ළපෙති මල් – 14

“ඔය කෙල්ල ඔතන වැඩට ගත්තේ රහල්ම තමා..”

ලංකා පැවසුවේ දෙහි යුෂ වීදුරුව එක හුස්මට හිස් කිරීමෙන් අනතුරුව ය.ඇය සිටියේ පිපාසාවෙන් නොවේ.භීතියෙන් උගුර කට වේළි ගොස් ය.

“රහල් නොදැනුවත්ව එතනට කෙනෙක් එන් නෑනෙ ලංකා..”

ශිරානි එසේ පවසා ලංකාට තවත් දෙහියුෂ වීදුරුවට එක් කළා ය.ශිරානිගේ පුතු ට රැකියාවක් ලබා දෙන්නැයි පවසා රහල්ට කිහිප වතාවක් දුරකථන ඇමතුම් දුන් ආකාරය ශිරානිට සිහි විණ.නමුත් රහල් ඒවා මායිම් කළේ නැත.

“මොරීන්වත් ඉන්න තිබ්බෙ මෙතන..”

ශිරානිගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබෙන තැන ලංකා පැවසුවේ නළල ඇඟිලි තුඩුවලින් තද කරමිනි.මොරීන් මෙතැනට අනවශ්‍ය බව වහා පවසන්නට ශිරානිට ඕනෑ විය.

“එයා මේ ඔයාගෙ ඇප උපකාර වලින් ගෙවල් දොරවලුත් හදා ගත්තා.හැබැයි ඔයාට කරදරයක් වුණාම හත් අතේ හිනා වෙවී යනවා..”

විස පෙවිය හැකි තැනක එය නොකර ඉන්නට නොපැකිළෙන ශිරානි ඉනික්බිති ලංකාගේ මුහුණ අඳුරු පැහැයට හැරෙන ආකාරය රස වින්දා ය.ලංකාත් ශිරානිත් මොරීන් සහ හිමාලිත් දිගුකාලීන මිතුරියන් ය.එකිනෙකාගේ රහස් ද වේදනාවන් ද බොහෝ කාලයක් බෙදා ගත්තේ ඔවුන් සිවු දෙනා ය.නමුත් ලංකාට වැරදෙන්නට හේතුව මේ මිතුරියන් වග රහල් බොහෝ වාරයක් පවසා ඇත.

“ඔයා ගඟේ මුහුදේ දැම්මා කියලා හිතාගෙන කියන කතා මට පවා ආරංචි වෙනවා ලංකා.තමන්ගේ අතිශය පෞද්ගලික දේවල් ඔහොම කියවන්න එපා..”

ඔහු අතීතයේ ඉතා ආදරයෙන් ලංකාට සිහි කළේ ය.නමුත් තේරුමක් වූයේ නැත.ලංකාගේ ජීවිතයේ අංක එක වූයේ ඒ මිතුරියන් තිදෙනා ය.සෑම රහසක්ම ඉඩ ලැබෙන ප්‍රථම තත්පරයේ ඔවුන් හා බෙදා ගන්නා ඇය ඒවා ඊළඟ පැය තුළ සෑම තැනකම පැතිර යන බව තේරුම් ගන්නට ඥානයකින් යුතු වූයේ නැත.
ලංකාගේ මුදල් කඩා වඩා ගනිමින් ඇගේ ආත්ම ගෞරවය පවා විනාශ කර දමන ඒ තුන් කට්ටුව ලංකාට තවමත් මසුරන් වටී.

“ලංකා,රහල් ශාක්‍යාව එතන වැඩට ගන්න ඇත්තේ ඔයා හිතන දේකට නෙවෙයි.මොකක්හරි ඒ පෝස්ට් එකට සුදුසු ශාක්‍යා වෙන්න ඇති.ඉන්ටර්විව් එකෙන් තේරෙන්න ඇති..බිනරි රහල් දන්න කෙනෙක් වුණු නිසයි බිනරි දැන් ජීවතුන් අතර නැති නිසයි පොඩි විශේෂයක් වෙන්න ඇති..”

ශිරානි මිතුරිය සනසන්නට වෙර දැරුවා ය.නමුත් ලංකා තවත් වියවුලට පත් විය.

“ඒක තමයි මං මේ මෙච්චර කියන්නෙ..බිනරි දැන් නෑනෙ..බිනරි මැරුණු විදිය රහල් දන්නවනම්..”

ශිරානි මිතුරියව අල්ලා සෙලවූයේ කෝපයෙනි.ලංකා හිඳින්නේ හොඳ සිහියෙන් නොවන බව ඇය සිතුවා ය.

“හිරේ විලංගුවෙ වැටෙන්නෙ නැතුව ඉන්නව ලංකා.ඕක ඇහුණොත් කවුරුහරි හිතන්නේ ඔයා ඒ ගෑනි මැරුවා කියලා.ඒ දිවි නහ ගත්තු ගෑනියෙක්.තමන්ගෙ මිනිහයි දරුවයි දාලා දිවි නහගන්න කාටහරි හිතෙනවනම් ඒ එයාගෙ පව.අවුරුදු ගාණක් ගෙවුණු සිද්දි ඇදගෙන නටන්න එපා..ශාක්‍යා ඔතන වර්ක් කරන්න ආපු එක මොකුත් ප්ලෑනක් නෙවෙයි.වෙලා තියෙන්නේ අපි ජීවිතේ පුරා කාට කාට හරි ප්ලෑන් අටවන්න ගිහින් අපිට ලෝකෙම මිනිස්සු ගැන සැකයි.”

ශිරානි තදින් පැවසුවා ය.සැබෑවටම කා සම්බන්ධයෙන් හෝ නිරන්තරයෙන් තරහ සහ තරගවල පැටලෙන ලංකා නිසා තමාටත් මිතුරියන්ටත් බොහෝ සැලසුම් සකසන්නට වූ අන්දම ඇය සිහි කළා ය.

“අනික දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ ශාක්‍යා ද? නෑනෙ..හිමංගිනෙ..”

අනතුරුව ශිරානි වඩාත් කුණු රසැති ඕපාදූපය දිග හැරියා ය.හිමංගිගේත් රහල්ගේත් ලිංගික ජීවිතය මෙසේ සහ එසේ විය හැකි බව කියමින් මොරීන් ද හිමාලි ද සමඟ වට්ස් ඇප් සංවාදයක් ගෙන ගොස් තවම පැයක්වත් ගෙවී නැත.
එහි සාකච්ඡා කළ දෑ සිහි වී ශිරානිට මතු වූයේ සිනාවකි.

“එයා ගැන ජයන්ති දැනට බලා ගන්නවා…”

ලංකා පැවසුවේ වියරු සිනාවක් නගමිනි.ශිරානි ඉව අල්ලමින් එතැනට ආ ඇගේ සුරතල් බැල්ලට බිස්කට්ටුවක් ලබා දී හිනැහුණා ය.

“ජයන්තිත් අපේ මේ ටීනා වගේ ලංකා.කන්න බොන්න ටිකකුයි මූනිච්චාවට හුරතල් වචන ටිකකුයි හම්බුණාම නැට්ට වනාගෙන කියන කියන දේවල් කරන්නෙ..”

ලංකා හිනැහුණා ය.”උඹලත් එච්චරනෙ” ඇය හදවතින් පමණක් පවසා මුව වසා මොහොතක් සිටියා ය.

“බිනරිට දීපු පනිෂ්මන්ට් එකම හිමංගිටත් දෙන්නයි මං ඉන්නේ..”

ලංකාගේ හඬ වියරු ය.ශිරානි නිහඬව අසා සිටියා ය.

“හිමංගි පුදුම විදියට දුක් වින්ද කෙල්ලක්.සැලෝන් එකේ වර්ක් කරන කාලේ මට කියලා තියනවා.මං හිතන්නේ හංගාගෙන හිටියට හිමංගිටත් ඩිප්‍රෙෂන් නැතුවා නෙවෙයි.ඒක ඇවිස්සුවොත් අපිට එයාවත් බිනරි යැව්ව තැනටම යැව්වැකි..”

තමන්ගේ ආවේග සහ රහස් සඟවා ගන්නට මිනිසුන් විනාශ කරන්නට නොපැකිලෙන ලංකාට එක් වන්නට ශිරානිට සිත් දුන්නේ නැත.තරුණ කාලයේ ඕනෑතරම් ඒ අවකල් ක්‍රියාවලට සහබාගී වූව ද මේ මොහොතේ ශිරානිට අවශ්‍ය වූයේ ඒවාගෙන් ඉවත් වන්නට ය.යෝගා සහ සුම්බා කරමින් තවම සිරුරේ හැඩය පවත්වා ගන්නා අතර නිතරම අසපුවකට යන්නට ද ශිරානි හුරුව හුන්නා ය.දෙවිසි වයස් කාලයේම කුටුම්භයකට මැදි වී නැන්දම්මා සමඟ පොර අල්ලමින් ජීවත් වූ ඇයට සැමියාගේ ආදරය නාමමාත්‍රික විය.ඉන් හටගත් දුක් ගැහැට අමතක කරන්නට මැදි වයසේ දී අසපුවට යන්නට හුරුවූ ශිරානිට දැන් ලංකාගේ කුමන්ත්‍රණ හා එක් වන්නට හිතක් නොවේ.නමුත් එය මෙවෙලෙහි නොපවසා ඉන්නට ඇය තීරණය කළා ය.

“ඇත්තටම ලංකා ඔය හිමංගි කොහෙ එකියක්ද?”

හිමංගි ගැන සම්පූර්ණ ඕපාදූපය දැන ගන්නට රිසින් ශිරානි ඇසුවා ය.

“පොළොන්නරුව පැත්තෙ.අම්මා තාත්තා නැති කෙල්ලක්.අම්මා රට ගියා කියල ආච්චි කීවලු.හැබැයි අම්මා ගිය රටක් ගැනවත් ඒ කෙල්ල දන් නෑ.කොළඹ ආවේ රට යනව කියල වුණාට ආයේ කවදාවත්ම දැක්කේ නෑය කියලනෙ කියන්නෙ.කවුද දන්නේ ශිරෝ..”

හිමංගි සහ රහල් අතර ආලයක් හට ගැනීම ගැන අසපුවේ බණ අමතක කර දමා කතාබහ කරන්නට ශිරානි සිතුවා ය.එහෙත් කලකිරීම් සහ භීතියට බර සිතුවිලි අතර අතරමංව හුන් ලංකා නැගී සිටියේ නිවසට යන්නට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles