පතොක් මල.

“මං ඔයාලගෙ ගෙදර එන්නම්..නෑවිල්ලා මේක කතාබහ කරන්න බෑනෙ.ඒත් මං මේ දවස්වල හොඳටම බිසී..”

එක්දාස් හත්සීයවෙනි වතාවට ‍යසස් එහෙම කියද්දී වරුණි මොකුත්ම නොකියා නිහඬ වෙන්න තීරණය කළේ යසස් එක්ක තර්ක කරන එක කිසිම තේරුමක් නැති දෙයක් නිසාමයි.

“කපුවන්ට කිය කිය මංගල දැන්වීම් දම දම කසාද හොයන්න ඕන නෑ ලොකු දුවේ.කවුරුහරි කෙනෙක් ඉන්නවනම් කියන්න.”

අම්මා හැමදාම වරුණිගෙන් අහනවා.ඒ හැමවතාවකම තවම කවුරුත් නැති බව කියමින් මඟ අරින්න වරුණිට සිද්ධ වෙන්නේ යසස් තවම වරුණිගේ අම්මා මුණ ගැහෙන්න එන්න සූදානම් නැති නිසා.වරුණි ඒ ගැන අහන හැම වෙලාවකම යසස්ට මොනවාම හෝ නිදහසට කාරණාවක් සහ හදිසි වැඩ නැතුවාම නෙවෙයි.

“ඇයි ඔයා අපේ සම්බන්දෙ කාටවත් කියනවට අකමැති..”

ලෝකෙට බයෙන් වගේ අරන් යන ආදරේ අතරමැද වරුණි නිතරම යසස්ගෙන් ඇහුවේ ඒ ප්‍රශ්නේ

“හැමෝටම කිය කියා ආදරේ කරන්න ගියාම ඇස්වහ වදිනව වරුණි..”

යසස්ගේ සමහර උත්තර වලට වරුණිට කේන්තියක් නොදැනෙනවා නෙවෙයි. ආදරය කිරීම සහ ශාරීරික අවශ්‍යතා ඉටු කරගැනීම කියන්නේ කාරණා දෙකක් කියලා යසස්ට කියන්න වරුණි කිහිප වතාවක්ම හිතුවේ මේ සම්බන්ධය ඇතුළේ තමන් පාවිච්චි වෙන බව නිතරම හිතෙන්න ගත්තු නිසා.

“යසස් ඉන්නෙ කිලෝමීටර් ගාණක දුර තමයි.ඒත් ඇයි අපිට එයා ගැන ටිකක් හොයල බලන්න බැරි?”
ඇති
වරුණිගේ හොඳම මිතුරිය රුවිනි එක දවසක් වරුණිට කිව්වේ වරුණි හිත රිදවා ගන්න පරිමාව හොඳටම වැඩි බව දැනෙනකොට.වරුණි කිසිවක්ම නොකියා කල්පනා කරන්න ගත්තේ ඒ කරන්න අමාරු දෙයක් නොවෙන නිසාමයි.

“ලංකාව හරි පුංචි රටක් වරුණි.අපි යසස් ගැන හොයලා බලමු..”

රුවිනි එහෙම කියද්දී ඒ කතාවේ මොනතරම් ඇත්තක් තියනවද කියලා වරුණි කල්පනා කළා.

“ඔයා කොළඹ කෙල්ලක් වුණාට මං ගමක කොල්ලෙක් වරුණි.මම ඉස්සරලම මගේ නංගිව කසාද බන්දලා ඉන්න ඕන..ඊටපස්සෙයි මට ඔයා ගැන ගෙදරට කියන්න වෙන්නේ.ඔයාගෙ අම්මා මුණ ගැහෙන්න එන්න කලින් ඒවා පොඩ්ඩක් පිළිවෙලක් කරගන්න ඕන.ඔයා නිකං ඉස්කෝලෙ යන ළමයෙක් වගේනෙ හැසිරෙන්නෙ..”

ආදරේ කරද්දී කියන සූකිරි වචන අහකටම දාලා යසස් එහෙම චෝදනා කරද්දී පවා වරුණි ඉවසීමෙන් අහගෙන හිටියා.ප්‍රශ්නයක් තියෙනවා නම් එල්ලි එල්ලී කරදර කරන්න වරුණිට හිතක් නෑ.

ඒත් ඉව සහ සැකය නොවරදින තැන් තියනවා.රුවිනි ඇගේ සරසවි මිතුරෙකුගේ මාර්ගයෙන් හොයා ගන්න සමහර කාරණා තහවුරු වෙද්දි වරුණිට දැනුණේ තමන්ව උස්සා පොළොවේ ගහපු බවක්.අඳුරු අගාධයකට වැටෙන්න කලින් යාන්තම් බේරී ගත්තු වග දැනෙනකොට අගාධයේ ගැඹුර සහ කලුවර ගැන හිතද්දී පවා තමන්ව කෝපය සහ වේදනාවෙන් ගැහෙන බව වරුණිට හිතෙන්න ගත්තා.

වරුණි යසස්ව මුණ ගැහෙන්න ගියේ ඒ කළු කුහරයට වැටෙන්න ගිය වේදනාවේ ශෝකය මුහුණේ ඇඳගෙන නෙවෙයි.වෙනදා වගේම ආදර රේඛා වලින් මූණ පාට කරගෙන.

“යසස් මේ බලන්නකො..”

වරුණිගේ දුරකථන මුහුණතේ ඉන්න පුංචි දැරියගේ ඡායාරූපය දැකපු යසස් තිගැස්සුණා.ඒත් තිගැස්ම යටපත් කරගෙන ඔහු වරුණි දිහා බැලුවේ පුදුමයෙන්.

“කවුද මේ..”

යසස් එහෙම අහනකොට පවා කේන්තියට මතු නොවී ඉන්න ඉඩ දෙන්න වරුණි ලොකු අරගලයක් කරා.

“මේ ලස්සන දුවෙක්..දවසක මං වගේ උස්මහත් වෙන කෙල්ලක්..”

වරුණි වචන පාවිච්චි කරේ හරිම ප්‍රවේසමෙන්.ඉවසමින් දුක් නොවිඳිය යුතු බව ඇත්ත.ඒත් ප්‍රශ්නයක් විසඳා ගන්න කලබලයට පුලුවන් කමක් නෑ.

“මං යන්නත් ඕන වරුණි. “

යසස්ට තියෙන කලබලය ගැන දුකක් හෝ වේදනාවක් වරුණිට හිතුණේ නෑ.පුංචි දැරියකගේ ඡායාරූපයකට යසස්ව කලබල කරන්න පුලුවන්වීම ගැන හිනාවක් වරුණිට ඇති වුණා.

“ඔයා මං කියන දේ අහන් හිටියේ නෑනෙ යසස්.”

වරුණි බොහොම ඉවසීමකින් කතා කළා.ඔව්! මේ ප්‍රශ්නය ඉවසීමෙන් විසඳා ගන්න තරමට ලේසියි.ඇය හිතුවේ එහෙමයි.

“මේ දුවව දවසක කසාද බැඳපු මිනිහෙක් රැවැට්ටුවොත් එයාගෙ තාත්තට මොනව හිතෙයිද යසස්?”

යසස් කලබල වුණා.සෑහෙන කාලයක් හංගපු රහස තවත් වරුණිගෙන් හංගන්න අමාරු පාටයි.පේන හැටියට එයා හැමදේකම ඇත්ත දැනගෙන.ඒත් වරුණි තමන් එක්ක රණ්ඩු නොකරන්නේ ඇයි කියලා යසස්ට හිතා ගන්න බෑ.

“මේ දුව දවසක එහෙම රැවටුණොත් ඔයාට සෑහෙන්න දුක හිතෙයි නේද යසස්.හැබැයි ඔයාගේ දුව එයාගේ තාත්තා රැවටිලිකාරයෙක් කියලා දැනගන්නවට මම කැමති නෑ.ඒ විතරක් නෙවෙයි ඔයා මට ආදරේ කරනව කියල රඟපාපු රඟපෑම හින්දා මේ දුවගෙ අම්මා දුක් විඳිනව බලන්නත් මම ආස නෑ..ඒ හින්දා මට ඔයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි.කරුණාකරලා ආයේ මේ වගේ සෙල්ලම් නොකර ඉන්න..”

තමන් අවුරුදු ගාණක් ආදරේ කරේ විවාහකයෙකුට බවත් ඈත ගමක ඉන්න තමන්ගේ පවුල ගැන හැමදෙයක්ම ඔහු තමන්ගෙන් හංගලා තියන බවත් දැනගත්ත දවසේ ඇති වුණු අප්පිරියාව වරුණි වචන කළා.

“මං ඩිවෝස් වෙන්න…”

යසස් කියද්දී වරුණි යසස්ව නැවත්තුවේ හිනාවකින්.

“ඒ තරම් සීනිබෝලවලට අහු වෙන කල්පනාවක් මට නෑ යසස්..මං ආයේ ඔයා එක්ක කතා කරන්නවත් කැමැත්තක් නෑ.”

වරුණි යන්න ලෑස්ති වුණේ එහෙම කියාගෙන.මොකුත්ම නොකියා ගල් ගැහිලා බලන් ඉන්න යසස් ළඟට ආව වරුණිට කියන්න තවත් දෙයක් තිබුණා.

“ඔය දූට වුණත් දවසක වංචාකාරයෝ මුණ ගැහෙන්න පුලුවන් යසස්.මොකද මේ ලෝකේ වැඩිපුරම ඉන්නෙ එහෙම මිනිස්සු.හැබැයි එදාට එයාට කියන්න, එහෙම වංචාකාරයෙක්ට රැවටුණ පලියට ගෑනු ළමයෙක් පරාද නෑ කියලා..”

ලෝකය පුරා වැඩිපුර ඉන්නේ ආදරේ වංචාවක් කරගත්තු මිනිස්සු වෙන්න පුලුවන්.ඒ මිනිස්සු නිසා නැතුව ගිය දේවල්,නාස්ති වුණු කාලය ගැන හිතන එක නවත්තලා ආයෙම පතොක් මලක් වගේ පිපෙන්න ගෑනු ළමයෙක්ට පුලුවන්.

ගෑනු ළමයෙක් කියන්නේ ඒ තරම් ශක්තිමත් කෙනෙකුට.

More Stories

Don't Miss


Latest Articles