ළපෙති මල් – 30

“හිමංගි මන්දාරාව හොඳට බලා ගන්න පාටයි..”

තේජනගේ අම්මා වජිරා වීරරත්න මහත්මිය හිමංගිට පැවසුවේ සුහද සිනාවකිනි.හිමංගි ඇයට පෙරළා හිනැහුණා ය.අතීතයේ ඇයට ‘ආන්ටි’ ලෙස ඇමතූ බව හිමංගිට සිහි විණ.නමුත් තවදුරටත් එසේ පවසන්නට නොහැක.ඇය එනිසා ආමන්ත්‍රණයක් නොමැතිව “වාඩි වෙන්නැයි” පැවසුවා ය.
අනතුරුව නැන්දණියට හා ලේලියට ඉඩ දී පහත මාලයට ආවා ය.

“මොනවද පුතේ බොන්නේ?”

වජිරා මන්දාරාගේ හිස අතාගාගෙන ඇය අසලින් හිඳ ගත්තා ය.මන්දාරා හිමංගි සුප් පිළියෙල කළ බව පැවසුවේ ආදරයෙනි.

“හිමංගි මහන්සි වෙලා ඔයාලව බලා ගන්නව නේද?”

ඒ විවාහය ගැන තේජන සමඟ අපුලෙන් කතා කළ අන්දම අමතක කළ වජිරා මන්දාරාගෙන් විමසුවා ය.

“ජයන්තිත් නෑනෙ.තරහ වෙලා අම්මා ළඟට ගිහින්..”

මන්දාරා කියන්නේ හිනැහෙමිනි.

“මං ඔයාව සිරිමා ආන්ටි ගාවට ඇරලවන්න ඕනද බලන්නයි ආවෙත්.ඔයා බලා ගන්න හිමංගි ඉන්නවනෙ..”

වජිරා කියන්නේ සන්සුන් ස්වරයෙනි.මන්දාරා මේ විවාහයට අකමැති බවත් ඇය ඒ නිසා බොහෝ මානසික පීඩා විඳින බවත් පවසන්නට ලංකා ඇය ඇමතූ අයුරු වජිරාට සිහි විණ.

“මට තියන බය ඔයාලා මන්දිගෙ වෙඩින් එක නොකරයි කියලා..”

ලංකා කතා කළේ මවාගත් ශෝකි ස්වරයකින් බව වජිරාට නොදැනුණා නොවේ.නමුත් ඇය කිසිවක්ම නොපවසා ඉන්නට උත්සාහ කළා ය.ඉන් ලංකා වඩා උද්දාමයට පත් වූ අතර දිගින් දිගටම ඇගේ මතය තහවුරු කරන්නට උත්සාහ ගත්තා ය.

“ඇත්තටම මේක ඔයාලට ලැජ්ජාවක් කියල මං පිළිගන්නව.ඒත් මන්දි ගැන මට දුකයි..”

ඉතා පහත් අන්දමින් තම දික්කසාද සැමියාට අපහාස කරන්නට උත්සාහ කරන ලංකා ගැන වජිරාට ඇති වූයේ අප්‍රසාදයකි.

“එහෙම අපිට ගැටලුවක් නෑ ලංකා.ඇත්තටම ඉතිං අපිට රහල්ගෙ පෞද්ගලික ප්‍රශ්න වැඩක් නෑනෙ.අනික ඒක නීත්‍යානුකූල කසාදයක් නිසා අපිට ලැජ්ජාවකුත් නෑ.අපේ ගෙදර දේවල්වත් ඔයාගෙයි රහල්ගෙයි දේවල්වත් මන්දාරටයි අපේ පුතාටයි වැඩක් නෑනෙ.එයාලගෙ ජීවිතේ එකට ගෙනියන්න වැදගත් එයාලගෙ ආදරේ..”

වජිරා එසේ කියා ඒ ඇමතුම නිමා කළා ය.හිමංගි ද මන්දාරා ද බොහෝ සමගියෙන් හිඳින බවත් බමුණුසිංහ නිවසේ කිසිම සිත් පීඩාවක් හෝ ගැටුමක් නැති බවත් ඇයට තේජන පවසා ටික දිනකි.එය සත්‍යයක් බව වජිරාට ද නොපෙනෙනවා නොවේ.

“රහල්ට ගැලපෙන්නේ ඒ හිමංගි තමයි.ඔයාගෙ වයසෙ ළමයෙක් වෙච්ච එක මිසක් මට නම් වෙන ගැටලුවක් නෑ.දුව කියවෙන්න එන එක තමයි ප්‍රශ්නෙ.”

මන්දාරාගේ නිවසෙන් සමු ගෙන එන අතර වජිරා පුතුට පැවසුවා ය.රහල් සම්ප්‍රදායට විරුද්ධ දෙයක් කළ ද ඒ නීත්‍යානුකූලව නිසා එහි හාරාවුස්සා බලන්නට දෙයක් නැතැයි ඇය අනතුරුව සිතුවා ය.

වජිරා, සිරිමා තරමේ මානසික මට්ටමක නොසිටි ලංකා මේ මොහොතේ පවා සිටියේ හිමංගිගේ විවාහ ජීවිතය විනාශ කර දමන සැලසුමක ය.

“බිනරි වගේම මෙයත් පාඩමක් ඉගෙන ගන්න වෙනවා..”

ඇය එසේ කීවේ හිමාලි සමඟ ය.හිමාලි එයට එකඟ වන අන්දමේ සිනාවක් පෑවා ය.

“නැත්නම් ඉතින් එකපාරටම දෙයක් කරලා දානව..”

පස්විසි වසරකට පෙර ඉටු කරන්නට නොහැකි වූ දේ ඉටු කර දැමීමේ නොතිත් ආශාවෙන් පසුවන හිමාලි පැවසී ය.

“ඔයා දන්නවද අර සුනෙත්ව..අපේ පරණ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්.ඉස්සර හරියට ඇක්ට් කරා.ඇයි අනේ ඔයා එක්කත් ඩ්‍රාමා එකක හිටියා..”

ලංකා පැවසුවේ හදිසියේ සිහි වූ යමකි.ඉතා කලබලයට පත් වූ නමුත් හිමාලි සාමාන්‍ය වන්නට උත්සාහ කළා ය.

“යන්තම් මතකයි ඇයි?”

ජීවිතයේ වඩා හොඳින් දන්නා මිනිසෙකු ගැන එසේ පැවසූ ඈ ලංකාගේ කතාව අසා සිටියා ය.

“මිනිහා ආපහු ඇවිල්ලා.රහල්ලගෙ ගෙදර නිතර යන එනවලු.බිනරිට වගේම දෙයක් හිමංගිටත් කරෑකි.මං ඉස්සරල හිතුවෙ කම්පැනි එකේ කොල්ලෙක් මාට්ටු කරන්න.ඒත් ඒකට වඩා මේක සාර්ථකයි..”

ලංකා අලුත් සැලසුමක් සැකසුවා ය.එහෙත් සුනෙත්ගේ ආගමනය සහ ඔහු සහ හිමංගි මුණ ගැසීම ගැන හිමාලිට මතු වූයේ බියකි.ඒ විය යුතු දෙයක් නොවන බව ඇය දැන සිටියා ය.

“ඒ මිනිහත් නාකියිනෙ..ඔයා කරන්න ඕන ඔය හිමංගිට කොල්ලෙක් පටලෝන එක..”

ඇය වහා එසේ පැවසුවා ය.

“හිමංගි රහල්ට ආදරේ කරේ හරි ළං වුණේ හරි මොකක්ම හරි හේතුවකටනම් ඒ හේතුව කොල්ලො ගාව තියෙන්න බෑ.මට හිතෙනව සුනෙත් ආපහු ඇවිත් ඉන්නෙ මගෙ වෙලාවට.ආපහු මන්දිගෙ වුණත් හිත කඩල දාන්න මේක තමයි චාන්ස් එක..”

ලංකා කියන්නේ ඇගේ තීරණය සනාථ කරන්නට ය.නමුත් සුනෙත් මෙයට පැටලීම ගැන හිමංගිට දැනෙන්නේ තදබල බියකි.

“සුනෙත් මහ වාතයක්නෙ.ඔය මිනිහා ඉන්නෙත් මහණ වෙලා වගේ.මන්දිලා ඒක විශ්වාස කරන එකක් නෑ..”

හිමාලි එසේ පැවසුවා ය.ඉන් අනතුරුව තවත් කළ හැකි යමක් තිබේදැයි සිතා බැලුවා ය.දරුවා අවශ්‍ය බව පවසමින් බැගෑපත් වූ මිනිසා වසර විසි පහකට පසු ඇය හඳුනාගතහොත් තත්ත්වය පහසු නොවන බව හිමාලි දන්නී ය.ඇයට ඒ හමුවීම සිදු කරන්නට ඕනෑ නැත.

“කොල්ලෙක් ඔය වැඩේට දාගත්තනම් තමයි රහල්ට රිදෙන්නේ..”

ඇය නැවත වතාවක් ලංකාට අවධාරණය කළා ය.සියල්ලටම වඩා සුනෙත්ගෙන් සැඟවී ජීවත් වන්නට තමාට ද සිදුවන බව ඇය ඉනික්බිතිව සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles