පරිත්‍යාග

මධූකා මහන්සියටම ඇඳේ ඇලවුණා. දවස් පුරාම අමිත් සමඟ ඇඳුම් මිලදී ගැනීමට ටවුම පුරා ඇවිදපු මධූකාගේ හිතේ මහන්සියටත් වඩා තිබුණේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්.ඉතා වටිනා මංගල සාරියක් අතට ගෙන අමිත් කිව් කතාව ඇයගේ හිතට තවත් වේදනාවක් ගෙනාවා.

“ඔයාට මේ වගේ සාරියක් අන්දවල ගමට එක්ක යන්නයි මම හිතුවේ…ඒත් මොනවා කරන්නද…?”

දිඟ හුස්මක් හෙලූ අමිත් මධූකා සමඟ ‘සාරි මන්දිරයෙන් ‘ එළියට ආවේ රෝස පැහැති චාම් සාරියක් මිලදී ගෙනයි.
“අදම අපි මුදු දෙකත් බලමුද…?”

අමිත් කොයිතරම් ඇවිටිලි කලත් තවමත් මධූකා හිටියේ දෙගිඩියාවෙන්.

“මට බයයි අමිත්…අපි මේ ගන්න හදන්නේ වැරදි තීරණයක්ද….?”

දහවල් ආහාර ගනිද්දී මධූකා කිව්වේ අමිත්ගේ මුහුණ දෙස බලපායි. හැම මොහොතකම සේ එවිටද අමිත්ගේ මුහුණෙන් දිස් වූයේ මඳ සිනහවක්. මධුකාගේ කොයිතරම් ඇවිටිලි කළද අමුත් දෙමව්පියන්ගේ අකමැත්තෙන් විවාහ වන්නට තීරණය කර අවසානයි.
     එකම ගමේ ජීවත් වුනත් මධූකාත් අමිතුත් අහසයි පොළවයි වගෙයි. සල්ලිකාර.,ගරු නම්බුකාර පොඩි රාළහාමිගේ එකම පුතා වුණු අමිත්ට අඟහිගකමක් තිබුණේ නැහැ. නමුත් ගමේම තේ දළු නෙලන සේපාලිකාගේ එකම දියණිය වුණු මධුකා සැප සම්පත් විඳ තිබුණේත්  නැහැ.

“අප්පාව දැකලාවත් නැති කෙල්ල…. ඔය කෙල්ල බඩේ ඉදිද්දී තමයි කෙල්ල ගේ තාත්තා පොල්ගහකින් ඇඳගෙන වැටිලා මැරුණේ. හයිය හක්තිය තිබුණ මිනිහා මැරුණෙ කෙල්ලගේ තිබුණ අවාසනාවන්තකමට…එහෙව් කෙල්ලව මේ වලව්වට වද්ද ගන්න අපි මැරිල ඉපදුනේ නෑ පුතේ….”

එදා අමිත්ගේ අම්මා හඬා වැලපුණේ මධූකාට විතරක් නෙමෙයි සේපාලිකාටත් සාප කරමින්.ඒ ගැන තේ දළු නෙලන තවත් කාන්තාවකගෙන් දැන ගත් සේපාලිකා
“කලු ගලේ ඔලුව ගහගන්න එපා දුවේ…” කීවේ මධූකාගේ හිස අතගාමින්.
මධූකා ඇඳෙන් නැගිට බෑගයේ හරි පරිස්සමට තිබූ චාම් සාරිය අතට ගෙන හැඬ බැලුවා. ඇය බෝඩිම් කාමරයේ තිබූ කුඩා කණ්නාඩිය ඉදිරියට ගොස් සාරිය ඇඟට තබා හැඬ බැලුවා.

“මම ගත්ත තීරණය හරිද…?”

මධූකා කණ්ණාඩියෙන් පිළබිඹු වූ රූපයෙන් ඇසුවේ හිතේ දෙගිඩියාවෙන්.

‘තව හිතන්න…’.
හැමදාමත් ඒ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර ඒ විදිහටම මධූකාට ලැබුණා. මධූකා කලබලයෙන් ඇඟලා සිටි මංගල සාරිය ගලවා පරිස්සමට අසුරණයේ තැබුවා.

“ඔය අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතිව උඹ ඉගෙන ගනින් දුවේ.දුප්පත් අපිට ජීවිතය ජය ගන්න තියෙන එකම විසඳුම ඉගෙනීමයි. දැන් අපිට මේ ගමේ ඉන්න බෑ අපේම කියලා බිම් අඟලක් නැති මේ ගමේ තවත් ඉදලා මොකටද…?නන්දා නැන්දා එක්ක මාත් මාතර ගාමන්ට් එකේ වැඩට යනවා. තේ දළු කඩලා උස්මහත් කරපු මට ඇඳුම් මහලා ඔය ටිකත් උගන්නන්න පුලුවන් දුවේ.ඒ ගැන හිතන්න එපා. .”

එහෙමයි සේපාලිකා ලියුමකින් මධූකාට ලියලා තිබුණේ. තේ දල්ලේ කහට ගැන්වුණු අතේ ඇඟිලි ඉදිකට්ටට හසුවී රිඳුම් දුන්නා. ඒත්…තම දියණියගේ අනාගතය වෙනුවෙන් සේපාලිකා ධෛර්යවන්ත කාන්තාවක් වුණා.

“අපි මේ සම්බන්ධය නවත්තමු අමිත්….”

මධූකා එහෙම කිව්වේ වරක් දෙවරක් නෙවෙයි. ඒත් අමිත්ට ඒ සම්බන්ධය නතර කරන්න බැරි වුණා. අමිත් මධුකාට ඇත්තටම ආදරේ කලා. ඒ ආදරේට නොදෙවැනි ආදරයක් අමිත්ටත් මධුකාට ලැබුණත් තාත්තෙක් නැති,අඩු කුලේක ඉපදුණු තමන්ව කවදාහරි විවාහ කරගත්තොත් අමිත්ව ගෙදරින්  එළවා දමන බව ඔහුගේ මව ගමේ කිහිප දෙනෙකු සමඟ කියා තිබුණා.

“පුලුවන්නම් ඔය සම්බන්ධය නතර කරන්න මධූ…පොඩි රාළහාමි කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. ඔයාලගේ ගේ ගිනි තියල දාන්නත් ඔය මිනිහට බැරි නෑ…”

ගමේ මධුකාට හිටිය හොඳම යෙහෙළිය අනුත්තරා අනතුරු ඇඟෙව්වා. අනුත්තරාගේ අනාවැකිය සති තුනකට පසුව සිදුවූයේ සේපාලිකාත් මධුකාත් නිවසේ නොසිටිය රාත්‍රියක පොඩි රාළහාමිගේ ගෝලයින් විසින් පොල්අතු සෙවිලි කල කුඩා නිවහන ගිනිබත් වීමත් සමඟය එදායින් පසුව අමිත් ගමෙන් ඈත්වී කොළඹ රස්සාවකට ආවා.

ඇඳ උඩ තිබූ මංගල සාරිය දැමූ  අසුරණය මධූකා අත ගා බැලුවා. ඕනෑම ගැහැණු ලමයෙකුගේ හිතේ තියෙන සුන්දර මනාලියක් වන හීනය ඇයටද තිබුණා. මාල හතක් දමා,පෝරුවේ නගින්න, අතපැන් වත්කරන්න, ජයමංගල ආශිර්වාද මැද්දේ අලුත් ජීවිතයක් පටන් ගන්න ඒ හිතේ ලොකු හීනයක් තිබුණා.

“මට අම්මාගෙන් වැඩක් නෑ මධූ…මට ඔයා හිටියම ඇති.අපි කසාද බඳිමු. මගේ බැංකු පොතෙත් සල්ලි ටිකක් තියෙනවා. මම ඒ සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගන්නවා. “

අමිත් කිව්වේ එහෙමයි. නමුත් මධූකා ඒකට කැමති වුනේ නෑ.මොනව වුණත් ඒ අමිත්ගේ දෙමව්පියන්. අවුරුදු විසි හතක් හඳපු වඳපු දෙමව්පියන්ව අමතක කරන්නේ කෙසේද….?

“පිස්සුද මධූ…ඔයාලා අපේ රෙදි හෝදන අය. ඔය කුලය කවදාවත් වෙනස් කරගන්න පුළුවන්ද…?”
අම්මලාගේ කැමැත්ත ලැබෙනතුරු තව ඉවසුමදැයි අදත් මධූකා කිව්ව මොහොතේ අමිත් කිව්වේ එහෙමයි.

කුලය… වාසගම…ඉපදෙද්දීම උරුම වුණ දෙය… දෙමව්පියන්ගෙන් ලැබුණ දායාදය…කොහොම වෙනස් කරන්නද…?සේපාලිකා පොඩි රාළහාමිලාගේ රෙදි ඇපුල්ලුවේ නැතත් ‘කුලයට අනුව සේපාලිකාලාත් රෙදි අපුල්ලන්නන්….’පොඩි රාළහාමි හිතුවේ එහෙමයි.

“අපේ පුංචි මඟුල් ගෙදර ඔන්න කවුරුත් නෑ.ඔයයි මමයි රෙජිස්ටර් ලඟට ගියා යාලුවන් දෙන්නට කියල අත්සන් කලා එච්චරයි. හෙට ගිහින් මුදු දෙකත් ගමු. ඔයාගේ අම්මට අපි හෙමීට පස්සේ කියමු. දැන්ම කියන්න එපා…”

අමිත් දහවලේ කෑම කද්දී මධුකාට කිව්වේ එහෙමයි. අම්මාටත් හොරෙන් බඳින කසාදය…ඇඟිලි පුරුක් හිල් වනතුරු ඇණුණු ඉදිකට්ටේ වේදනාව ඉවසා සිටියද තම දියණිය හොර රහසේ කසාද බඳින්න යන ආරංචි අම්මා කෙනෙක් කෙසේ ඉවසා සිටින්නද…?
මොහොතකින් මධුකා තීරණයක් ගත්තා. වසර ගණනාවක් තිස්සේ තමන්ට ගැනීමට නොහැකි වූ තීරණය ගත යුතු හොඳම කාලය මේයැයි ඇයට හිතුනා ඇස්වලින් ගලාගෙන යන කදුළු ඇය වහා පිස දැම්මා. ඇය මංගල සාරියද ගෙන අමිත්ව මුණ ගැසීමට ගියා.

*   *    *     *     *    *    *     *    *    *

“මොකක්ද මධූ ඔයා මේ කියන්නේ….?”

“අපි මේ සම්බන්ධය නවත්තමු…ඔයාගේ අමමල කවදාවත් අපේ මේ සම්බන්ධයට කැමති වෙන්නේ නෑ….”

“ඒක ඔයා දන්නවනේ…ආයේ ඒ ගැන කතා කරන්න එපා…”අමිත් කිව්වේ තරමක් කේන්තියෙන්.

“හැම දෙයක්ම මම ඉවසුවා අමිත්. ඒත්…ඔයාගේ අම්ම වගේම මගේ අම්මා මාව හැදුවේ ගොඩක් දුක් විඳලයි. ඒ හිත් වලට දුකක් දීලා අපිට කවදාවත් සතුටින් ඉන්න බැහැ. කවදාහරි මමත් අම්මා කෙනෙක් වේවි. එදාට අම්මලා දෙන්නෙකුට දීපු දුක මට පලිසන් දේවි අමිත්….”

“විකාර…එහෙම වෙන්නේ කොහොමද…?ඔයාට මම ඉන්නවා. මට ඔයා ඉන්නවා. ඒ හොදටෝම ඇති…”

“නෑ…අමිත්. කවදාහරි අපේ දරුවන්ට එයාලගේ නෑදෑ පරපුරක් ඉන්න ඕනේ. දුකේදිත් සතුටේදීත් තමන්ගේම කියල පිරිසක් ඉන්න ඕනෑ. ජීවිතේ තනියම ගත කරන්න  හරි අමාරුයි. ඔයාගේ වාසගම තියෙන දරුවෙක් මගේ කුසේ බිහිවෙනවාට කවදාවත් ඔයාගේ අම්මලා කැමති වෙන්නේ නෑ… ඒ නිසා අපි මේ සම්බන්ධය නවත්තමු…”

වෙනදාට අමිත් මොනවා හෝ පවසා මධුකාගේ හිත හැදුවත් මෙවර මධුකාගේ හිත වෙනස් කරන්නට අමිත්ට පුලුවන් වුණේ නැහැ. වාසගමක්…කුලයක් ඉදිරියේදී ආදරය කොයිතරම් නම් අසරණ කරනවාදැයි මධුකාට හිතුණා. ‘අම්මා ‘ යන උත්තරීතර නාමයට අගෞරව නොකර අවුරුදු ගානක් ආදරය කල ආදරයට තිත තියන්නට මධූකා තීරණය කලා.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content