fbpx

සුළි සුළඟක සුසුමක් – 18 වන කොටස

රක්වාන සූරිය කන්ද මාර්ගයේ මන්මත් කරනා දර්ශනයන් නෙතින් දකිත්දී ත් මගේ හදවත මත පැටවී තිබි බර කුමක් දැයි ප්‍රශ්න කරන්නට මට ඕන වුණේ නැත. ඇදුම් කන හිතක් සිනහවකින් වසා ගෙන හිඳීම අමුතු දෙයකි. මා මීට පෙර කිසි ම දිනෙක මෙවන් තත්වයක් අත් විඳ නොමැත්තෙමි. මගේ හදවත නිරන්තර සැහැල්ලුවක තිබුණේ ය. පෙම්වතුන් තිදෙනෙකු හට සමීප ව කෙටි කලකදී ඒ සබඳතා වලින් මිදෙත්දී ත් මට කිසිදු හිත් බරක් දැනුණා නොවේ. මා ඒ තැන් වලින් නික්මුණේ සැනසීමකිනි.

අප්පච්චි අකාලයේ ජීවිතය හැර යාම මිස, කල් පවතින දුකක් මගේ සිතේ නවාතැන් ගෙන ඇත්තේ ම නැත. ඉතින් මේ අහේතුක අසීරුව සැබවින් මට අමුතු ය.

“සිංහරාජෙ එක්ක යනවද”

කියා ම ප්‍රශ්න කරත්දී සංකල්ප ගේ මුහුණේ වූ බැල්ම තවමත් මා කීරි ගස්වමින් තිබේ. ඒ බැල්මෙන් ඔහු මා තුළට ඇතුල් වූ බවක් මට දැනෙන්නේ ඇයි? මට ඕනෑ ඒ බරින් මිදෙන්නට ය.

“ඔයා කතා කරන ඕන තැනකට යන්න මං එනව උත්තරා”

සංකල්ප ගේ ඒ පිළිතුරත් මට ඔරොත්තු නො දෙනා බවක් මට දැනේ. වෙනදා සේ ඔහු සැහැල්ලුවකින් හෝ හිතුවක්කාර දඟයෙකු ගේ ස්වභාවයෙන් හිඳිනවා නම්, රවා ගොරවා හෝ විහිළුවක් කොට හෝ බොරු නෝක්කාඩුවකින් බැණ වැදී හෝ ඒ අවස්ථාව මග හැර යන්නට පුළුවන. නමුත් ඔහු ගේ ඒ බැල්ම වූ කලී සරදමක් නොවේ!

“අක්කි අර…”

එක්වන ම මල්ෂා කෑ ගැහුවා ය.

“පිස්සුද කෑ ගහන්නෙ….”

ඊට නො දෙවෙනි හඬකින් සංකල්ප කෑ ගැසුවේ ය. පිටුපස සිට පැත්තට පෙනෙනා ඔහු ගේ මුහුණේ මා දුටුවේ සැබෑ නො රිස්සුමකි.

“අර එළුවො පෙන්නන්නනෙ මං කතා කළේ”

මල්ෂා නෝක්කාඩුවකින් කීවා ය. පාර දෙපැත්තේ ම තණ බිම් මත විසිර සිටි එළු රංචු මා දුටුවේ එවිට ය.

“ඒකට ඔච්චර හයියෙන් කෑ ගහන්න ඕනද….අනික එයා පාර බලා ගෙනනෙ යන්නෙ…අමුතුවෙන් ඔයා කෑගහන්න ඕන නෑනෙ”

“මෙයාගෙ සැර බලන්නකො අප්ප”

මල්ෂා ට ඇත්තට ම කේන්ති ගිය බවක් පෙනිණ. මගේ හිතෙහි තුනී ශෝකයක් ඇතිල්ලී ගියේ ය. අපත් එක්ක ඇවිදින්නට එන්න ඕනෑ ය කීවේ මල්ෂා ය. මා කළේ ඇගේ කැමැත්ත ට ඉඩ සලසා දීම පමණකි. සංකල්ප කෙරේ ඇගේ වන කැමැත්ත ට ඉඩ අවුරා මගේ ම හෘදය සාක්ෂියට වරදකරුවෙකු වන්නට කිසි සේත් මට අවශ්‍ය නොවූ බැවිනි.

නමුත් ඇය කෙරේ සංකල්ප ගේ වන නො රිස්සුම දැන් මට හොඳට ම දැනේ. මල්ෂා වෙනුවෙන් මේ මොහොතේ මා ඉදිරිපත් වූයේ එනිසා ම ය.

“හරි හරි ඉතිං…ඒ ළමයට කෑ ගහන්න එපා ඕකට…”

“අපරාදෙ මං ආවෙ”

මල්ෂා ගේ හඬ හැඬුම්බර වූයේ ය. ඇය කවුළුවෙන් ඉවත බලා ගත්තා ය. මගේ හද තවත් බර වෙනවා මට දැනිණ. බැඳීම් කියන්නේ දුකක් හා බරක් කියා මා සිතනා සිතිවිල්ලේ වරදක් නොවන බව යළි යළිත් මට පසක් වන්නට වූයේ ය. බැඳෙන්නට යන තැන ම හට ගන්නේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයකි. අයිති වීම හෝ නො වීම පිළිබඳ ප්‍රශ්නයකි. නො බැඳී සිටින තාක් ඕනෑ ම ඇසුරක් කෙතරම් නම් නිදහස් ද? ස්වාධීන ද? එසේ ම සැහැල්ලු ද?

“අනේ එහෙම හිතන්න එපා මල්ෂා. මේ ගමන මගෙ හිතට සැහැල්ලුවක් ඇති කරන ගමනක් කර ගන්නයි මට ඕන වුණේ. ආයෙ කොළඹ ගියත් සතුටෙන් මතක් කරන්න පුළුවන් ගමනක්”

එසේ කියත්දී මට ඉදිරි කැඩපත දෙස බැලුණේ නිරායාසයෙනි. එවෙලේ සංකල්ප ගේ ඇස් සමග මගේ ඇස් ගැටුණේ ය. හදවත ඇතුළේ සුළි කුණාටුවක් හමා යනු මට දැනිණ. මම දෙතොල් තද කොට සිනහ වී මල්ෂා ගේ හිස් මුදුනේ කෙහෙ රැලි අවුල් කළෙමි.

“හරි හරි දැං ඕක ඉවරයි. මේ ළමයට කෑ ගැහුවොත් මං ඔයාට දෙනෝ පාරක් සංකල්ප”

ඔහු හ්ම් කීවේ හෝ නැත. සතුටෙන් හිඳිනා බවක් හඟවන්නට හෝ උත්සාහ කළේ මා පමණක් ය කියා සිතමි.

තව දුරටත් රත්නපුරයේ රැඳීම කළ නො හැකි සෙයක් මට දැනෙන්නට ගති. එය වූ කලී පලා යාමේ අවශ්‍යතාවයකි. මට සිදු වී ඇත්තේ කුමක් ද කියා මට ම වුව වටහා ගත නො හැකි වූ සේ ය. හදවත් බිත්ති බෙහෙවින් ම දුර්වල වී කඩා වැටෙන්නට ආසන්න සෙයක් පමණක් දැනිණ. පසු දා ම කොළඹ යන්නට එදින රාත්‍රියේ මම තීරණය කළෙමි.

“සින්දුවක් කියනවද…මෙහෙම….ෆෝන් එකෙන්…”

රෑ මැදියම සංකල්ප ට දුරකතන ඇමතුමක් දී මම කීවෙමි.

“උත්තරා….”

ඔහු තරමක් විපිළිසර වූයේ ය.මගේ සිතේ බොහෝ සිතිවිලි කැරළි ගසමින් තිබිණි. මින් මනතට සංකල්ප ගේ ගීතයක් අසන්නට මට අවස්ථාවක් නො ලැබෙනු ඇත යන්න වඩාත් දරුණුවට මා පෑරූ සිතිවිල්ල විය.

“මං හෙට උදේ යන්න හදන්නෙ සංකල්ප”

මගෙන් ම මට ඇසුණේ බිඳුණු හඬකි. ඔහු ගේ පැත්තෙන් ඇසුණේ රාත්‍රී නිහැඬියාවේ ගුප්ත හඬ පමණකි. ඔහු ට නො කියා ම ගියා නම් මැනවැයි කියා ද මට නො සිතුණා නොවේ.

“මට මේ වෙලාවෙ සින්දු කියන්න අමාරුයි උත්තරා”

ගිනියම් වූ යමක් මගේ උගුරේ හිර වී තිබුණේ ය. අප දෙදෙනා ම කතා කළේ නැත. කොයි තරම් වෙලාවක් ද මන්දා ඒ ගුප්ත නිහැඬියාව තුළ ගිලී සිටීමෙන් පස්සේ සංකල්ප ‘දැන් ඔයා නිදා ගන්න’ කීවේ ය.

“ගුඩ් නයිට්”

මම උගුර යටින් කියා ගතිමි.

රාත්‍රියේ මට කොයි තරම් හොදින් නින්ද ගියා දැයි කිව නො හැකි ය. මම නින්දක පසු වීමි. නමුත් නොනින්දක් ද නිතර ම මා ළඟ විය.

නීලා පසු වූයේ ශෝකී ඉරියව්වකිනි. ඒ මා කොළඹ යන්න යාම ගැන ය. හිටි හැටියේ මේ විදිහට මා යන්නට තීරණය කළෙන්, යළි පැමිණිමක් ගැන බලාපොරොත්තු තැබිය නො හැකි බව, ජීවත් වීම තුළින් ඈ ලද ඉව ට අනුව ඇය තීරණය කරන්න ට ඇත.

“සුදු බබා මෙහෙ ඉන්නම ඉඳියි කියලයි මං හිතුවෙ”

උදේ කෑම මේසයේ දී මා ළඟ දැවටෙමින් ඇය කියවූවා ය.

“දරුවෙක් මල්ලෙක් කවදාවත් නොහිටිය එකේ සුදු බබා ඉන්දෙද්දි මට දැනුණේ හැබෑවටම මං අම්මා කෙනෙක් කියලයි”

අහු වෙන ඕනෑ ම තැනක් ග්‍රහණය කර ගන්නා වැලක ස්පර්ශකයක් මෙන්, ජීවිතය ද ඕනෑ ම මොහොතක බැඳීමක වෙලෙන්නට බලා හිඳී. සුක උපදින්නේ එනිසාවෙනි. නීලම්මා, සංකල්ප, බුලී සේ ම රත්නපුරේ මේ ගෙදර හා පරිසරය කෙරේ ද නොදැනුවත් ව ම මා ද බැඳී ඇති බව දැන් මැනවින් වැටහේ. ස්පර්ශකයක් අල්ලා ගත් තැනෙකින් ගලවත්දී කැඩී යන්නා සේ, එකී බැඳීම් වලින් මිදෙන්නට යත්දී හිත බිඳේ. සදාතන පරම සත්‍යය එයයි.

“ගෙස්ට් එක ළඟ නවත්තල යන්න”

යනුවෙන් සංකල්ප කෙටි පණිවිඩයක් එවා තිබුණේ ය. ඒ අනුව මම එතැන රිය නතර කළෙමි. ලූනා කවුළුවෙන් හිස එළියට දමා ගෙන බුලී ට බිරුවා ය. බුලී දමා යන්නට ඇය ට ද ලෝභී සිතක් උපදින්නට ඇත.

සංකල්ප ඉක්මන් අඩි තබා හයිලන්ඩ් ගෙස්ට් වෙතින් පිටතට ආවේ ය.

“මං ඩ්‍රයිව් කරන්නං”

මම කිසිදු විරෝධයකින් තොර ව රියෙන් බැස ගතිමි. අපේ ඇස් එකට හමු විය. නමුත් ඇස් වලට සිනහ වන්නට අමතක වී තිබුණේ ය.

“කොළඹ ඉඳල  මං බස් එකේ එන්නං”

කරදර වෙන්නට එපා කියන්නට මට ඕන වුණේ නැත. මම අනිත් පසින් ගොස් ඉදිරි අසුනට ගොඩ වීමි. සංකල්ප ඉතා හෙමිහිට රිය පදවමින් සිටියේ ය. මම හිස අසුනට බර කර ගෙන ඇස් දෙක පියවෙන්නට හැරියෙමි.

මේ බර හදවතට ආගන්තුක වූවකි.

“ඔයා ආයෙ එක වතාවක් හරි මෙහෙ එයි කියල මං බලාපොරොත්තු වෙනව”

ඔහු ගේ හඬ මට ඇහුණේ දුර ඈත වෙනත් ග්‍රහ ලොවක සිට ඇසෙන්නා මෙනි. මම හෙමිහිට නෙතු පිය විවර කොට බැලුවෙමි. සංකල්ප ගේ මුහුණ මත වූයේ හැඟීම් සමුදායක එකතුවකි.

“අනේ සංකල්ප”

මට යමක් කියන්නට ඕන වුණේ ය. නමුත් පපුව පත්ලේ සිට මා කළඹා ගෙන ඉහළ නැගි සුළි ප්‍රවාහයක් කඳුළක් ලෙස පිටමං වෙන්නට යත්න දැරුවේ ය. මම අසීරුවෙන් මාව පාලනය කර ගතිමි.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“ඔයා මාව අඬවන්න හදන්නෙ”

“ඔයාට කඳුළු ත් තියනවද…”

ඔහු ගේ දෙතොලතර සාවඥ සිනහවක් විය. මම තැති ගෙන බලා සිටියෙමි.

“අප්පච්චි නැති වුණාම මං හිතා ගත්තා සංකල්ප ආයෙනං අඬන්නෑ කියල. මට අඬන්න බෑ. මට විඳවන්න බෑ. මං එච්චර ශක්තිමත් කෙල්ලෙක් නෙවෙයි”

“ඔයා මේ කරන්නෙ පැනල යන එක උත්තරා”

“වෙන්නැති”

“අපි මේකට මූණ දෙමු”

මම වීදුරු කවුළුවෙන් පිටත බලා ගතිමි. මගේ ජීවිතය ගැන හෝ අයිතියක් මට නැතිවා සේ දැනේ. බලනා කෙනෙකුට මා නිදහසේ සරණා සරුංගලයක් සේ පෙනෙන්නට පුළුවන. නමුත් ඒ සරුංගලයේ නූල අතැති ව අයියා බලා සිටින බවක් මට වුව වැටහෙන්නේ දැන් ය. ඔහු මගේ අනාගතය කෙසේ තීරණය කරනු ඇත් ද? ඒ වෙනුවෙන් කිසිවක් කරන්නට මට හැකි වනු ඇත්ද නැත්නම් නො හැකි වනු ඇත් ද? මම නො දනිමි.

“නපුරු විදිහට මල්ෂාව රිද්දන්න එපා”

කිසි තේරුමක් නැති කතාවක් බව දැන දැන ම මම එසේ කීවෙමි.

“ඔයා හදන්නෙ ඇඟ බේර ගන්න”

ඒ හඬෙහි වූ අවඥාව මට හොඳට ම දැනිණ. නමුත් මා හැසිරුණේ කිසිවක් නො වැටහෙන බබෙකු ගේ ගාණට ය.

“අයිය මැරි කරන්න කියල මට වද කරයි. එයා දැනටම කෙනෙක් හොයලලු”

“ඉතිං ඔයා එහෙම බඳිනවද…”

“මං දන්නෑ සංකල්ප”

එතෙක් පාලනය කර ගෙන උන් කඳුළු ගලා යන්නට වූයේ ඒ වෙලාවේ ය. මා තුළ සිර වී මා වෙනුවෙන් ම එහෙව් කඳුළක් තිබුණ බවක් මා වුව නො දැන සිටි තරම ය. උත්තරා කියන්නේ කවුරුන් ද? ඇගේ පියා මරණයත් එක්ක නික්ම ගිය බව ඇත්ත ය. නමුත් ඇය තවමත් ජීවත් වෙනවා නොවේ  ද?

“උත්තරා. අපිට ජීවිත දෙකක් නෑ. එකයි තියෙන්නෙ. ඔයා කියන බැඳීම් දුකක් කියන කතාව ඇත්ත. ඒත් මේ බැඳීම් ටිකත් එක්ක තමයි සංසාරෙ කෙලවර කරන ආත්මයක් වෙනකල් යන්න වෙන්නෙ. ලැබිල තියෙන ජීවිතේ ජීවත් වෙන්න ඕනෙ උත්තරා. ඔයා කොළඹ ඉන්න. ඔයා ජොබ් එක කරන්න. ඒත් ඔයාගෙ හිතට දැනෙන දෙයක් තියෙනවනං ඒක තේරුං ගන්න උත්සාහ කරන්න”

සංකල්ප කතා කළේ ජීවත් වීමෙන් අත්දැකීම් සමුදායක් ගොඩ ගැසූ පඬිවරයෙකු සේ ය. මම මා තුළ කිමිදෙමින් සිටියෙමි. දියවෙමින් සිටියෙමි. මහා හුදෙකලා වීමක අවශ්‍යතාවයක් මට දැනෙමින් ද තිබිණ.

නුගේගොඩ දී සංකල්ප රියෙන් බැස්සේ ය. මට දැනුණේ මගේ හදවතෙන් කොටසක් මගෙන් අත්හැරුණා සේ ය. ඔහු රත්නපුර බසයක් වෙත ඉක්මන් අඩි තැබුවේ ය.

“සංකල්ප”

මට කතා නො කර ඉන්නට බැරි විය. ඔහු නතර වී හැරී බැලුවේ ය. කිසිවක් සිතන්නේ නැතිව ම මම ඔහු වෙත දිව ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x