ජීවිත ගමන එක්ව යන්නට අත අත නෑර අල්ලා ගත යුත්තේ සමාන හැඟීම් සහ සිහින ඇති කෙනෙකු වග සකුණ නොදැන සිටියා නොවේ.නමුත් භාවනා එකම සිතුවිල්ලකින්වත් ඔහුට නොගැළපෙන බව සකුණට වැටහෙමින් තිබිණ.ඈ හිඳින ලෝකය තමන්ගේ ලෝකයට එපිටින් ඇති බව වැටහෙද්දී විවාහය ගැන සකුණට ඇති වූයේ තිගැස්මකි.
“අම්ම අපේ මැරේජ් එක ඉක්මන් කරන්නෙ එයාට වගකීම් ගැන තියන හිතේ අවුල් හින්දා භාවනා.අපි අම්මට තේරුම් කරල දෙමු අපි තව ටිකක් කල් ආස්සරේ කරන්න ඕන කියල..”
සකුණ අන්තිමේදී භාවනාට පහදා දුන්නේ ය.දෑස් බැඳ යන ගමනක අවසානය ප්‍රපාතයකින් කෙළවර වන බව ඔහුට වැටහිණ.එනිසාම මේ ප්‍රශ්නය කතාබහ කර විසඳා ගන්නට ඔහුට ඕනෑ විය.
“මං හිතන්නෙ මේක මට මැරි කරන්න හොඳම කාලෙ..”
භාවනාට වූයේ එවැනි අදහසකි.එයට හේතුව දැන ගන්නට සකුණට ඕනෑ විය.
“ජාලිය මාත් එක්ක අවුරුදු ගාණක් අෆෙයා එක බ්‍රේකප් කළේ මාත් එක්ක කාටවත්ම ඉන්න අමාරුයි කියල සකුණ..මං එච්චර පණ්ඩිත කෙල්ලෙක් කියලා ජාලිය මට අපහාස කරපු තරමක්..”
භාවනා එසේ කියන්නේ කෝපදීප්ත දෑසකිනි.තමන් හා ප්‍රේමයෙන් බැඳෙන්නට පෙර භාවනාට දිගුකාලීන ප්‍රේමයක් වූ බව සකුණ දැන සිටියේ ය.නමුත් සම්බන්ධතා ඕනෑම මොහොතක කැඩීබිඳී යන බව දන්නා සකුණ ඇගේ ප්‍රථම ප්‍රේමය නොවීම ගැන සාංකා ඇති කරගත්තේ ද නැත.ඔහු ද සිටියේ අසාර්ථක ප්‍රේමයක් හන්දා ඇති වූ වේදනා සහිතව ය.
“ජාලිය ඇත්තෙ තරහින්.ඔයා ඕවා ගැන එච්චර හිතන්න එපා..”
සකුණ භාවනාට පැවසුවේ ආදරණීය ස්වරයකිනි.ජාලිය සමාජ මාධ්‍ය තුළ ද මිතුරන් අතර ද ඉඩ ලැබෙන මොහොතක් ගානේ භාවනාට අපහාස කරන බව සකුණ නොදන්නවා නොවේ.භාවනාගේ වැරදි ඕනෑතරම් තිබුණ ද කාලයක් ආදරයෙන් බැඳී සිටි ගැහැනියකට අපහාස කරන ජාලිය ගැන සකුණට වූයේ අප්‍රසන්න සිතුවිලි ය.
“මං බඳින්න ඕන ජාලියට පේන්න තමා සකුණ..”
ඒ අමුතු කතාව ඇසූ සකුණ තිගැස්සී ගියේ ය.භාවනා තමන් යොදාගන්නේ ජාලියට රිදවීමට බව වැටහෙද්දී ඔහුට දැනුණේ ආත්මානුකම්පාවකි.තමන් ආදේශකයක් පමණක් බව වැටහීම කිසිවෙකුටත් දරා ගන්නට පහසු සිතුවිල්ලක් වන්නේ නැත.
“ජාලිය හිතන් ඉන්නෙ මට කවුරුත්ම ළං වෙන් නෑ.ආදරේ කරන් නෑ කියල.මං හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවනව කියල සෝෂල් මීඩියා එහෙම අප්ඩේට් කරන්න ඕන.ඔය අපේ අම්මායි අක්කයි උයන කෑම ටිකක් එහෙම ලස්සනට බෙදලා අරන්, ඔයා ගැන මොනමොනව හරි ලියන්න ගත්තම ඔය මිනිහ ඉරිසියාවෙන් පැලෙයි.”
භාවනා එසේ කියද්දී සකුණට ආ ආවේගය ඔහු දරා ගත්තේ ය.මේවා ගැටුම් ඇති කරගෙන විසඳිය යුතු දේ නොවේ.
“භාවනා,ෆැමිලි එකක් ගෙදරක් කියන්නෙ මනුස්සයෙක්ගෙ නිවන.ලෝකෙම ගැන කලකිරුණු මහන්සි හිතුණු වෙලාවට ඇවිල්ල වැටෙන්න තියන තැන.එතැන ස්ටේජ් එකක් කරන් රඟපාන්න ගියාම අපිට පිස්සු හැදෙයි..”
සකුණ එසේ කියද්දී භාවනා උස් හඬින් හිනැහුණා ය.ඈ කතා කළේ ද ඒ සිනාව අතරිනි.
“අනේ විකාර සකුණ.ජීවත් වෙනව කියන්නෙ ඩ්‍රාමා එකක ඇක්ට් කරනව වගේ වැඩක් තමයි.හොඳටම රඟපාන තරමට තමයි අපිට තැනක් ලැබෙන්නෙ.”
භාවනා සමඟ තර්ක කිරීම කමකට නැති වැඩක් බව සකුණ නොදන්නවා නොවේ.නමුත් ඔහුට ඇයට යමක් පැහැදිලි කරන්නට සිත් විණ.
“භාවනා,අපි දෙන්නා ෆැමිලි එකක් පටන් ගන්න ඕන සෝෂල් මීඩීයා අප්ඩේට්ස් දාන්නවත්,ජාලියට හරි මගෙ එක්ස්ට හරි රිදෙන්නවත් නෙවෙයි.අපි දෙන්නට අපි දෙන්නා නැතුව ජීවිතයක් නෑ කියල තේරුම් ගත්තම.ඉතුරු ජීවිතේ පුරා අපි දෙන්නට අපි දෙන්නා හයියක් කියල තේරුණාම.ඒකට මුලින්ම අපි වගකීමක් ගන්න ඕන.මුලින්ම තනියම හිතන්න ඕන තව කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න අපි ලෑස්තිද කියල.එකට ඉන්න බෑ නම් වෙන් වෙන්න ඕන තමයි.ඒත් සල්ලි වියදම් කරල කසාද බැඳලා ලෝයර්ස්ල පෝසත් කරන්න ඕන නෑ භාවනා.
මං අම්මට කතා කරන්නං..අපි තව ටිකක් කල් ගමු..”
සකුණ එසේ කියද්දී භාවනා නොරිස්සුම්සහගත වූවා ය.ඇයට සිහින බොහෝ තිබිණ.ඒ සුන්දර ජීවිතයක මවාපෑමක් කරන්නට මිස සැබෑ සැනසීම වෙනුවෙන් නොවන බව ඇයට ද වැටහීමක් වූයේ නැත.
“කාව්‍යාගෙ ෆැමිලි ලයිෆ් එක මාස ගාණක් තමා.ඒත් ඒ දෙන්නා මොනතරම් සැනසීමකින් ආදරේකින් හිටියද? ආදරේ කරනව කියන්නෙ ඒකට භාවනා.”
සකුණ එසේ කියද්දී භාවනා කෝපයට පත් වූවා ය.අක්කාට වඩා තමන් ශක්තිමත් යුවතියක බව විශ්වාස කරන ඇයට මේ වර්ණනා ඉවසීම අපහසු ය.
“විකාර,මං ජාලියගෙන් කොච්චර ඉක්මනට මූව් උනාද? අක්කා තාම පිස්සියක්.කළුවරට වෙලා සෙනුරයියට කතා කරනව මට ඇහෙනව.මොන ඩොක්ටටවත් බෑ ඉතින් එයාව සනීප කරන්න..”
ප්‍රේමයක් බිඳ වැටීම සහ සැමියා වසංගතයේ ගොදුරක් බවට පත් වී මියැදීම අතර වෙනස භාවනාට වටහා දෙන්නේ කෙසේදැයි සකුණ සිතන්නට ගත්තේ ය.
ඔහුගේ කල්පනාවට බාධා කරමින් දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.
“සකුණ, අනේ ඔයා කොහෙද ඉන්නෙ?”
ඇගේ හඬ කලබල ය.බියපත් ය.සකුණ ඒ හඬ අසා කැළඹීමට පත් විය.
“මං භාවනා එක්ක ඉන්නෙ කවී.ඇයි?’
සකුණ ඒ කලබලයෙන්ම විමසුවා ය.
“මං අපේ ගෙදරට ආව සකුණ.අනේ කවුරුහරි එළියේ ඇවිදිනව ඇහෙනව.මට බයයි..”
සකුණ ඒ අසා නැගී සිටියේ ඊයක වේගයෙනි.තමන් වහා කාව්‍යා වෙත යා යුතු බව ඔහු පැවසුවේ ද ඒ කලබලය අතරිනි.
“මොන විකාරයක්ද? ඔය එයාගෙ හිතලු.එයාට මොකක්ද ඩිසෝඩර් එකක් තියේ.අනික මොන විකාරයක් වෙලාද මේ රෑට රෑ වෙලා ඒ පාළු ගේ අස්සෙ යන්නෙ.තන්හාවත් තියනව අප්ප හරියට..”
කාන්තා විමුක්තිය ගැන අප්‍රමාණ දෑ ලියන හඬ නගන භාවනා එසේ කියවද්දී ඇය ගැන සකුණට ඉමහත් කෝපයක් ඇති විය.නමුත් මේ ඇය සමඟ තර්ක කරන්නට වෙලාව නොවන බව ඔහු සිතී ය.පාළු නිවහනක තනිව හිඳින රූමත් වැන්දඹුවකට විය හැකි අනතුරු ගැන හදවතට එන නේක සිතුවිලි වලින් සිරුර සීතලව යද්දී ඔහු මෝටර් රථය වෙත ඉගිල ගියේ ය.
“කවී දොරවල්.ලොක් කරන්න.ඊට පස්සෙ රූම් එකට ගිහින් ඒ දොරත් වහ ගන්න.මං ආවා කියනකම් දොර අරින්න එපා.දැන් ඔහොමම ලයින් එකේ ඉන්න.මං එන්නේ ඔයාව අහගෙන..”
කාව්‍යාගේ බියපත් මුහුණ මැවී පෙනෙද්දී එසේ කියමින් සකුණ මෝටර් රථය පණ ගැන්වී ය.අනතුරුව ඔහු රථය ධාවනය කළේ කවරදාටත් වඩා වේගයෙනි.