පොත් ටික වසා තබා විත් පාරුල් යහනේ මැදින් වැතිරගත්තා ය. ජුලී ආත්තම්මා ගොරවමින් නිදයි. ඈ දෙස මඳ වෙලාවක් හිස හරවා බලා සිටි යුවතිය නෙතු පියා ගත්තා ය.
“චන්දුල කප් එක ගනී කියල මට හිතෙනව”
මීට මඳ වෙලාවකට පෙර ගඟුල් ලියා එව්වේ ය. මේ රාත්‍රියේ චන්දුල ගේ ගායනය වඩාත් තීව්‍ර වී තිබි බැව් පාරුල් ට ද සිතිණ. නමුත් තරු තරග ගැන ලොකුවට බලාපොරොත්තු තබා ගත නො හැකි බව ද ඇය ඕනෑ තරම් අසා තිබේ.
“එස් එම් එස් පටං ගත්තහම අපි ලොකු පබ්ලිසිටි කැම්පේන් එකක් කරමු කොළඹ”
ගඟුල් ගේ ඒ වචන මේ මොහොතේත් පාරුල් ගේ පපුවේ හිරවීමක් ඇතිකරයි. ඔහු ‘අපි’ කියා කියන්නේ ආයාසයකින් තොරව ඔවුන් ගේ කුළකය තුළට පැමිණීමේ සූදානමිනි. ඇය පොරෝනාව දෙපතුළ සිට ම පොරවා ගත්තා ය. ඊළඟට තුරුලු කොට්ටය තුරුලට ගත්තා ය. ගඟුල් විජයවීර ගේ පිරිමි හිත ඇයට නො දැනෙනවා නොවේ. ඇගේ හදවත මත විටෙක ඒ මහ බරක් ව පතිත වී තිබෙනවා දැනේ. ඔහු වූ කලී කොළඹ මහජනතාවට අයිති පොදු වස්තුවක් වී ද ඇයට විතරක් අයිති පෞද්ගලික වස්තුවක් සේ දැනෙනා හැඟීමක් සුළි සුළඟක් සේ පපුව හරහා හමා යයි. සුරත් ට කෙතරම් අකමැති වී ද පෙර දා වෛද්‍ය නිර්ධා විජයවීර හැසිරුණේ පාරුල් තුළ ආත්මීය සුවපත් බවක් ඇති කරවමිනි. ගඟුල් වෙතින් දැකිය හැකි වන්නේ අම්මා නිසා උරුම වූ මෘදු කරුණාවත් ගතිගුණ විය යුතු ය.
ගඟුල් කියන්නේ දුර ඈත මන්දාකිණියක දිළෙනා සුපසන් තරුවක් නම්, ඒ මන්දාකිණියට ම පෙම් කරන්නට කෙල්ලකට නො සිතෙන්නේ නොවේ. නමුත් දුර හිඳ බලා සිටිනු මිස ඒ මන්දාකිණියට ලං විය නො හැකි බව පාරුල් ගේ හිතේ පැත්තක් ම කෑගසා කියනු ඇසේ. ඇය ඒ පැත්තට කන් දෙන්නේත් නැතිව තරුවත් එක්ක ඉඟි බිඟි පාමින් හිඳී. නමුත් කොයි මොහොතක හෝ ඇයට අයිති පොළොව මත පතිත වීමට සිදු වනු ඇති බවට හිතේ අනිත් පැත්ත ඉඟි කොට කියයි. නමුත් මේ චමත්කාරයට ඇය රිසි ය. එහි කිසිදු සංවේගයක් හෝ සන්තාපයක් නොමැත. ඔහු ඇසුරේ සන්තානය සැනසුම් සහගත ය. එබැවින් ඊළඟ මොහොත ගැන නො සිතා මේ මොහොත තුළ ජීවත් වන්නට ඇය කැමති ය. සංවේග කාරණා තිබිය හැක්කේ අනාගතයේ ය.
පාරුල් ට ඉකි බිඳුමක් ඇසිණි. පොරෝනාව පහළට අදිමින් ඕ වහා විමසුම් දෑස් දෙපසට විහිදුවා බැලුවා ය. ජුලී නින්දේ ගැඹුරු ම ඉසව්වක යි. ඇය අම්මා දෙස බැලුවා ය. යහන කොනක වක් වූ රිදී සුරතින් මුව වසාගෙන ඇස් තද කොට පියාගෙන සිටියා ය. නමුත් ඇගේ නෙත් කෙවෙනි අගින් කඳුළු ගුලියක් මිරිකී වැටිණ.
“අම්…ම…”
පාරුල් වෙව්ලා ගියා ය.
“අනේ ඇයි අම්මෙ මේ… ඇයි මෙහෙම අඬන්නෙ…”
රිදී ගේ පපුව රිදෙමින් තිබිණ. මේ රැයේ රූපවාහිනිය ඔස්සේ චන්දුල ගේ ගීතය නැරඹූ වෙලාවේ ඉඳන් ඇය සිටියේ මේ පීඩනය තනිව දරාගෙනයි. මේ මොහොතේ කොතැනක හෝ හිඳ සිසිර තනිව විඳවුම් ලබනා බව ඈ දනී. හැන්දෑවේ ඔහු වත්තට ආවේ ය. රිදී සිටියේ වේලුණු රෙදි වැලක් ඇතුළට ගනිමිනි. චන්දුල රෙදි මදිමින් සිටියේ ය. පුහුණුවීම් අතරේ දැන් චන්දුලට රෙදි වැඩ කරන්නට වෙලාව අඩු ය. නමුත් වෙලාවක් හොයා ගත හැකි හැම විටෙක ම ඔහු එහි යෙදෙයි. කුළී ගෙවා වැඩ කරවා ගන්නට මිනිස්සු වත්තේ සිටිති. නමුත් ඔවුන්ට දෛනික වැටුප් ගෙවූ විට රෙදි සේදීමෙන් ලාභයක් නැත. මේ දින වල පුහුණුවීම් හා රූගත කිරීම් නිසා චන්දුල ගේ වියදම් ද වැඩි ය. ඒ ගැන ගඟුල් බලාගත්ත ද ඔහු ට නිතර ම කරදර කරන්නට චන්දුල කැමති නැත.
“නගරාධිපතිතුමා අනික් දේශපාලකයො වගේ අවස්ථාවාදියෙක් නෙවෙයි තමයි. ඒත් අපි ඔය ලොකු මිනිස්සුංව පරිස්සමෙන් ආශ්‍රය කරන තරමට ඇඟට ගුණයි. මොකද අපි පොඩි මිනිස්සුනෙ”
ඔහු කියන්නේ එසේ ය. ඒ නිසාවෙන් හැකි පරිදි චන්දුල රෙදි වැඩ කරන්නේ ය. අත්තේ ඉන්නා කුරුල්ලා ට වඩා අතේ ඉන්නා කුරුල්ලා විශ්වාස කළ යුතු බවක් ද දුෂ්කර ජීවිතය විසින් ඔහු ට උගන්වා තිබේ.
සිසිර ගේ ත්‍රීරෝද රිය පැමිණියේ එහෙම වෙලාවක ය. අව්වේ දැඩි බවින් මිදෙනු වස් හිසේ රෙදි කඩක් ඔතාගෙන වැල් වලින් රෙදි ගනිමින් සිටි රිදී ත්‍රිරෝද රියෙහි හඬින් හැරී බැලුවා ය. එදා හරි අහම්බෙන් සිසිර ආවාට පස්සේ ත්‍රීරෝද රියක හඬකට පවා ඇය ගැස්සී බලයි. දකිනා හැම ත්‍රීරෝද රියක ම සිසිර සිටිතැයි සිතෙයි. එහෙම රැවටුණ අනන්ත වාරයකට පස්සේ ඔහු ඇත්තට ම ඇවිත් තිබේ.
සිසිර ට හිත හදාගෙන පෙර සේ සිටිත නො හැකි වූයේ ය. ලොන්ඩරි වත්තට ආයේ ම යන්නට කියා හිත බල කොට සිටියේ ය. එය වරදක් බව ඔහු දනී. ඔහු වූ කලී වරදකරුවෙකි. රිදී ගේ කෙසේ වී ද චන්දුල ගේ උසාවියේදී නම් ජීවිතාන්තය තෙක් ඔවුන් ගේ ජීවිත වලින් පිටුවහල් කරනු ලැබූ වරදකරුවෙකි. ඒ බව පෙර දා චන්දුල දුටු වෙලාවේ ඔහු ගේ හැසිරීම නො කියා කීවේ ය. සමාව දිය නො හැකි වරදක් ඔහුගෙන් සිදු වී ඇතුවා විය හැක. ගැහැනියක දරුවන් දෙදෙනෙකු සමගින් අත්හැර දැමීම පිරිමිකමටත් නින්දාවකි. ඒ වෙනුවෙන් කියන්නට කිසිදු නිදහසට කාරණාවක් ඔහු ට නැත්තේ ය. මීට පෙර ඔහු සිටියේ කිසිත් අමතක වී නොවී ද මතක් කරගන්නට උත්සාහ නොකර ය. නික්ම ආ අතීතය දෙස ආපසු හැරී බලන්නට බියක් ඔහු ට තිබිණ. ඔහු බිය වූයේ ඔහුට ම ය කියා කීවත් වැරදි නැත. ප්‍රාණ ඝාතකයෙකු සේ සිසිර ට තමන්ව ම දැනුණ අවස්ථා තිබේ. ඒ වෙලාවට ඔහු කළේ දුම්වැටි කිහිපයක් එක දිගට අළු කොට දැමීමයි. නමුත් අතීතය අළු ව ගොස් නැත. අළු යට ගිනි පුපුරු සේ හැමදාමත් නො නිවී පැවත තිබේ.
“මොකද වුණේ අම්මෙ… ඔයා තනියම අඬන්න එපා ඉතිං… තනියම අඬපු කාලෙ ඉවරයි කියල හිතන්න. දැං අපිත් ලොකුයිනෙ… අපිටත් තේරෙනවනෙ… අඬනවනං අපි එකතු වෙලා එකට බදාගෙන අඬමු අම්මෙ. නැත්තං එකට ඉතුරු ටික හිනාවෙවී යමු…”
රිදී ගේ හිස පිරිමදිමින් පාරුල් මුමුණන්නට වූවා ය. ඇය කතා කළේ හෙමිනි. චන්දුල හෝ ජුලී අවදි වනු ඇතැයි දෙගිඩියාවෙනි.
“තාත්ත අදත් ආවනෙ”
ඉකිබිඳුමක කෙළවර රිදී කියාගත්තා ය. පාරුල් ගේ දෙබැම ඉහළ නැංවිණ.
“අයිය තාත්තට දොස් කීව පාරු. මට වාවන්නෑ දෙයියො”
පාරුල් අම්මා ව දෑතින් ලං කොට සිය පපුවට හේත්තු කොටගත්තා ය. පාරුල් මේ කතාව දන්නේ දැනුයි. අද චන්දුල ගී ගයනා දිනයක් නිසා උමාවත් ඇගේ හිත කලබල කරන්නට මේ කතා කියන්නට ගියේ නැත.
රෙදි ගන්නා රිදී වෙතට සිසිර ලං වූ වෙලාවේ චන්දුල පොල්කටු ස්ත්‍රික්කය පසෙකින් තැබුවේ ය.
“කොල්ල සින්දු කියද්දි මගෙ පපුව පැලෙන්න එනව රිදී. කොච්චර පාඩුවෙ ඉන්න හැදුවත් මට ඉන්න බෑ. එක සැරයක් මට කොල්ලව බදාගන්න ඕන රිදී”
චන්දුල වේගවත් අඩි තබා එතැනට එමින් සිටියේ ඒ වෙලාවේ ය. ඊට පෙර වැඩසටහනේදී චන්දුල ගේ මුවින් පියා නොමැති බව පැවසෙනු සිසිර ට ඇසුණි. ඒ මොහොතේ සිට මේ උමතුව උත්සන්න වී තිබේ.
“අපි පොඩි කාලෙමයි තාත්ත නැති වෙලා තියෙන්නෙ. අපිව මේ තරමට උස් මහත් කරන්න අම්ම එයාගෙ ඇඟේ ලේ මස් ගෙවෙනකල් වැඩ කළා”
චන්දුල එසේ කීවේ මඳහසකිනි. ඒ මඳහස යට හෙළා නිම කළ නො හැකි කඳුළු ටැංකියක් ම පිරී තිබූ බව දන්නේ ඔහු පමණකි.
“කරුණාකරල ආයෙ මේ පැත්තට එන්න එපා. අපේ තාත්ත මැරිල. හොල්මන් අවතාර මේ පැත්තෙ කරක් ගහනවට මං කැමති නෑ. අම්ම යං ගෙදර”
කියා චන්දුල රිදීව අතින් ඇදගෙන ගෙදරට ම කැටිව ගියේ ය. රිදී සියල්ල හිතේ හිරකරගෙන සිටියා ය. අසීරුවෙන් දරාගෙන ගී තරු වැඩසටහනේ චන්දුල ගයනු ද බලා සිටියා ය. හැඟුමන් මහෝඝයක් ව විත් කඳුළු මේඝය ඉහිර දැමුවේ මේ යාමයේ ය.
“මං දන්නව තාත්ත වැරදියි කියල. අනේ ඒත් එයා එක්ක කවදාවත් තරහ ගන්න මට පුළුවන් වුන්නෑ පාරු. ඔයා මගෙ දුව නිසා තේරෙනව ඇති. ගෑනු පපු පිරිල තියෙන්නෙ ආදරෙනුයි සමාවෙනුයි වෙන්නැති පාරු. අයියත් තාත්ත වගේම තදයි. එයා තාත්තටත් වඩා තදයි කියල අද මට තේරුණා. මගෙ පුතා වුණත් ඒ මනුස්සයව එලවල දාද්දි… මට ඉවසං ඉන්න බැරි වුණා පාරු. ඒත් මට මොනවත් කරගන්න බැරි වුණානෙ පුතේ… දෙයියනේ අම්ම කෙනෙක් කියන්නෙ මොනතරං අසරණ ගෑනියෙක්ටද…”
රිදී දෙතුන් විටක් පපුවට ගසාගත්තා ය. ඇගේ හඬ අතිශය දුර්වල වූයෙන් ඇතැම් වචන බිඳී ගියේ ය. ඇතැම්වා උගුරේ හිරවී නෑසී ගියේ ය. පාරුල් මව්වත් හදකින් අම්මා ගේ හිස ද කෝටු දෑත් ද පිරිමැද්දා ය.
“මොකද්ද බං උඹලගෙ කුටුකුටුව…”
කියාගෙන රිදී ද නැගිටගත්තා ය. ඒ කුටුකුටුව මෙතෙක් වෙලා නිදි නැතිව උන් චන්දුලට ද ඇසී තිබිණි. නමුත් හෙතෙම කතා නොකර උන්නේ අම්මා රිදුමක් තුළ ඉන්නා බැව් ඉඳුරා දැන සිටි බැවිනි. රිදී ගේ කඳුළු ජුලී දුටුවා ය.
“දැං ඕං ඕක අතෑරල දාපං රිදියො. ගෑනු අපිට ඔයිට වැඩිය දේවල් කොරන්න වෙනව බං. රත්තරං ඩිංගක් වගේ දරුවො දෙන්නෙක් ඉන්නෙ උඹට. අනික ගිය එකා ගියා. අවුරුදු විසි ගාණකට පස්සෙද ඌට දරු දුක දැනිල තියෙන්නෙ… “
“පාරූ…”
එ’හඬ නැඟුණේ සොල්දරය මතිනි. ගැහැනු තිදෙන එක මොහොතකට පාෂාණිභූත වූහ.
“තේකක් බොමුද…”
“බොමු අයියෙ”
පිළිතුර නැඟුණේ තත්පර කිහිපයකට පස්සේ ය. රිදී හනි හනික දෑසත් දෙකොපුලත් පොරවනා චීත්තයෙන් පිස දා ගත්තා ය. පාරුල් ඇඳෙන් රූටා බැස වතුර කේතලය ළිප මතින් තැබුවා ය. තේ හැදුවේ ජුලී යි.
පාරුල් තේ එක ගෙනෙනා තුරු චන්දුල අඹ ගස යට ලෑලි බංකුවේ හිඳ සිටියේ ය. වත්ත නින්දට ගොසිනි. ඈත නිවසකින් දෙමළ චිත්‍රපටයක දෙබස් ඛණ්ඩයක් ඇසේ. මේ වටයේදීත් චන්දුල ඉදිරියට ගිය බැව් සැබවි. නමුත් හදවත මත කිලෝ ගණනක බරක් පැටවී තිබේ. හවස වූ සිද්ධිය ගැන ඔහු ට හිතට අමාරුවක් නැතිවා නොවේ. නමුත් සිසිර වෙනුවෙන් හදවතේ බැමි ලිහිල් කරන්නට ඔහුට කිසි සේත් අවශ්‍ය නැත.
“මං දැං අයියෙ දන්නෙ”
චන්දුල ගේ තේ එක සහිත බෙලෙක් කෝප්පය දෙමින් පාරුල් බංකුව මතින් හිඳගත්තා ය. උඩුකය නිරාවරණය කොට ගෙන යටිකය කොටු සරමකින් ආවරණය කරගෙන සිටින චන්දුල කේශර සිංහයෙකු පරිදි ය.
“මට ඔයාව තේරෙනව අයියෙ”
පාරුල් ට හීල්ලිණ. චන්දුල ඇදෙස නො බලා අරමුණකින් තොර දෑස් ඈතක තියාගෙන සිටියේ ය.
“ඒත් අම්ම මාරම පව්. එයා හැමදාම ආදරේ කරපු ගෑනියෙක් අයියෙ. බින්දුවක්වත් වෛර නොකරපු ගෑනියෙක්. අම්මගෙ පපුව ඇතුළෙ තියෙන්නෙ අහිංසකකම් විතරයි. එයා දන්නෙ ආදරේ විතරයි. දැං මේ ඉතුරු වෙලා තියන චූටි කාලෙ අපිට එයාව වෙනස් කරන්න බෑ අයියෙ. එයාට එයා වගේ ඉන්න දෙමු. තාත්ත ගැන කියන්න මං දන්නෑ. එයාට එකපාරටම ඔයාව ඕන වුණෙත් සමහර විට බොරුවට නෙවෙයි වෙන්නැති. මිනිස්සු විදිහට අපි හුඟක් අපිව පාලනේ කරං ඉන්නව අයියෙ. හැබැයි වැව් බැම්මක් පුපුරල වතුර කාන්දු වෙන්න ගන්නව වගේ එහෙම පාලනේ කරගන්න බැරිවෙන එක මොහොතක් එන්න පුළුවන් නේද… ඒක නිසා ඔය කේන්තිය නිවෙන්න අරින්න අයියෙ”
පාරුල් චන්දුල ගේ නග්න අත් බාහුවක් පිරිමැද්දා ය. මුළු පපුව ම හිර වී තිබෙනු චන්දුල ට දැනිණ. කියන්නට දහසකුත් කාරණා තිබුණාට ඒ එකක්වත් කියාගන්නට මේ මොහොත නොවේ.