පොරොන්දුව

ජයනි අවන්හලට ඇතුළු උනේ බයෙන්.කෙළවරේ මේසයක කැලුම් වාඩිවෙලා ඉන්නවා ජයනි ඈත තියාම දැක්කා.මේසේ ලඟට ගිය ජයනි වාඩිවුනේ මූණ බිමට බර කරගෙන

” තමුසෙට වෙලාවක් කිව්වනං ඒ වෙලාවට එන්න දන්නෙ නැද්ද ? “

කැලුම් කෝපයෙන් දත් මිටි කෑවා

” සොරි කැලුම්.ඔෆිස් එකෙන් එන්න ටිකක් පරක්කු වුනා.මීටින් එකක් තිබුණා “

” තමුසේ මගේ මුළු මූඩ් එකම කෑවා ජයනි.ශික් “

කැලුම් ගේ මේ සැර පරුෂ වචන ජයනි ට අළුත් දෙයක් නොවුනත් ඒවාට ජයනිගේ හිත ආයෙ ආයෙත් රිදුනා.ආදරය කියන්නේ හිත සුවපත් කරන දෙයක් වුණත් කැලුම් හැමදාම කළේ ජයනි ට රිදවපු එක.

” මොකද දූ මූණත් එක්ක මැලවිල ගිහින් “

ජයනිගෙ වෙනස අඳුර ගන්න ඇයගේ අම්මට අපහසු වුණේ නැහැ

” අද ටිකක් වැඩ වැඩියි අම්මා. මහන්සියි.අපි තේ එකක් බොමුද ?”

ටික වේලාවකට කලින් අවන්හලේ දී ඇණවුම් කරපු කෝපි කෝප්පය බොන්නවත් ඉස්පාසුවක් නොවුණ හැටි ජයනි ආයෙමත් මතක් කළා.

” මොකද ෆෝන් එක වේටින් ? “

” අම්මා කෝල් එකක් ගත්තා ලොකු අම්මට “

” ඇයි ගෙදර ෆෝන් එක කැඩිලද? “

ජයනිගේ දුරකථනයෙන් අම්මා ඇමතුමක් ගත්ත හේතුව කැළුම්ට පැහැදිලි කරන්න ජයනි ට සෑහෙන වෙලා ගියා.

” ජයනි. ඔයා ඊයේ හදපු රිපෝට් එකේ පොඩි අවුලක් තියෙනවා.බොස් ඔයාට එන්න කිව්වා “

නොසන්සුන් මනසකින් වැඩ කරන ජයනිගේ අතින් කාර්යාලයේ දී බොහෝ වෙලාවට අතපසුවීම් සිද්ධ වුණා.

” මේ ටිකේ කිසි වැඩක් හරියට කෙරෙන්නේ නැහැ කැලුම් “

හවසක කැලුම්ව මුණගැහුණු වෙලාවේ ජයනි කිව්වේ පසුතැවීමෙන්

” හරියට කෙරෙන්නේ නැහැ නෙමෙයි ඔයා හරියට කරන්නේ නැහැ ජයනි.ඔයාට කොහොමත් කිසි වැඩක් හරියට කරගන්න බැහැ නේ “

කැලුම් ගේ මුහුණේ ඇඳිල තිබුනෙ සමච්චල් සහගත හිනාවක්

” රස්සාවක් කරනකොට තියෙන පීඩනය ඔයාට තේරෙන්නෙ නැහැ.ඔයා ඉතින් කවදාවත් රස්සාවක් කරලා නැහැනේ “

” මට රස්සාවක් කරන්න හේතුවක් නැහැනේ. තාත්තාගේ ඉඩකඩම් වලින් ඔක්කොම සල්ලි අතට එද්දි මම මොකටද රස්සාවක් කරන්න නැහෙන්නේ ? “

මෝටර් රථයේ යතුර කරකවමින් කැලුම් කතා කළේ අමුතුම ආඩම්බරයකින්.

” ඔයාට වගේ මට ඉඩකඩම් නැති නිසා මගේ අම්මව බලාගන්න නම් මම රස්සාවක් කරන්නම ඕනේ.කවදා හරි කසාද බැන්නත් ඒක එහෙමම තමයි කැලුම් “

” කසාද බැඳලා ඔයා විතරක් රස්සාවක් කරද්දි මිනිස්සු හිතයි මම ගෑනිගෙන් කකා ඉන්නවා කියලා. කසාද බැන්දාම ඔයා රස්සාවක් කරන්න ඕනේ නැහැ “

” එතකොට මගේ අම්මා ? “

” අම්මට ඉතින් ඔය මාසෙට දහ පහලොස් දාහක් යැව්වහම ඇතිනේ ? “

ජයනිට කැලුම් ගැන දැනුණේ කෝපයක් . ජීවිතය ගැන මේ තරම් සැහැල්ලුවෙන් ඔහු හිතන්නේ කොහොමද ? ජයනිට තියන ලොකුම ප්‍රශ්නය ඒක

” එහෙම නෙමෙයි කැලුම්.අඩු ගානේ අපි අපිට කියලා බිස්නස් එකක් වත් කරන්න ඕනේ.අපිට කියලා ගෙයක් දොරක් හදාගන්න ඕනේ “

” අපේ මහ ගේ තියෙද්දි මොකටද අමුතුවෙන් ගෙවල් දොරවල් හදන්න මහන්සි වෙන්නේ ? “

අලුතෙන් විවාහ වෙන යුවලක් ජීවිතය ගොඩනඟා ගත යුත්තේ තනිවම බව කැලුම් ට පැහැදිලි කරලා දෙන්න ජයනි ට ඕන උනත් ඒක තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක කැලුම් නැහැ කියලා ජයනිට වැටහෙමින් තිබුණා

” මේ පාර office ට්‍රිප් එක දවස් දෙකක් ලු.මරු නේද ජයනි ? “

කාර්යාලයට ඇතුළු වුණ ගමන් ඒ සුභ ආරංචිය ජයනිට කිව්වේ සුරේකා

” අනේ කොච්චර ෂෝක්ද ? කාලෙකින් කොහේවත් ම ගියේ නැහැ සුරේකා “

සතිය දින පහක්ම එක දිගට වැඩ කරලා කිසිම විවේකයක් නොලබපු නිසා කාර්යාලයෙන් යන්න තීරණය කරලා තිබුන විනෝද චාරිකාව ගැන ජයනිට හුගාක් බලාපොරොත්තු ඇති වුණා.ඒත් තමන්ගේ අම්මව තනියම දාලා යන්න වෙන එක තමයි ජයනි ට තිබෙන ලොකුම ප්‍රශ්නය

” ඔයා ගිහින් එන්න පුතේ.ඔය දවස් දෙක මට තනියම ඉන්න පුළුවන්.ඔයාට කියලා නිදහසේ ඉන්න තියෙන්න එපැයි. “

තමන්ව රැකබලා ගැනීමට වෙහෙස වෙන දියණිය ගැන අම්මා හිතුවේ එහෙම

” තමුසෙට පිස්සුද ජයනි ? ඔය ට්‍රිප් වලට මොක්කු එනවද දන්නේ නැහැ .අනික දවස් ගණන් ට්‍රිප් යන්නේ මොන ඔෆිස් එකේ ද ? පිස්සු නැතුව ගෙදරට වෙලා ඉන්නවා “

විනෝද චාරිකාව ගැන බලාපොරොත්තු අතහැර ගන්න ජයනිට සිද්ධ වුණේ කැලුම්ගේ ඒ වචන ටිකත් එක්කයි.ජීවිතේ විඳින්න තියෙන නිදහසට සීමා පැනවෙන එක අමාරුවෙන් උනත් ජයනිට දරා ගන්න සිද්ධ වුණා.

” ඔයාගේ life ලයිෆ් එක හරිම බෝරින් නේද ජයනි ? අපි බොස්ගෙ අහමුද ඔයාගේ අම්මා වත් එක්කගෙන එන්න පුලුවන්ද කියලා ?

සුරේකා ට ඕන උනේ කාර්යාලයේ කිසිම විශේෂ අවස්ථාවකට සහභාගී නොවන ජයනිව විනෝද චාරිකාවට එක්කගෙන යන්නයි

” ඕනෙ නැහැ සුරේඛා.අපේ අම්මා කොහොමත් වැඩිය ට්‍රිප් වලට කැමති නැහැ .එයා දැන් වයසයිනේ.මට කොහොමත් එයාව තනියම දාලා එන්න බැහැ “

පෙම්වතාගේ තහනම නිසා විනෝද චාරිකාවට සහභාගි වෙන්න බැරි බව ජයනි කාර්යාලයේ මිතුරු මිතුරියන්ගෙන් හැංගුවා.ජීවිතය එන්න එන්නම නීරස වෙනවා කියලයි ජයනිට හැම වෙලාවෙම දැනුනේ

” පුතෙ. මගෙ පපුව ටිකක් රිදෙනවා “

හවස් වරුවේ ජයනි ගෙදර ඇවිත් ටික වෙලාවකට පස්සෙ ජයනිගේ අම්මා කාමරයට ආවේ තරමක අපහසුවෙන්

” අනේ ඇයි අම්මේ ? අපි බෙහෙත් ටිකක් ගන්න යමුද ? “

” බලමුකෝ හෙට උදේ වෙනකන්.හවස මම වත්ත ටිකක් සුද්ද කරා කරා. සමහරවිට ඒ මහන්සිය නිසා වෙන්න ඇති පපුව රිදෙන්නේ “

ජයනිගෙ අම්මා එහෙම කිව්වත් ඇය හිතුවා වගේ වේදනාවේ අඩුවක් තිබුණෙ නැහැ.රෑ වෙනකොට අසනීප ගතිය එන්න එන්නම වැඩි වෙද්දී ඇයට හුස්ම ගන්න පවා අපහසු වුණා

” අනෙ අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු අම්මේ “

ජයනිට මුලින්ම මතකයට ආවේ කැලුම්ව.කීප වරක්ම කැලුම්ගේ දුරකථනයට ඇමතුම් ගත්තත් ඒ එකකටවත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.ප්‍රමාද වෙන එක එතරම් හොඳ නැති බව දැනුන නිසා ජයනි ඉක්මනින්ම අසල්වැසි ගෙදරකට දුවගෙන ගියා.ජයනිගේ අම්මාව රෝහලට රැගෙන යන්න ඉදිරිපත් වුණේ අසල්වැසි තරුණයෙක්

” ඔයා ඊයේ රෑ මට කෝල් ගොඩක් ගත්තේ ඇයි ජයනි ? “

පහුවදා උදේ නමයට විතර ජයනිට ඇමතුමක් ගත්ත කැලුම් ඇඟට පතට නොදැනී ඇහුවා

” ඔයා මම කෝල් කරනවා දැක්කද ? “

” ඔව් දැක්කා.මම ඒ වෙලාවේ party එකක හිටියෙ. ආන්සර් කළාට එතන තියෙන සද්දෙත් එක්ක ඔයාට ඇහෙන එකක් නෑනේ “

ජයනිට ඒ මොහොතේ දැනුණු කෝපයක් එක්ක ඇය දුරකථන ඇමතුම විසන්ධි කළා.ඒ එක්කම කැලුම් නැවත ඇමතුමක් අරගත්තා

” තමුසෙ කොහොමද එහෙම මගේ calls කට් කරන්නේ ? “

” ඔයා කොහොමද එහෙම මගේ කෝල් ආන්සර් නොකර ඉන්නේ ? ඔයා දන්නවද මම ගත්තේ ලොකු හදිසියකට කියලා ? “

” ඒ රෑ ඔයාට තිබ්බ හදිස්සිය මොකක්ද ? අර ට්‍රිප් එක ගැන අහන්නද? “

” මගේ අම්මට පපුවේ අමාරුවක් හැදුනා .එයාව hospital එකට එක්කන් යන්න කියන්නයි මම ඔයාට කතා කළේ “

” අ.. එ..එහෙමද ? මම දන්නෑනෙ ඉතින් ?”

” දැනගන්න ඔයා මගේ calls කෝල් වලට ආන්සර් කරන්න එපැයි කැලුම්.මේ වගේ හදිසියකදී ඔයා මට නැත්නම් ඇති වැඩේ මොකද්ද ? “

” එතකොට තමුසෙ කියන්නේ මගෙන් වැඩක් නෑ කියලද ? “

” ඒක ඔයාම තීරණය කරන්න “

” හරි හරි ඉන්නවාකෝ මම එන්නම් .මොන හොස්පිට්ල් එකේ ද අම්මා ඉන්නේ ?”

” නෑ.ඔයා හොස්පිට්ල් එකට එන්න ඕනේ නැහැ .අඩුම ගානෙ ඔයා මගේ ජීවිතේටවත් එන්න ඕනේ නැහැ ආපහු “

දැඩි හඬකින් එහෙම කියපු ජයනි, කැලුම් ට වචනයක්වත් කියන්න ඉඩ නොතියා දුරකථන ඇමතුම අවසන් කරලා දුරකථනයත් ක්‍රියා විරහිත කරලා දැම්ම.රෝහල් කොරිඩෝවේ ඇති පුටු පේලියෙන් වාඩිවුන ජයනි බරැති හුස්මක් මුදා හැරියේ ජීවිතයේ කිසිම දවසක ආපහු කැලුම්ව මුණ නොගැහෙනවා කියලා තමන්ටම පොරොන්දු වෙන ගමන්.

More Stories

Don't Miss


Latest Articles