මතක දිගහැරුම 60 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැටවන දිගහැරුම ,

මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින මා ගුවන් ගමන්වල නිරත වීම අවදානම් සහගත බැවින් ඒ පිළිබඳව මා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු විය.ඔහුගෙන් මේ පිළිබඳව විමසුවහොත් අනිවාර්යයෙන්ම ඔහු එයට විරෝධය දක්වන බව මා දැන සිටියෙමි.නමුත් ලෝක කුසලාන අවසාන තරගාවලිය නැරඹීම සඳහා යාමට මා තුළ ද දැඩි උනන්දුවක් තිබුණු නිසා කෙසේ හෝ එය නැරඹීමට යාමට මට උවමනා විය .ගුවන් සේවිකාවක් ලෙස අවුරුදු ගණනාවක් සේවය කළ මා හට ගුවන් ගමන් ගමන්වල නිරත වීම අලුත් අත්දැකීමක් නොවන නිසාත් , එය මගේ ශරීරයට පවා අලුත් දෙයක් නොවන නිසාත් මා හට ඒ අවස්ථාවේදී එතරම් බියක් නොදැනුනි.

ඉන් පසුව මා ලෝක කුසලාන අවසාන තරගාවලිය නැරඹීම යාම සඳහා ටිකට්පතක් වෙන්කරවා ගැනීමට සූදානම් වූයෙමි.ඒ සඳහා මා චන්න විජේමාන්න අමතා මා හට ටිකට් පතක් වෙන් කරවා දෙන ලෙස ඉල්ලීමක් කළෙමි.ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා යන අය වෙනුවෙන් යෙදවූ විශේෂ ගුවන් ගමන් වාරයේ ආසනයක් වෙන්කරවා දීමට ඒ අවස්ථාවේ දී ඔහු මට පොරොන්දු විය.

රොමේශ් කලුවිතාරණ ගේ බිරිද , අර්ජුන රණතුංග ගේ බිරිඳවූ අපට කවදත් හිතවත් සමදරා අක්කා ඇතුළු කිහිප දෙනෙක්ම අවසාන තරගාවලිය නැරඹීම සඳහා යාමට සූදානම් විය.පසුදින උදෑසන අප සියලු දෙනාම පකිස්තානය බලා යාම සදහා ගුවන් තොටුපොළ වෙත ගියෙමු.එය ලෝක කුසලානය නැරඹීමට යන අය සඳහාම වෙන්වූ ගුවන් ගමන් වාරයක් වූ බැවින් ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් ගුවන් තොටුපළෙහි එහි සිටියහ.බහුතරයක් දෙනා අත සිංහ ධජය තිබූ අතර ඔවුන් හැම දෙනා තුළම මහත් වූ උද්යෝගයක් දක්නට තිබුණි.එකල ක්‍රිකට් වලට අවංකවම ආදරය කළ බොහෝ පිරිසක් සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සඳහා යන පිට රටවල් වලට යාමට පවා අතිශයින්ම උනන්දුවක් දැක්විය.ඇතැම් අයට ක්‍රිකට් යනු තමන්ගේ ආගම බඳු වූ අතර සෑම ක්‍රිකට් තරගයක දී ම අපට මුණගැසෙන ප්‍රේක්ෂකයන් පවා සිටියහ.ඒ ආකාරයෙන් අපට නිතර හුරු පුරුදු පිරිසක් එදින පාකිස්තානය බලා යාමේ බලාපොරොත්තුවෙන් ගුවන් තොටුපොළෙහි සිටියහ.ඒ අතර ක්‍රීඩා ඇමති , රෝසි සේනානායක මහත්මිය ගේ ස්වාමිපුරුෂයා , ජීවන් කුමාරතුංග සහ මංගල සමරවීර යන ඇමතිවරුන්ද සිටියහ.

තරගය නැරඹීම සඳහා යාමට අපගේ සිත් තුළ ද තිබුණේ විශාල උනන්දුවකි.ගුවන් තොටුපළේ සිටි අය අතරෙන් සමහර අය වෙත පැමිණ අපට ද සුභ පැතූ අතර අප රට වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ අපගේ ස්වාමිපුරුෂයන්ට ජයග්‍රහණය කළ හැකි වේවා යැයි ආශිර්වාද කළහ.

පකිස්තානය බලා යන ගුවන් ගමන ඉතා විනෝදකාමී එකක් වූ අතර ගුවන් යානය තුල සිටි බොහෝ දෙනා ගී ගයමින් සතුටු විය.පවුලේ විනෝද චාරිකාවක් මෙන් හැඟුණු එම ගුවන් ගමන අප හැම දෙනාටම අමතක නොවන අත්දැකීමක් බවට පත් විය.

ගුවන් ගමන අවසානයේදී හෂාන් ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටි හෝටලය වෙත අප සියලු දෙනාම ගියෙමු.හෂාන් සිටි කාමරයට යන විට ඔවුන් ඒ වනවිටත් අවදි වී සිටි අතර හෂාන් කාමරය හුවමාරු කරගෙන තිබුණේ කුමාර ධර්මසේන සමගය.විශාල ඇඳන් දෙකක් සහිත ඒ කාමරයේ බිම ඇද රෙදි එළා තිබුණි.තවත් කවුරුන් හෝ එහි නිදා ගත් බවට ලකුණු පෙනෙන්නට තිබූ අතර කවුරුන් හෝ කාමරයේ සිටිනවාදැයි මා කුතුහලයෙන් යුතුව හෂාන් ගෙන් ඇසුවෙමි.එංගලන්තයේ පදිංචිව සිටි අනුර ජයවර්ධන සහ හසිත සේනාරත්න පැමිණි බව හෂාන් කීවේ ඒ මොහොතේය.ඒ වගේම සෑම ක්‍රිකට් තරගයක් සඳහා ම සහයෝගය දැක්වීමට ඔවුන් දෙදෙනා සෑම රටකටම පැමිණෙන බව ද හෂාන් පැවසු අතර ක්‍රිකට් වලට ඉතා ආදරය කරන ඔවුන් දෙදෙනා එංගලන්තයේ තරග පැවැත්වෙන අවස්ථා වලදී ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ආහාර පවා සූදානම් කරගෙන පැමිණෙන බවත් ඔහු පැවසුවේය.ඔවුන් දෙදෙනා ලෝක කුසලාන අවසාන තරගාවලිය නැරඹීමට පැමිණෙන බව හෂාන් ඇතුළු කණ්ඩායම නොදැන සිට ඇති අතර කණ්ඩායම පුදුම කිරීම සඳහා ඔවුන් දෙදෙනා , තරගයට පෙර දිනයේ දී නොකියාම හෝටලය වෙත පැමිණ තිබුණි. එම නිසා හෂාන් සහ කුමාර ධර්මසේන ඔවුන්ගේ කාමරයේම අනුර සහ හසිත යන දෙදෙනාට නැවතීම සඳහා ඉඩ පහසුකම් ලබා දී ඇත

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles