සම්මානය

මනීශා උත්සව ශාලාවෙන් එළියට ආවේ පිරුණු හැඟීමකින්.කිසිදු බාධකයක් හමුවේ නොනැවතී ඉදිරියට ආව මේ ගමන ඉදිරියටත් ඒ විදියටම යනවා කියලා ඇය හිතා ගත්තා.සුඛෝපභෝගී මෝටර් රථයට නැගුනු මනීශා ලොකු හුස්මක් අරගෙන පාළු මාවතේ ඉදිරියට මෝටර් රථය ධාවනය කලේ කල්පනා බර සිතින්.පාන්දර දෙකට ආසන්න වෙලා තිබුන නිසා ඉඳහිට යන වාහනයක් ඇරෙන්න පාරේ වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ .මනීශාට නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ආවේ ඒ වෙලාවේ.

” හෙලෝ “

පාන්දරම කතා කරන්නෙ කවුද කියලා හිතමින් මනීශා දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නා

” මගේ සුබ පැතුම් මනීශා “

කතා කරන්නෙ කවුද කියලා අඳුර ගන්න මනීෂාට අපහසු වුණේ නැහැ

” ඔයා කොහොමද දැනගත්තේ ? “

මනීශා ඇහුවේ කුතුහලෙන්

” award ceremony එකේ organizing committee එකේ මගේ යාළුවෙක් ඉන්නවා “

තමන් ගැන දැන් හොයන්න තියෙන උනන්දුව ඉස්සරත් තිබුනා නම් මොන තරම් හොඳද කියල අනුහස් ගෙන් අහන්න මනීෂාට හිතුනා.ඇය දුරකථන ඇමතුම අවසන් කරේ හිස් හැගීමකින්.සියල්ලෝම විරුද්ධ වෙද්දී කටු පඳුරු බිඳගෙන තමන් ආ ගමන ගැන ඇයට දැනුණේ නිහතමානී සතුටක්

” මම හිතාගෙන ඉන්නේ ජොබ් එකෙන් අයින් වෙලා මගේම බිස්නස් එකක් පටන් ගන්නයි අනුහස් “

අතීතයේ දවසක අවන්හලක දී තමන් අනුහස්ට එහෙම කිව්ව හැටි මනීශාට මතක් උනා

” අපෝ ඕවා හරියන වැඩ නෙමෙයි.කෙල්ලන්ට බිස්නස් කෙරුවාව හරියන්නේ නැහැ මනීශා “

ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන මනීෂා ඒ වන විට ජනප්‍රිය නිමි ඇඳුම් හලක ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කළා.

” හැමදාම අනුන් යටතේ ජොබ් එකක් කරනවට වැඩිය හොඳ නැද්ද මගෙම කියලා දෙයක් පටන් ගන්න එක ? “

එතකොටත් අනුහස්ගේ මුහුණේ ඇඳුනේ සමච්චල් සහගත හිනාවක්

” කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්න මනීෂා නිකං නිකන් කාලේ නාස්ති කරන්නෙ නැතුව “

අනුහස් එහෙම කියද්දි මනීශාගේ හිත කඩාගෙන වැටුනත් ඇය ඒ බවක් පෙන්නුවෙ නැහැ.දිවා රෑ නොබලා ඇය ඇයගේ බලාපොරොත්තුව වෙනුවෙන් හීන දැක්කා

” ඕකට කුලියට කඩ කෑල්ලක් තමයි අරගන්න වෙන්නේ .ඔයා හිතන විදියට කරන්න අපිට අපේ කියල තැන් තියෙනවද ළමයෝ “

මනීෂා ගේ අම්මාගේ මුහුණේ තිබුණේ නොරිස්සුමක්

” මම හිතාගෙන ඉන්නේ මුලින් රෙන්ට් එකට තැනක් අරගෙන මට ඕනේ විදිහට හදාගන්න “

මනීෂා කතා කළේ බලාපොරොත්තු සහගත ඇස් දල්වාගෙනයි

” බිස්නස් එක හරිගියේ නැත්නම් ඕවට කුලී ගෙවා ගන්නේ කොහොමද ? “

” හරි යනවද නැද්ද කියලා බලන්න මේක කරල ඉන්න එපැයි අම්මේ “

මනීෂාට ඇයගේ අම්මගෙන් වචනෙකින්වත් සහයෝගය නොලැබුණේ එහෙම.

” ජොබ් එකෙන් අයින් වෙලා ගිහින් බිස්නස් එකක් පටන් ගන්න එක පාරටම ඔයාට බය නැද්ද මනීශා ? “

” මං ගාව ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා කෝසලා.ඒකෙන් මට ශේප් කරගන්න පුලුවන් වෙයි තව ලෝන් එකකුත් දා ගත්තහම “

තමන් රැකියාවෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බව මනීශා කිව්වේ කාර්යාලයේ ඇගේ මිතුරිය වුණ කෝසලාට

” මම නම් කියන්නේ ඔයාට රස්සාවෙන් අයින් වෙනවා වගේ අවදානමක් ගන්න එපා කියලයි “

කවුරු මොන දේ කිව්වත් මනීශාට ඕන වුණේ තමන්ට හිතෙන දේ කරන්න.නගර මධ්‍යයේ කුලියට දෙන්න තියෙන කඩ කාමරයක් ඇය හොයා ගත්තේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට

” මාසෙට හතලිස් දාහක් කුලිය ගෙවන්නේ කොහොමද මේ ගෙදර තියෙන වියදම් එක්ක ?”

මනීෂාට පළවෙනි දෝෂාරෝපණ‍ය එල්ල වුණේ අම්මාගෙන්.

” මම කොහොම හරි මේ ගෙදර වැඩ ටික කර ගන්නම් අම්මා බය වෙන්න එපා “

මනීෂා ඇගේ අදහස් වලට අනුව සැලසුම් ඇන්දා.තරුණියන්ට විවිධ විලාසිතා වල ඇඳුම් සහ මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන්නයි ඇගේ සැලසුම වුනේ. එයට ගැලපෙන පසුබිමක් සහිතව කඩ කාමරය ප්‍රතිනිර්මාණය කරන්න ඇයට පුළුවන් වුණා

” ඔය බාස්ලත් එක ඔයා තනියම ගනුදෙනු කරන්නේ කොහොමද මනීෂා ? ඔයාගෙ නම් පුදුම හිතුවක්කාර කමක් තමයි තියෙන්නේ “

අනුහස් මනීෂාට වචනයකින්වත් සයෝගය නොදක්වා හිටියා.මාස එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ තමන් බලාපොරොත්තු වුනාටත් වඩා ලස්සනට සහ නවීන පන්නයට ඇඳුම් නිර්මාණාගාරයක අසිරිය දැක ගන්න මනීශාට පුළුවන් උනා

” මේවා මෙහෙම ලොකුවට හදලා කරගෙන යන්න ඔයාට පුලුවන්ද ? ජොබ් එකෙනුත් අයින් වෙලා ඔයා මේ කරපු දේ හරි කියලා හිතනවද මනීශා “

ඇඳුම් නිර්මාණාගාරය විවෘත කිරිමේ පුංචි උත්සවයට ආව අනුහස් ඇහුවේ එහෙම.

” මේක හදන්න බැරි වෙයි කියලත් ඔයා මට කිව්වා නේද? ඒත් මම නැවතුනා ද ? “

මනීෂා අනුහස්ගෙ දෑස් දිහා සෘජුවම බැලුවා. දැඩි ශක්තිමත් බවක් සහ ධෛර්යයක් මනීශාගේ දෑස් තුළ ලියැවී තිබුණා.

” මට කිසිම දෙයක් කරගන්න බෑ කියලා ඔයා හිතනව නම් තවදුරටත් ඔයා මාත් එක්ක ඉන්න ඕනේ නෑ අනුහස් “

මනීශා එහෙම කිව්වේ දැඩි හඬකින්.හීන හැබෑ කරගන්න තමන්ට සහයෝගය නොදෙන පෙම්වතෙක් මොකටද කියලා මනීෂාට හිතුනා.කැපවීම සහ උත්සාහය තියෙනවනම් ඕනම කෙනෙකුට තමන්ගේ අනාගතය සුවදායි එකක් කරගන්න පුළුවන් කියලා ඇය විශ්වාස කළා

” රස්සාවෙන් අයින් වුන එක කොච්චර මෝඩ කමක්ද කියලා ඔයාට ලඟදිම තේරෙයි මනීෂා.එදාට ඔයාට මගේ ළඟට එන්න වෙන්නේ අඬාගෙන “

තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරපු දවසේ තමන්ගේ පෙම්වතාම ඒ විදිහට කියද්දී මනීෂාට ඔහු ගැන දැනුනේ පිළිකුලක්.

” මම හිතන්නේ අපි ආයෙ මුණ ගැහෙන්න ඕනෙ නැහැ අනුහස් “

ආසාවෙන් ආරම්භ කරපු ව්‍යාපාරය අසාර්ථක වෙන බව පුන පුනා කියමින් ඍණාත්මක සිතුවිලි විතරක්ම තමන්ට කියන අනුහස්ගෙන් මුලින්ම ඈත් වෙන්න ඕනේ කියලා මනීෂා තීරණය කළා.

මනීශාගේ මහන්සියට වටිනාකමක් එක්ක විවිධ උත්සව අවස්තාවන් වලට ඇඳුම් නිර්මාණය කරගන්න බොහෝ තරුණියන් මනීෂා ව හොයාගෙන ආවා.ඒ විතරක් නෙමෙයි, තමන්ගේ මංගල දිනය හැඩ කරගන්න ඇඳුම් නිර්මාණය කරගන්න, මනාලියන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණියන් මනීෂාගේ සහය පැතුවා.

” දවස තිස්සෙම මහනවා.ඔයිට වැඩිය හොඳ නැද්ද ළමයො ගාමන්ට් එකක රස්සාවට ගියා නං ? “

දවසක් රෑ වෙලා ගෙදර ආවා මනීෂාට අම්මාගේ සුපුරුදු නෝක්කාඩුව ඇහුණා

Woman in sad

” මමම හිතලා ලස්සන design එකක් ඇඳලා ඒක මහල හැඩ බලන එක අම්මා හිතනවට වඩා ගොඩක් වෙනස් දෙයක් “

දවසින් දවස මනීෂා ව හොයාගෙන එන තරුණියන් පිරිස වැඩි වෙද්දි මනීෂා ඇගේ සහායට තවත් සේවිකාවන් කිහිප දෙනෙක්ම අර ගත්තා.විශේෂිත වූ විලාසිතා වලට මංගල ඇදුම් නිර්මාණය කරන්න අති දක්ෂයෙක් ලෙස මනීෂා ප්‍රදේශයේම ප්‍රසිද්ධ වුණේ අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ

” වසරේ හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලබන්නේ මනීශා ගුණසේකර “

මනීෂාට ඒ වචන ඇහුනේ ඈත ලෝකෙකින් එනවා වගේ.ලගින් සිටි අයගේ සහයෝගයක් පවා නොලබමින් දිවා රෑ නොබලා වෙහෙස වීමට වටිනාකමක් මනීෂාට ලැබුණේ දහස් ගණනක් ඉදිරියේ තිබූ වේදිකාවක් මතදී.

” අපේ හීන පාට කරගන්න ඕනේ අපිමයි.කවුරුත් අපි වෙනුවෙන් ඒවා පාට කරලා දෙන්න එන්නේ නැහැ.අවශ්‍ය වෙන්නේ අපේ උත්සාහයයි කැපවීමයි විතරයි “

ලබාගත්ත සම්මානයත් එක්ක පහුවදා උදෙන්ම තමන්ගේ විලාසිතා නිර්මාණාගාරයට ගිය මනීශා තමන්ගේ සේවිකාවන් කීපදෙනාට කිව්වෙ එහෙම.

More Stories

Don't Miss


Latest Articles