මන්දාරා හදිසියේ රෝගාතුර වූවා ය.පැතිරෙමින් තිබූ වෛරස් උණ රෝගයක ගොදුරක් බවට තමන් පත්ව ඇතැයි ඇයට හදිසියේ සිතුණේ තදබල හිසරදය නිසා ය.හිමංගි සමඟ විශ්ව විද්‍යාල දේශනවලට සහභාගී වෙමින් සිටිය ද තමන්ට තවදුරටත් මෙතැන රැඳෙන්නට නොහැකි බව ඇයට සිතිණ.
“හිමා..මං ගෙදර යන්නං?”
මන්දාරා එසේ ඇසුවේ හිඳින්නට අසීරු නිසා ය.
“ඔයා තනියම යන්න? යං ඉතිං මාත් එන්නං..”
හිමංගි දේශනය නිම වූ වහා මන්දාරා රැගෙන පිටතට ආවා ය.මන්දාරාට හිසරදය නිසාම වමනය ඇති වූ බැවින් ඇය ආපන ශාලවට රැගෙන ගොස් දෙහි යුෂ රැගෙන දෙන්නට ද හිමංගි ක්‍රියා කළා ය.තේජන ඔවුන් සමඟ පැමිණෙන්නට සූදානම් වෙද්දී ඔහු නැවතුවේ ද හිමංගි ය.
“මං මන්දිට බෙහෙත් අරන් ගෙදර යන්නම් තේජන.ඔයා ඉඳලා අපිට ලෙක්ච රෙකෝඩින් අරන් හවසට එන්න..”
තේජන ඇයට එකඟ වූයේ වාද කිරීමෙන් තොරව ය.
“මන්දි,දැන් කොහොමද?”
ආපනශාලාවේ මේසයකට හිස ගසාගෙන හුන් මන්දාරාගෙන් එසේ ඇසුවේ මිතුරියකි.මන්දාරා අසීරුවෙන් සිනාසුණා ය.හිමංගි ගැන කැත ඕපාදූප බෙදාහරින්නට ප්‍රිය කරන කෙල්ලන් කිහිප දෙනෙකුට මේ අසීරු මොහොතේ පවා මන්දාරා රිදවා බලන්නට සිතිණ.
“ප්‍රශ්නයක් නෑනෙ..අම්මා ඉන්නවනෙ දුවව බලා ගන්න..”
ඔවුන් පැවසුවේ මන්දාරාට වේදනානාශක පෙති මිලට ගෙන හිමංගි පෙන්වමිනි.මන්දාරා ඔවුන් දෙස බැලුවේ සිනාවකිනි.
“ඇත්තටම එයා මට අම්මා කෙනෙක් වගේ තමා.අම්මා කෙනෙක් වෙන්න වයසවත් මොකුත් වැදගත් නෑ.හැඟීම තමයි වැදගත්.ඒක මට තේරෙනව නම් ඔයාලට නොතේරීම මට ගැටලුවක් නෙවෙයි..”
මන්දාරා වෙනස් වී ඇති අන්දම තේරුම් ගන්නට නොහැකි වූ කෙල්ලන් රොත්ත සසැලී ගිය අතර තේජනට පහළ වූයේ සිනාවකි.තමන්ගේ පෞද්ගලික ගැටලු පොදු අවකාශයට නොදෙන්නට තරම් මන්දාරා පරිණත වීම ඔහුට සතුටක් විය.
මන්දාරාට බෙහෙත් ද රැගෙන නිවසට ආ හිමංගි ඇයට කෑම පිසුවා ය.සංගීත පුහුණුවීමකට ගොස් සිටි මෙවන් නිවසට ආවේ හිමංගි මුළුතැන්ගෙය තුළ කාර්යබහුල මොහොතක ය.
“මන්දිට වෛරස් උණ ඇවිල්ලා.ඔයත් වැඩිය යන්න එපා ඒ පැත්තට.අනිද්දා වෙඩින් එකක සින්ග් කරන්න තියනව කිව්වා නේද?”
හිමංගි අසන්නේ එහෙමෙහෙ දුවන අතර ය.
“සීරියස්ලි හිමා අක්කා, ඔයා මට වඩා අවුරුදු දහයක්වත් වැඩිමල් උනානම් මම ඔයාට අම්මා කියනව..”
මෙවන් ශීතකරණයෙන් ගත් බීම වීදුරුවක් ද සමඟ මුළුතැන්ගෙයි පුටුවකින් හිඳ ගත්තේ ය.
“ඉස්සර යාලුවන්ගෙ ගෙවල්වල ගියාම මම හිතනවා, අපේ අම්මා අපි ගැන හොයන්නෙ බලන්නෙ නැත්තෙ ඇයි කියලා.එයා ගෙදර හිටිය දවසක් නැති තරම්…ආදරේ කියලා නාමයක් දීලා නෑ..”
හිමංගි සුප් බඳුනින් ගෙන මන්දාරාගේ කෝප්පයට දැමුවේ මඳ සිනාවකිනි.
“ඒකට හේතුව නම් ලංකා මැඩම් එච්චරටම බිසී නිසා.එයාට එහෙම මහන්සි නොවී ඔය තරම් ගොඩ නැගෙන්නත් බෑ මෙවන්..”
ඇය එසේ කියා එතැනින් ගියේ මෙවන්ගේ හිස කෙස් අවුල් කරගෙන ය.
අක්කාටත් වඩා ස්නේහයකින් තමන්ට සලකන හිමංගි සහ තමන් නිවසේ තනිව රැඳීම ගැන අම්මා පැවසූ කතා සිහි වී මෙවන්ට සුසුමක් පිට විණ.සෑම බැඳීමකට අප්‍රසන්න වර්ණ තැවරීම මොනතරම් අසෝබනදැයි ඔහු සිතුවේ ය.
හිමංගිගේ සුප් කෝප්පය අතට ගත් මන්දාරා ද පැවසුවේ මෙවන්ගේ වචනවලට සමාන වචන ය.
“ආච්චම්මගෙ ගෙදර ගියොත් මිසක් කවදාවත් මං මෙහෙම ලෙඩ සාත්තුවක් නම් විඳල නෑ.ලෙඩක් වුණු ගමන් ආච්චම්මා ගාවට දුවනව..”
හිමංගි මන්දාරාගේ අවුල් වූ හිසකෙස් පීරමින් එය අසා සිටියා ය.
“මට හිතෙන දෙයක් කියන්නද?”
මන්දාරා හිස සැලී ය.
“අර විපුලගෙ සිද්දිය නොවෙන්න ලංකා මැඩම් බිස්නස් අතින් ඒ තරම් දුරක් එන එකක් නෑ.සාමාන්‍ය විදියට ඉඳියි..”
මන්දාරා ඒ බසට පුදුම වූවා ය.අම්මා තමන්ගේ ව්‍යාපාර මත්තේ වෙහෙසෙන්නියකි.එයට මෙවැනි හේතුවක් ඇතැයි මන්දාරා සිතා තිබුණේ නැත.
“ඔයාව,සර්ව මඟ ඇරෙනකොට එයාට කරන්න වැඩක් ඕන වෙන්න ඇති.සර්ට වඩා ඉහළට යන්න හිතෙන්නත් ඇති.විපුලට ඇත්තටම ආදරේ කරානම් ඇත්තටම විරහ වේදනාවකුත් තියෙන්න ඇති..”
මන්දාරා හෙළුවේ එය නොපිළිගන්නාසුළු සිනාවකි.
“ඔය සේරම ඔහොම වෙන්න ඇති. හැබැයි එයා මටවත් තාත්තටවත් මල්ලටවත් අර මනුස්සයාටවත් ආදරේ නම් කළා වෙන්න බෑ.ඒ එයා නොදන්න වචනයක්..”
ආදරය කියන්නේ අම්මා නොදන්නා වචනයක් බව මන්දාරා සිතයි.ඇයට සෑමවිටම තිබුණේ කාගෙන් හෝ පලිගන්නට සිතිවිලි ය.ඒවාට උඩගෙඩි දෙන මිතුරියන් හා එක් වී කාට හෝ රිදවන සැලසුම් සැකසූ අම්මා ගැන මන්දාරාට යහපත් හැඟීම් ඇති වන්නේම නැත.
“අක්කා..තේජන අයියයි වජිරා ආන්ටියි ඇවිත්..”
මෙවන් කාමරයට ඔලුව දමා පණිවිඩයක් තැබුවේ ය.ඔවුන් තමා වෙත එවන්නැයි මන්දාරා පවසද්දී හිමංගි නැගී සිටියේ එතැනින් යන්නට ය.ඇයට වජිරා මහත්මිය සමඟ මුහු වීම ගැන අදහසක් තිබුණේ නැත.