ළපෙති මල් -33

නොනවත්වා නාද වන දුරකථනය අතට ගත් සුනෙත් ඒ ඉම හිඳින්නේ මන්දාරා බව හැඳින්නේ ය.ඔහු කලබල වූයේ මැදියම ළඟා වෙමින් පැවති නිසා ය.රහල් හදිසි රෝගී තත්ත්වයකදැයි සැකයෙන් ඔහු වහා දුරකථනය ඇමතී ය.

“අංකල් නිදි නේද?”

මන්දාරා අසන්නේ සමාව අයදින හඬකිනි.

“නෑ පුතා! මම පොතක් කියව කියව හිටියේ.ඇයි මේ රෑ?”

මන්දාරා තමන් හිඳින්නේ හිමංගිගේ ගම්මානයේ වග හෙළි කළා ය.හිමංගිට මව පියා නැති බවත් ඇගේ සමීපතම ඥාතිවරිය මිය ගිය වගත් හෙළි කළ මන්දාරා අනතුරුව මඳක් නිහඬ වූවා ය.

“අංකල්..මට උදව්වක් ඉල්ලන්න තියනව හිමා සම්බන්ධයෙන්.මේක තාත්තිට නොකියා ඉන්න පුලුවන්ද?”

මන්දාරා අයැදුවා ය.ඉල්ලා සිටින උදව්ව ගැන නොවැටහුණත් සුනෙත් මන්දාරාට එකඟ වූයේ ය.

“අපේ අම්මා හිමාගෙ පේරන්ට්ස්ලා ගැන හොයනව.එයා හිතන්නෙ හිමාට රිද්දන්න පුලුවන් හොඳම ක්‍රමයක් කියලා ඒක..ඒත් අංකල් ඊට කලින් අපි ඒ ගැන හොයන්න හිතුවා.”

මන්දාරා එසේ කියද්දීහිමංගි මව පියා මිය ගිය දැරියක නොවේදැයි සුනෙත් විමසී ය.පියා අහිමි දියණියක ලෙස පමණක් හිමංගි ඈ හඳුන්වා දී ඇති වගත් ඇගේ පියා තබා මව ගැනවත් ඇය හාංකවිසියක් නොදන්නා වගත් මන්දාරා ඉනික්බිති හෙළි කළා ය.

“පුතාට මගෙන් වෙන්න ඕන උදව්ව? එයාලා කැනඩාවල ඉන්නව වගේ ආරංචියක් ආවද?”

සුනෙත් ඇසී ය.

“නැහැ අංකල්..මට මේ හිමාගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මැඩම් කියනව හිමාගෙ අම්මා ඉස්සර ඇක්ට්‍රස් කෙනෙක්ලු.හිමා ඉපදුණාට පස්සෙ රඟපාලා නෑ..”

සුනෙත් සසැලෙන්නට විය.ඔහුට කම්පිත වන්නට ඉඩ නොතබාම මන්දාරා කියවාගෙන ගියා ය.

“අංකල් දන්නවද හිමාලි කියලා කෙනෙක්.දැන් රඟපාන්නෑලු.ඇත්තටම නම් එයාගෙ නම හේමලතාලු අංකල්.”

මන්දාරා විශාල පොල්ලකින් තමන්ගේ හිසට පහර දුන්නා නම් මීට වඩා අගනා වග සිතූ සුනෙත් නළල මිරිකා ගනිමින් මඳ වෙලාවක් සිටියේ ය.ඔහු එවැන්නියක සිහි කරන්නට වෙහෙසෙන බවක් සිතූ මන්දාරා සුනෙත්ට සුබ රාත්‍රියක් පතා නින්දට වැටුණා ය.

නමුත් සුනෙත්ට රාත්‍රිය දිගු විය.හිමංගි මුලින්ම දුටු මොහොතේ ඈ බොහෝ කාලයක් දන්නා හඳුනන වග හදවත කී අන්දම ඔහුට සිහි විණ.මේ ඇය ය.
මේ ලෝකයට බිහි වෙන්නට නොදී විනාශ කර දැමූ බවට හිමාලි පාරම් බෑවේ ඇය ගැන ය.සුනෙත් හුන්නේ වෙව්ලමිනි.විසි පස් වසරකට පෙර දියණියකදැයි පුතෙකුදැයි නොදැනම ජීවත් වීමේ වරම අහිමි කරගත් දරුවා නිසා ඔහු විවාහය පවා ප්‍රතික්ෂේප කර දැමී ය.

“හිමාලිට දරුවා නැති කරන්න අයිතියක් තියනව සුනෙත්.ඒ දරුවා හැදෙන්නෙ එයාගෙ ඇඟේනෙ.එයාට ඒ දරුව අනවශ්‍යයි කියල හිතෙනව නම් එයා ඒ දරුවට ඉපදෙන්න නොදුන්නු එක සාධාරණයි කියල මම හිතන්නෙ..”

සුනෙත්ගේ සදාකාලික විඳවීම ගැන දැනගත් දවසක ඔහුගේ කැනේඩියානු මිතුරෙකු එසේ පැවසී ය.නමුත් තමන් හිමාලිට ඒ දරුවා උපද්දා තමන් වෙත දෙන්නට මිස දරුවා වෙනුවෙන් කැපවන්නට කීවේ නැති බව සුනෙත් සිතී ය.
හිමාලි ලංකාගේ ළඟම මිතුරියකි.ඇයට හිමංගිගේ නම සහ පළාත ගැන හෝ ගැටලුවක් නොවන්නේදැයි සුනෙත්ට ඇත්තේ මහා පුදුමයකි.ඇය හිමංගි ගැන නොදැන හිඳීමට ඇති ඉඩ අල්ප ය.විය නොහැකි තරම් ය.

“වයසට වඩා හරි පරිණතව හිතන්න හිමාට පුලුවන්.”

රහල් ඇය බිරිඳ කරගන්නට බලපෑ හේතුව ලෙස පැවසුවේ එය ය.එසේ නම් ඈ තමන්ගේ ගතිගුණ එකමිටට ගෙන උපදින්නට ඇතැයි සුනෙත් සිතුවේ වේදනා පලවා හරිමිනි.තමන්ගේ පාසල් මිතුරා තමන්ගේ එකම බෑනා වගට පත් වීම
ඔහුට ගැටලුවක් නොවේ.නමුත් ඔහුට මේ මොහොතේම හිමංගිව වැරෙන් තුරුළු කරගන්නටත් පස්විසි වසක්ම මඟ හැරුණු ආදරය දෙන්නටත් තදබල ඕනෑකමක් හට ගත්තේ ය.

“මට හරි බයයි අංකල්.හිමා ගැන මොකක්හරි ඇත්තක් හොයාගෙන අම්මලා ඒක එයාව තාත්තගෙන් ඈත් කරන්න යූස් කරයි කියල.”

මන්දාරා කැළඹුණේ එසේ සිතා ය.නමුත් මේ ඇත්ත දන්නේ නම් හිමංගි පලවා හැරීම වෙනුවට රහල් තවතවත් ඇයට බැඳෙන බවට සුනෙත්ට සැක නැත.නමුත් මේ කාරණාව දරා ගන්නට අසීරු වන්නේ හිමංගිට බව සුනෙත් සිතී ය.

“හරි පුරුදු නමක්.”

හිමංගිට එසේ කී අන්දම ඔහුට සිහි විණ.දියණියක උපදින බව සහතික කරමින් ඇයට හිමංගි ලෙස නම් තබන්නට තමන් සිහින දකිද්දී හිමාලි වියරු ලෙස හිනැහුණු අන්දම සුනෙත්ගේ දෑස් මත මැවී පෙනෙයි.

“මගෙ අම්මා මන්තර ගුරුකං දන්නව.බෙහෙතුත් දන්නව.මං ගමට ගිහිං මේ සාපෙ නැති කරගන්නව..”

ඇය පිළිණ දුන්නේ එසේ ය.නව මසකට විවේකයක් ගන්නටත් අනතුරුව ඇයට ඕනෑතරමට සිහින හඹා යන්නටත් තමන් සිහි කරද්දී පවා ඇය දරුවා නැති කර ගන්නා බව පැවසුවා ය.ඉනික්බිති අතුරුදහන් වූවා ය.නමුත් ඒ දැරිය ඉපදී ඇත.

හිමංගි නොලැබූ පිය සෙනෙහසින් වහවහා ඇය නැහැවීමට උවමනාවකින් සුනෙත්ගේ හදවත පිරී යන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles