සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

මා කොළඹ ගෙදරින් නික්ම එන්නට පෙර උදේ කෑමට මේසයට හිඳ ගනිත්දී, එහි කිරිබත් වූයේ ය. කිරිබත් සමග උම්බලකඩ දැමූ ලුණු මිරිසත් මාළු ඇඹුල් තියලත් මගේ ප්‍රියතම ආහාරයකි.

“මං අද යන නිසා සුජාතා කිරිබත් හදල”

අම්මා කෑම මේසයට ආවේ මා එහෙම කියන කොට ම ය.

“හැපි බර්ත් ඩේ උත්තරා. අප්පච්චි නැතුව ඔයාට උපන් දිනේ සුබ නෑ කියල මං දන්නව. ඒත් අපි කාලෙත් එක්ක අමාරුවෙන් හරි ඉස්සරහට යන්න ඕන පුතේ”

අම්මා මගේ කොපුල් සිප ගත්තා ය. වසර විසි හයකට පස්සේ මට මගේ උපන් දිනය අමතක වී තිබුණේ ය. මම ගල් ගැසී සිටියෙමි.

“අප්පච්චි නැති වුණ ගමන් බර්ත් ඩේ පාටි එකක් ගන්න ඔයා කීයටවත් කැමති වෙන්නෑ කියල මං දන්නව. මං කැමතිත් නෑ එහෙම කරන්න. ඒත් ඔයා සතුටෙන් ඉන්න ඕනෙ උත්තරා. රත්නපුරේ ගියාම නීලාට කියල හොඳ කෑමක් හදල අර සංකල්ප පුතාට විතරක් හරි එන්න කියල මේ උපන් දිනේ සමරන්න. ඔයා ඔයාව අමතක කරල දානවට මං කැමති නෑ”

අම්මා කියා ගෙන ගියා ය. රත්නපුරේ එනතුරුත් අම්මා ගේ ඒ කතාව මගේ මනසේ රැව් දෙමින් තිබිණි. නමුත් ඈ කී පරිදි කරනවාද කියා මට අදහසක් වූයේ නැත. තවම මම මේ ගැන කිසිත් නීලා ට හෝ කියා නැත්තෙමි. නමුත් සංකල්පට ඒ යෝජනාව කරන්නට මේ හොඳ ම වෙලාව බව මට දැනුණේ ය. තවත් පමා වුණොත් මා එසේ නො කර සිටිනු ඇත. එහෙම වුණොත් තවත් වසරකට ඒ මොහොත උදා කර ගත නො හැකි ය.

වසරක් තුළ මොනවා නම් සිදු වන්නට බැරි ද? එළඹෙනා වසරේ  උපන් දිනය තෙක් මා ජීවත් ව ස්ටිතැයි හෝ ස්ථිර ලෙස සිතන්නට පුළුවන් ද? ජීවිතය කියන්නේ එහෙම අභිරහසකි. එය ඊළඟ තත්පරය පවා අපෙන් සඟවා ගෙන හිඳී!

සංකල්ප කියන්නේ මා ගැන මතකය වසර විසි ගණනක් තිස්සේ පරිස්සම් කළ කෙනෙකි. ඒ වූ කලී පහසු කටයුත්තක් නොවේ. බොහෝ විට අපට මාසයකින් යමක් අමතක වී යන්නේ ය. ඉතින් වසර විසි ගණනක් කෙනෙකු ව හදවතේ තබා ගත හැකි පුද්ගලයෙකු වූ කලී සැබවින් ඒ මතකයට අසීමිත ව ප්‍රේම කරන්නෙකි. ඉරණම මා මෙතැනට කැටිව ආවේ අහඹු ලෙස ය. ඉතින් මේ අහඹුව ඔහු සමගින් බෙදා හදා ගැනීමේ යුතුකමක් මට තියේ.

නීලා ඉතා ඉක්මනින් හා දැඩි වෙහෙසකින් යුතු ය කෑම පිළියෙල කරන්න ට වූවා ය.

“අනේ සුදු බබා උදේ මට ඔය ගැන හාංකවිසියක් කිව්වෙ නෑනෙ. කිව්වනං මං නිස්කලංකෙ රසට කෑම ටික හදනවනෙ”

නීලා කිහිප වතාවක් ම කියවූවා ය. ඇය තුළ සැබෑ පසුතැවීමක් විය.

“එච්චර මහන්සි වෙන්න දෙයක් නෑ නීලම්ම. ඇත්තටම මං මේක කරන්න හිතුවෙ…අම්ම මගින් මගටම කියපු නිසා”

මා සිටියේ නීලා ට ලූනු සුද්ද කර දෙමිනි. මේ වෙලාවේ ඇස් වලට ඉනූ කඳුළ ලූනු වල සැරට උපන්නක් ම නොවේ.

“අපිට ආදරේ කරන අයට ඇහුන්කන් දෙන්න ඕන කියන එක දැන් දැන් මට හරියට හිතෙනව නීලම්ම. ජීවිතේ කියන්නෙ කොයි මොහොතෙද කියල විශ්වාස කර ගන්න බැරි දෙයක්. අන්න ඒ දේ දරා ගන්න බැරුව ගලක් වෙන්න හදපු කෙල්ලෙක් මං. ඒත් එහෙම වෙන එකෙං අපිට ආදරේ කරන අයට සැනසීමක් ලැබෙන්නෙ නෑ කියල දැන් දැන් මට තේරෙන්න අරං තියෙන්නෙ”

මගේ නහය ද බුරුල් වී තිබුණේ ය. මම උරහිසෙන් ඇස් වල තෙත මාත්තු කොට ගතිමි. ලූනු වල සැර නිසා මගේ කඳුළු ගැන ප්‍රශ්නයක් නීලා ට නැත.

“කවුරු හරි දෙයක් ඉල්ලල අපේ නොසැලකිල්ලට ඒ දේ කර ගන්න බැරි වුණොත්…ඒ කෙනාට හදිස්සියෙම අපිව දාල යන්න වුණොත්…දරා ගන්න හරි අමාරුයි නීලම්ම. අප්පච්චි මට බල කළේ නෑ ඉක්මනට මැරි කරන්න කියල. එයා එහෙම කරල තිබුණනං…මේ වෙත්දී මට ඒ ගැන හුඟක් පසු තැවිලි වෙන්න වෙයි”

මම නහය උඩට ඇද්දෙමි. නීලා මදෙස හොඳින් බැලුවා ය.

“සුදු බබාට ඕව කරන්න බෑ. තියල අයිං වෙන්නකො. මට ඕක කර ගන්න පුළුවන්”

ඇය මට වඩා වියපත්, ශරීර ශක්තිය හීන වී යමින් හිඳිනා ගැහැනියකි. නමුත් තරුණ ශක්තිය ඇති මට, ඇයට කළ හැකි දෑ කළ නො හැකිය කියා ඈ කියයි. ඈ සිතන්නේ එසේ ම විය යුතු ය. නමුත් මේ මොහොතේ මේ ලූනු ගෙඩිය පොතු ගැසීමෙන් හෝ ඇය වෙනුවෙන් යමක් කළ හැකි වීම හිත සුව පිණිස හේතු නො වනු ඇත්ද?

කෑම මේසය සරසන්නට මම බෙහෙවින් වෙහෙසුණෙමි. කෑමට විශාල පිරිසක් එන්නේ නැත. එන්නේ එක ම එක අමුත්තෙකි. නමුත් මගේ හදවතට දැනෙන්නේ ඒ එන එක පුද්ගලයා මහා සෙනඟක් සේ ය.

සංකල්ප පැමිණියේ මා තිලිණ දුන් කමිසයක් හැඳගෙන ම ය. මම ඔහු ගේ අත දෙස බැලුවෙමි. අත් ඔරලෝසුව ඒ අත බදා ගෙන සිටියේ ය. අඩිඩාස් විලවුන් සුවඳින් පපුව පුරවා ගන්නා ගමන් මම ඒ මුහුණ දෙස බැලුවෙමි. පිළිවෙලට රැවුල කපා ඔහු වඩාත් කඩවසම් ලීලාවකින් පෙනුණේ ය.

 මම දෙතොල් තෙරපා සිනහ වුණෙමි. මගේ හිතේ වයස දහසයක කෙල්ලකගේ දාංගලයක් විය. අනිත් අතට බාහිරයේ මහා සංයමයක් වන්නට ද ඇත. සංකල්ප සිනහව මට දෙන්නට ඉක්මන් වූයේ නැත.

“බලන්න සංකල්ප පුතා. සුදු බබාගෙ උපන් දිනේ අදයි කියල මේ දැන්නෙ මටත් කිව්වෙ”

ඔහු ගේ ඇස් වලට තරවටු බැල්මක් ආවේ ය.  මම ඔහු ගේ අතින් ඇද මේස පුටුවක හිඳවූයෙමි.

“නිවෙන්න ඉස්සෙල්ල කාල ඉමු. මේව ඉතිං අපේ නීලම්ම උයපුව. ඔයාගෙ චෙෆ්ල නෙවෙයි. හැබැයි ඉතිං රස වෙන්නම ඕනෙ. මොකද ලූනු සුද්ද කළේ මං…පොල් ගෑවෙ මං…කට්ලට් ගුලි කළේ මං…නේද නීලම්මා…”

නීලම්මා සිනහ වෙමින් කුස්සියට ගොස්, සුප් බඳුන ගෙනැවිත් මේසය මතින් තබා ගියා ය. මම මේසය මත තැබූ අත්ල උඩින් නිකට තබා ගතිමි.

“කන්න ඉතිං….ඔය මහත්තය තමයි මගෙ ගෙස්ට්”

මම යළිත් නැගිට ඔහු ගේ පිඟානට බත් හැන්දක් බෙදුවෙමි.

“කැරට් කැපුවෙත් මං. මේ…ඇඟිල්ලත් සීරුණා”

මම දකුණු අතේ දබරැඟිල්ල ඔහු ට පෙන්වූයෙමි. සංකල්ප නිහඬ ව ද නිසල ව ද මදෙස බලා ගත් වන ම සිටියේ ය. මම ඔහු ඉදිරියෙන් සුප් බඳුනක් තැබුවෙමි.

“මට විශ් කරන්නෙවත් නැද්ද ඉතිං…”

ඔහු නිහඬ ව සුප් ටිකක් බී බත් කන්නට පටන් ගත්තේ ය. මම ඒ හිතුවක්කාර කම දෙස බලා ගෙන ම හිඳ මගේ පතට බත් හැන්දක් බෙදා ගතිමි.

මේ අප්පච්චි නැතිව බත් කටක් කන පළමු උපන් දිනය ය. උදේ අම්මා කිරි බත් කටක් කැවූ නිසා මට හිත සනසා ගත හැකි විය.

“අප්පච්චි ඉද්දි හැම බර්ත් ඩේ එකේදිම ඉස්සෙල්ලම බත් කට කැව්වෙ එයා”

සිනා සී කීවත් මගේ හඬ මට දැනුණේ ඉකිළුමක් සේ ය. අප්පච්චි කෙනෙක් නැති වී ගිය දුක දුවක ගේ සිතින් කවදාවත් සෝදා හළ නොහැකි ය. ඒ කඳුළු ඇගේ නෙතින් කිසි දා පිස නිම කළ නො හැකි ය.

මුව ළඟට බත් පිඬක් ගෙන ගිය සංකල්ප ගේ අත නැවත පිඟාන මතට වැටිණ. ඔහු ඒ බත් පිඬට තවත් අඩු වැඩිය එක් කරමින්, අප්පච්චි සේ ම කලබලයෙන් ඇනුවේ ය. අනා මගේ මුව වෙත එය ලං කළේ ය. ඔහු ගේ අතේ මැණික් කටුව ළඟින් අල්ලා ගෙන ම මම ඒ බත් පිඬ මගේ මුවට ගතිමි. ඇස් දෙකෙන් කඳුළු අහුරු දෙකක් ගිලිහුණේ ය.

“උත්…තරා…”

සංකල්ප බෝ වෙලාවකට පස්සේ නිහඬතාව බිඳිමින් ම ඒ කඳුළ සිය අතැඟිල්ලකින් දොවා හළේ ය. මම දෙතොල් තෙරපා සිනහ වීමි.

“කන්න. ඔන්න ගොඩක් කන්නඕන හොඳේ. මේ ඔක්කොම හැදුවෙ ඔයාට”

මම යළි යළිත් ඔහු ගේ බත් පතට මාළු පිණි පිරවීමි. මගේ වදයෙන් බේරෙන්නට බැරි ව අමාරුවෙන් ඒවා ගිල දැමූ ඔහු අන්තිමට මේසයෙන් නැගිට ගත්තේ ය.

“හම්මෝ…මට නිකං ඉස්මුරුත්තාව වගේ”

අතුරුපස ගෙන එන්නට පෙර ඔහු මිදුලට බැස තිබිණි. මම බන්දේසියත් ගෙන ඔහු සොයා ගියෙමි. සංකල්ප සුදු කැටයම් බංකුව ආසන්නයේ සක්මන් කරමින් සිටියේ ය.

“අම්මෝ මටනං තව මුකුත් කන්න බෑ”

මා දුටු ගමන් ඔහු දෑතින් හිස බැඳ ගත්තේ ය. මම සිනා සිසී ගොස් යළිත් බන්දේසිය නීලා අතට දී ආවෙමි. එතකොට ඔහු සිටියේ බංකුවේ හිඳ ගෙන ය. මම එහි අනිත් කොනේ හිඳ ගතිමි.

“ඔයාට ගොඩක් ගොඩක් තෑන්ක් යූ සංකල්ප”

මට සුසුමක් හෙළුණ තරම ය. ඔහු මගේ මුහුණ දෙස හැරී බැලුවේ ය. ආසන්නයේ වන පහන් කණුවක දැල්වෙන කහ පාට විදුලි බල්බයක එළිය, ඔහු ගේ කොපුලක් මත සඳ එළිය සේ වැටී තිබෙනවා මට පෙනිණි.

“මේක අමතක වෙලා යන්න තිබුණ දවසක්. ඒ සාමාන්‍ය දවස විශේෂ එකක් කළේ…මතක හිටින එකක් කළේ ඔයා”

“අද ඔයාගෙ බර්ත් ඩේ එක කියල මං දැනං හිටියෙ නෑ”

“මට මතක් වුණෙත් උදේ. අම්ම සුජාතාට කියල කිරිබත් හදවල තිබුණා. ජීවිතේ අද වෙද්දි අමුතු තැනකට මාව අරං ඇවිත් සංකල්ප…අප්පච්චි නැති පළවෙනි උපන් දිනේ”

“මට තේරෙනව. ලබන අවුරුද්දෙ ලොකු බර්ත් ඩේ පාටි එකක් ගන්න පුළුවන් විදිහට ඔයාගෙ හිත හැදිල තියෙයි”

“මට එහෙම දුකක් නෑ සංකල්ප. සිය ගණනක් එක්ක සෙලිබ්‍රේට් කරපු බර්ත් ඩේ පාටීස් වලට වඩා…ඔයත් එක්ක තනියම කෑම ටිකක් කාපු මේ දවස මට මතක තියෙයි. මං මේ දවසට කැමතියි”

අප්පච්චි නැති වී ගිය දුක ගැන දිගින් දිගට ම කතා කොට කිසිත් වෙනස් කළ නො හැකි නිසා මම ඒ දුක හිත ඇතුළේ ම හිර කර ගතිමි. අම්මා කියනවා සේ ජීවිතයට මූණ දිය යුතු ය. මේ මහා විශ්වයේ මටත් සොබා දහම විසින් යම් කිසි ඉඩක් සලසා දී තිබේ. සොබා දහම තුරුලට ම යළි මා කැඳවා ගන්නා තුරු මා මෙහි සැරිසැරිය යුතු ය.

සංකල්ප මගේ අත්ලෙන් අල්ලා එය ඔහු ගේ කකුල මතට ගත්තේ ය. ඇතුළාන්තයේ තිගැස්මක් ඇති වුණත් මම නිසල ව සිටියෙමි. ඔහු මගේ අත මතින් කුඩා මංජුසාවක් තැබුවේ ය. මම ඒ මුහුණ දෙස බැලුවෙමි.

“බලන්න ඔයා කැමතිද කියල…”

මම එය විවර කොට බැලුවෙමි. සුදු මුතු ඇටයක් බහා ලූ ඉතා චාම් ලෙස නිමැවූ කුඩා මුද්දක් එහි විය.

“ලස්සන…”

මට කියවිණ.

“ඔයාගෙ බර්ත් ඩේ එක කියල මං දැනං හිටියෙ නෑ”

මම ඒ මුදුව ගෙන මගේ වම් අතේ මුදු ඇඟිල්ලට දමන්නට ගියෙමි. නමුත් සංකල්ප ඒ වලකන්නට හැදුවේ ය.

“ඔය ඇඟිල්ලට දාන්නෙ වෙඩින් රිං එක”

“කමක් නෑ..ලස්සනද…”

මම එය පැළඳ ගෙන ඔහු ගේ දෑස් ඉදිර්යේ වමත දිග හැර ගතිමි. සංකල්ප ඉතා සියුම් ලෙස ඒ අතැඟිලි සිම්බේ ය.  මගේ හදවත මහා ප්‍රීතියකින් පිරී ගොස් ඇති බවක් මට දැනුණි. එය නිවීමට බෙහෙවින් ළඟ දැනීමක් සේ සිතිය හැක. මම හෙමිහිට බංකුව මතින් නැගිට ගෙන අඩියක් දෙකක් ඇවිද ගියෙමි. රැහැයි නාදය සංගීතයක් සේ හතර අතින් ම නැගුණේ ය.

“සින්දුවක් කියන්නකො”

ආපසු හැරී ඔහු දෙස බලන කොටත් සංකල්ප බංකුව මතින් නැගිට සිටියේ ය. ඉතා හෙමිහිට මවෙත ආ ඔහු,  මුදු ලෙස මගේ වටා දෑත් දමා මා ළඟට ගත්තේ ය. පුළුන් රොදක සැහැල්ලුවෙන් මම ඔහු වෙතට පා වී ආවෙමි.

“මං මේ රිං එක ගලවන්නෑ”

මගේ උගුර යටින් ඉතාමත් හෙමිහිට ඒ වචන ටික ගිලිහී ගියේ ය. මා ඔහු ගේ උණුහුම් පපුවත් ශක්තිමත් දෑතත් අතරේ තද වී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content