්නේ නළල රැලි ගන්වා කෝපත් ස්වරයෙනි.

“ඔයාගෙ ක්‍රෂ් ලිස්ට් එක බලන්නකො.ෂාරුක් ඛාන් නේද ඔයාගෙ ක්‍රෂ් එක, ෂාරුක්ටත් ඔයාගෙ තාත්තගෙ වයසම තමා ළමයා.ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකො.ෂාරුක් හෙට ගෞරිගෙන් ඩිවෝස් වෙලා ඇවිල්ලා,මන්දාරා විල් යූ මැරි මී ඇහුවොත්? ඔයා මාව දාලා දුවන්නෙ නැද්ද? හිමංගි කරෙත් ඒක.එයාගෙ ක්‍රෂ් එක ඇක්ටර් කෙනෙක් නොවී ලෙක්චර කෙනෙක් වුණු එක තමා වෙනස..”

තේජනගේ කරුණු පැහැදිලි කිරීමට මන්දාරාට උපන් සතුට කොතෙක් වීදැයි කියතොත් කුලී රථය නවතා ඔහුව රථයෙන් එළියට තල්ලු කරන්නට තරම් ඇයට සිතිණ.

“මට කියන්නකො ඔයා මේ ප්‍රශ්නෙදි කාගෙ පැත්තද කියල.තාත්තිගෙ පැත්තද.හිමංගිගෙ පැත්තද මගෙ පැත්තද?”

මන්දාරා පෙම්වතාගෙන් අසන්නේ කෝපයෙනි.ඇගේ රතු වන කම්මුල් දකින තේජනගේ සිත ශෝකයෙන් පිරී යයි.

“මට ඕන ඔයාව කූල් ඩවුන් කරන්න මන්දි..ඒකයි මං මේ කියවන්නේ.”

ඔහු ඇගේ හිස මෘදුව පිරිමැද්දේ එසේ කියමිනි.ඇය තේජනගේ උරහිසෙහි හිස ගසා ගත්තා ය.උදෑසන ඒ ආරංචිය තාත්තාගේ මුවින්ම ඇසූ වෙලාවේ පටන් ගලා යන්නට පොරකෑ කඳුළු ගලන්නට ගත්තේ දැන් ය.

මන්දාරා සිත්සේ හඬන්නට පටන් ගත්තා ය.අනාගතයක අඳුරු සෙවණැලි තමන් වෙලා ගන්නා බවක් ඇයට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles