ළපෙති මල් -34

“මට පුංචි බලාපොරොත්තුවක් තිබුණ කිරියම්මා අන්තිම වතාවට බලන්න අම්මා එයි කියලත්..”

මානසිකව ද ශාරීරිකව ද වෙහෙසකර දින දෙකකට පසු නිවසට ආ හිමංගි රහල් සමඟ පැවසී ය.ඔහු කිසිත් නොකියා ඇගේ හිස පිරි මැද්දේ ය.

“ඒ ගැන මට තිබ්බ අන්තිම බලාපොරොත්තුව ඒ.ආයේ මට එයාව දකින්න නැති බව මම දන්නවා..”

ඇගේ නෙත් අගින් ගලා ගිය කඳුල ශෝකය නිසා උපන්නක්දැයි ආත්මානුකම්පාවකින් උපන්නක්දැයි සිතමින් රහල් කිසිත් නොකියා සිටියේ ය.
එහෙත් හිමංගිට හඬන්නට ඉඩ හරින්නට ඔහුට සිත් වූයේ නැත.

“ඔයාගෙ අම්මා ජීවතුන් අතර ඉන්නවනෙ හිමා.ලෝකෙ කොහේහරි ඉන්නවා.එයාගේ ඒ ජීවිතේට ඔයා කියල කෙනෙක් ඉන්න එක වගේම ඔයාගෙ ගමත් ගැටලුවක් වෙන්න පුලුවන්.අන්න එතකොට එයා කරන්න ඕන ඒ පරිසරෙන් හැංගෙන එක..”

රහල් පැවසුවේ හිමංගිගේ හිත හදන්නට නොවේ.එය ඔහුට වැටහෙන යථාර්ථය ය.හිමංගිට නුදුටු අම්මා දැක ගන්නට ඇති සැබෑ ආශාව තරමටම ඇගේ අම්මාට ද තම මෑණියන්ගේ අවසන් මොහොතට එන්නට උවමනා වන්නට ඇත.එහෙත් ඇය අත් හැර දමන ලෝකය අතැර දමන්නට ඒ නොදන්නා ගැහැනිය සිත එකඟ කරගන්නට ඇතැයි රහල් හිමංගිට වටහා දුන්නා ය.

“මට කිරියම්මා නැති වුණාට දුක නෑ.මං එහෙම දුකකින් නොයින්න එක වරදක්ද සර්? එයා මට ගහපු බැනපුව විතරමයි මගෙ මතකෙ තියෙන්නෙ.ආදරෙන් කතා කරපු දවසක් මතකෙ නෑ.කන්න බොන්න නොදී ඉඳපු හැටි මට තාම මතක් වෙනවා..”

හිමංගි හිටිහැටියේ ඉකිලන්නට ගත්තා ය.රහල් ඇයව ප්‍රවේසමෙන් තුරුලට ගත්තේ ය.හිමංගිගේ මතක අවදි වන විට ඇය පාලනය කර ගැනීම අපහසු බව ඔහු නොදන්නවා නොවේ.

“මිනිස්සු අතර ලේ බැඳීම් තිබ්බ කියලම ඒ මිනිස්සු අපිට ඉතාම සමීප වෙන්න උවමනා නෑ හිමා.ගොඩක් අය මරණ ගෙවල්වල අඬන්නේ චාරිත්‍රෙට.මගෙ අප්පච්චි නැති වුණු මොහොතේ අම්මා එක කඳුලක් හෙළුවේ නෑ.අප්පච්චි නැති වුණේ කැන්සර් එකකින්.එයා අමාරුවෙන් ඉන්නකොට අම්මා එයාගෙ මරණෙ ප්‍රාර්ථනා කළා.ඒ නිසා අප්පච්චිගෙ මරණෙ අම්මට සැනසීමක් වුණා.එහෙම වෙන්නත් පුලුවන්.ඔයාට වගේ හදවතට වේදනාවක් නොදැනුණු හින්දා නාඬන්නත් පුලුවන්.ඒවා අපේ තෝරා ගැනීම්..”

රහල් ඇයට පහදා දුන්නේ ය.කුඩා කාලයේ පටන් තමන්ට අප්‍රමාණ ලෙස වද හිංසා කළ ගැහැනිය නික්ම යාම තමන්ට කුමක්දෝ සැනසීමක් අත් කර ඇති බව හිමංගි රහල්ට පැවසී ය.ඇයට එවැන්නක් පවා ඔහු හා කියන්නට තරම් නිදහසක් දැනෙයි.ඔහු තමා විනිශ්චය නොකරන බව ඇය දනියි.

“එයාගෙ දුවගෙ ජීවිතේ උඩියටිකුරු වෙන්න ඔයා හේතුවක් වුණානෙ හිමා.ඒ මනුස්සයා නූගත් ගැමි ගෑනු කෙනෙක්.ඔයාට වෛර කිරීම මිසක් වෙන තෝරා ගැනීමක් එයාට නොතියෙන්න ඇති.ඔයා ඒ අතීතෙන් මිදෙන්න..”

රහල්ගේ හඬ අතිශය දයාබරිත ය.හිමංගි කඳුළු පිරි දෑස් ඔසවා ඔහු දෙස බැලී ය.

“මට ඒ කාත් එක්කවත් ඇත්තටම තරහක් නෑ සර්.මට කේන්ති මගෙ තාත්තා කියන මනුස්සයා එක්ක.ඒ මනුස්සය නිසා කිරියම්මයි අම්මයි මායි තුන්දෙනාම දුක් වින්දා.ඒ මනුස්සයා කොහෙහරි සතුටින් ඇති.කිරියම්මා දුක් විඳල මැරිලා ගියා.අම්මා තාම විඳවනව ඇති.මමත් සර්ව,මන්දිව මුණ ගැහෙනකම්ම විඳෙව්ව..”

හිමංගිගේ හඬෙහි කළකිරීම පිරී තිබිණ.රහල් ඇයට කිසිවක්ම පැවසුවේ නැත.නොදන්නා තාත්තා ගැන කලකිරුණු සිතුවිලි රාශියකින් පිරී ගත් හිමංගි කල්පනාවට වැටුණා ය.

එහෙත් ඒ තාත්තා සිටියේ වේදනාවෙන් ය.අර්ධ සතුටකින් ය.සතුට නොඉපදෙන්නට ඇතැයි ඔහු සිතා හුන් දියණිය මලක් සේ වැඩී හිඳින බව දන්නා නිසා ය.වේදනාවට හේතුව මන්දාරා කියන අන්දමට හිමංගි බොහෝ වේදනා ඉසිලූ දැරියක වීම ය.අනෙක් කාරණාව ඈ තමන්ගේ දියණිය බව හෙළි කිරීම සිතනා තරමට පහසු නොවීම ය.

සුනෙත්ට හිමාලි වෙත යන්නට සිත් විණ.හිමංගිට මියෙන්නට ඉඩ නොදුන්නාට ස්තූති කරන්නට ද ඇයට පාඩුවේ හිඳින්නට දෙන්නැයි ලංකාට පවසන මෙන් බල කරන්නට ද ඕනෑ විය.එහෙත් හිමාලි වැනි ගැහැනියක එවැනි දෑ පිළිගන්නට තරම් විසල් හිතක් නැති ගැහැනියක බව ඔහු දනියි.

“අම්මයි අම්මගෙ යාලුවොයි හිමාට මොකක්ම හරි කරදරයක් කරයි කියල මට බයයි අංකල්..”

මන්දාරා පැවසූ අන්දම ඔහුට සිහි වේ.අතැර දැමූ දියණිය මිතුරියගේ පිළිමලෙකු වී මතු වීමෙන් පසු ඇය නැවත විනාශ කරන උත්සාහයක හිමාලි හිඳිනවා වන්නට ද බැරිකමක් නැත.ඇය ඒ අන්දමේ ගැහැනියක බව සුනෙත් දනියි.
සියල්ල රහල් සමඟ හෙළි කරන්නට ඔහුට නොසිතෙනවා නොවේ.එහෙත් ඔහුගේ බිරිඳ තමන්ගේ දියණිය බව කියන්නට සුනෙත්ට හිත හදා ගැනීමට අසීරු ය.

“ඔයා අහන ලේඩි ගැන මට මතකයක් තියනව දූ.එයා මැරි කරලා ලංකාවෙන් ගියා මම හිතන්නෙ.අපි ටිකක් හොයලා බලමු..”

හිමාලි ගැන යළි විමසූ මන්දාරාට සුනෙත් එවැනි පිළිතුරක් ලබා දුන්නේ ය.තමන් ඒ ගැන සොයන හන්දා මන්දාරා ඒ ගැන සෙවීමට උත්සුක නොවන බව සුනෙත්ට විශ්වාස ය.ඔවුන් හිමාලි ගැන සොයා ගන්නට පෙර මේ සම්බන්ධයෙන් කඩිනමින් යමක් කරන්නට සුනෙත් සිතුවේ ය.හිමාලි දරු සෙනෙහසකින් හිමංගි වැලඳ ගන්නවා දකින්නට තරම් තමන්ගේ දෑස් පින් කරන්නේ නැති බව ඔහු දැන සිටියේ ය.

කළ යුතු හොඳම දේ කරන්නට ඔහු මෝටර් රථය පණ ගන්වා ගත්තේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles