ප්‍රේමයේ රළ නැග්ම – Uppena

ඉන්දියාව තුළ උන්මාදයක් වගේ අපේ ‘යොහානි’ ගයන ගීතය පැතිරෙන්න ටික කාලයකට කලින් ලංකාව තුළ උන්මාදයක් වූ ඉන්දීය ගීතයක් තමයි Nee kannu neeli samudram කියන්නේ.Uppena චිත්‍රපටියේ වූ මේ ගීතය බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ගීතයක් වුණා.ඒ නිසාම Uppena චිත්‍රපටිය අපේ රටේ බොහොම ජනප්‍රිය වෙන්න පටන් අරන්.ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් මේ චිත්‍රපටිය ඇසුරෙන් ටෙලි නිර්මාණයක් කරන තරමට මෙය අපේ හිත් ඇඳ බැඳගෙන අවසන්.

Uppena කියන තෙළිඟු චිත්‍රපටිය ඇයි මේ තරම් ජනප්‍රිය වුණේ, තවම මෙය නොබලපු ඔබට තමයි අපි මේ Film Review එක කරන්න හිතුවේ.

සරල සුන්දර ආදර කතාවක් කියලා Uppena හඳුන්වන එක ඒ තරම් සාධාරණ නැහැ කියලා ලිවිය යුතුමයි.ආසි සහ සංගීතා කියන නව යෞවන ප්‍රේමවන්තයන්ගේ උතුරා හැලෙන දඟකාර ආදරයකින් චිත්‍රපටිය වර්ණවත් වුණත් එහි යටිපෙළ කතාව සරල දෙයක් නෙවෙයි.

“ඔයාගේ හදවත නිල් සමුදුරක් වගේ, මගේ හිත යාත්‍රාවක නැගිලා එහි යාත්‍රා කරමින් ඉන්නවා.”

ගම මැදින් යන කහපාට බස් එකේ ගමන් කරන සංගීතා හෙවත් බේබම්මා දකින ආසිට එහෙම හිතෙනවා.ලෝකයේ ඕනෑම තැනක තරුණ කොලු ගැටයෙක් කරනවා වගේම ආසිත් තමන්ගේ යාළුවා එක්ක සංගීතා පස්සේ යන්න පටන් ගන්නවා. සංගීතාගේ එක හිනාවකට ආසි වෙනම ලෝකෙකට අරන් යනවා.බොහොමයක් චිත්‍රපටි වගේම මේ කතාවෙත් බේබම්මා ගමේ ඉන්න ලොකුම සල්ලිකාරයාගේ දුව.ආසි, දුප්පත් මාළුකාරයෙකුගේ පුතෙක්.

“ශ්‍රේෂ්ඨ ආදරයක් නම්,ඉතිහාස පොත් වලයි, සොහොන්බිම්  වලටයි විතරයි සීමා වුණේ.කසාඳ බැදලා, ළමයි හදාගෙන, පවුලක් හදාගත්තොත්,ඒකට වටිනාකමක් ලැබුණේ නෑ. ඒකයි ආදරය මෙච්චරකල් ඉතිහාසයටම වෙලා තියෙන්නේ. ඒකට අනාගතයක් නෑ. මොකද කියන්නේ ?”

බේබම්මාගේ තාත්තා හෙවත් රායනම් හිතන්නේ එහෙම.තමන්ගේ එකම දුව ගැන බලාපොරොත්තු පුරවාගෙන ඉන්න ඔහු කුලය සහ වංශය ගැන ඉහළින්ම හිතන පුද්ගලයෙක්.

ඒත් බේබම්මාට වටින්නේ අවංක ආදරය,මුදල් සහ කුලයට හොයා ගන්න බැරි අවංක සුන්දර ආදරයක් ඇය ආසිගේ නෙත් අස්සේ දකිනවා.ඒ ආදරයෙන් උමතු වෙනවා.

“පිරිමිකම කියන්නේ කකුල් දෙක අස්සේ තියන දේකට නෙවෙයි.මුළු ඇඟේම තියෙන නහරයක් නහරයක් ගාණේ දුවන දෙයකට.”

බේබම්මා කියන්නේ වගේම හිතන්නේ එහෙම.ඒ නිසා ආසි ළඟ හිටියත් ඇයගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.බේබම්මාට අවශ්‍ය වුණේ ‘මිනිහෙක්’ කියලා රායනම් හිතුවට බේබම්මාට උවමනා වුණේ අවංක ආදරයක්.ඇය සටන් කරන්නේ මිනිහෙක් වෙනුවෙන් නෙවෙයි අවංක ආදරයක් වෙනුවෙන්.

ආසි සහ බේබම්මා මේ ආදරය ජය ගන්නවාද? මාස කිහිපයක්ම බේබම්මා ගෙදර ඉන්න බව අඟවමින් රායනම් ගමට මවා පෑමක් කරන්නේ ඇයි? ආසිගේ හොඳම යාළුවා බාබු වගේ මිතුරෙක්, ආසිගේ තාත්තා වගේ පුත්‍ර ස්නේහය පුරවා ගත්තු තාත්තා කෙනෙක් ආසිත් බේබම්මාත් වෙනුවෙන් කරන කැපවීම් මොනවද?මල් පිපෙමින් ඵල දරපු ඒක පාර්ශවික ප්‍රේමය ජය ගත්තාට පස්සේ ආසිට නැති වෙන වටිනාම දේවල් මොනවද?

මේවාට උත්තර හොයා ගන්න නම් ආදරය රළ නගින Uppena බලන්න ඔබට සිද්ධ වෙනවා.විජේ සේදුපති රායනම් කියන ගැඹුරු තාත්තාගේ චරිතයට වෙනදා වගේම උපරිම සාධාරණත්වය ඉෂ්ට කරනවා. Babu Sana Vaisshnav විසින් මුලින්ම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටිය මේ චිත්‍රපටියයි.එහෙත් එහි කිසිම ආධුනික බවක් නම් නෑ.Vaisshnav Tej  ආසි විදියට තමන්ගේ පළමු රංගනය ඉදිරිපත් කරනවා.Kritthi Shetty තමයි හුරතල් දඟකාර බේබම්මා.

“ආදරය කියන්නේ අත්හරින එකට නෙවෙයි,අල්ලා ගන්න එකට” ඒ කතාව ඇත්තටම ඇත්තද? ප්‍රේමයේ රළ නැග්ම හෙවත් Uppena කියන අපූර්වතම තෙළිඟු චිත්‍රපටිය බලන්න.හැම විනාඩියකම ආදරයම මුණ ගැහෙන එක සහතිකයි

Related Articles

Don't Miss


Latest Articles