මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත දිව්වා ය. දොරකඩ උන් සේනක හොඳට ම කලබල වූයේ ය. 

“ආදිත්‍යා මේ මම…ආදි…”

ඇගේ කෑ ගැසිල්ලට සඳසීලී සේ ම විජිනි ද ඇගේ සැමියා වන රංගන ද එතැනට දිවැවිත් තිබිණි.

“ඇයි ඇයි මේ…”

කාගේත් මුහුණු මතත් වචන වලත් වූයේ කුතුහලය ය. සඳසීලී පමණක් සේනක විනිවිද බැලුවා ය.

“දොරට තට්ටු කරන සද්දෙට මං දොර ඇරිය. මං හිතුවෙ විකුම් කියලනෙ. විකුම් නෙවෙයි හිටියෙ. වෙන කෙනෙක්. මට එක පාරටම ඒ තාත්ත කියල අඳුරගන්නත් බැරි වුණා. නින්දෙං වගේනෙ දොර ඇරියෙ”

සඳසීලී සැමියා දෙස රවා බැලුවා ය. සේනක බිරිඳ ගේ ඇස් මගහැර ගොත ගැසුවේ ය.

“මං මේ..විකුම් ආවද බලන්නයි දොරට ගැහුවෙ. මෙතනිං යද්දි මතක් වෙලා. මිනිහ ටිකක් අවුලෙං වගේනෙ දොට්ට බැහැල ගියේ…ඒකයි…”

ඔහු ව්‍යාජ, හිවල් සිනවක් පඋමේ උත්සාහයක් ගත්තේ ය. 

“මේ ළමය මේ බොරුවට බය වෙලා කෑ ගැහුවනෙ”

කියා ගෙන සේනක එතැනින් ඉවත් ව ගියේ ය. ඊළඟට විජිනි හා රංගන යුවළ මුහුණෙන් මුහුණ බලමින් නික්මුණහ. සඳසීලී තව දුරටත් දොරකඩ හිටගෙන සිටියා ය.

“සොරි අම්මෙ. අම්මලටත් නින්දෙන් ඇහැරෙන්න වුණා”

ආදිත්‍යා හෙමිහිට කීවා ය. සඳසීලී ලේලිය ගේ උරහිසක් මත අත තබා හෙමිහිට ඒ පිරිමැද්දේ, ඇගේ හදවතේ වන සංවේගය පළ කරන්නට මෙනි. ආදිත්‍යා බිම බලා ගත්තා ය.

“හොඳට දොර වහගෙන නිදියන්න”

එසේ කී විජයවික්‍රම මැතිණිය නික්ම ගියේ බර වූ හදවතිනි. 

ආදිත්‍යා දොර වසා යළි යහන වෙතට ආවා ය. ආමන්තා තවමත් හිටියේ පහ නොවූ කුතුහලයෙනි.

“මොකද්ද ඒ වුණේ…”

ඇය ආදිත්‍යා ගේ මූණට එබුණා ය.

“අක්කෙ…ඔයා දැනං හිටිය නේද ඒ විකුම් අය්ය නෙවෙයි කියල. ඔයා මෙට්ටෙ උස්සල පිහියක් තියෙනවද බැලුවෙ…ඇයි පිහියක් තියං ඉන්නෙ…ඊටත් වඩා…ඇයි එහෙම කෑ ගැහුවෙ…ඔයාට විකුම් අයියගෙ තාත්ත එච්චරටම අඳුරගන්න බැරි වුණාද..” 

හුස්මක් ගන්නේවත් නැතිව ආමන්තා හිතට නැගි ප්‍රශ්න සියල්ල අසා ගෙන ගියා ය. ආදිත්‍යා හයියෙන් හුස්ම ගනිමින් සිටියා ය. නංගී ට කියන්නේ නැතැයි සිතා උන් දෙයක් දැන් ඉතින් සඟවා ලිය නො හැකි බව ආදිත්‍යා ට දැනිණ.

“දොරට ගහනකොට ම මං දන්නව නංගි ඒ විකුම් නෙවෙයි කියල. ඒ සේනක කියලත් මං දන්නව”

“සේනක…”

ආමන්තා පුදුම වූයේ අක්කා වැඩිහිටියෙකු හට එසේ නමින් කතා කරනු මීට පෙර ඈ අසා නැති නිසා ය. ඇරත් කට පුරා තාත්තා කියා අමතන මාමණ්ඩිය ගැන ඈ එසේ කතා කළේ ඇයි? අමුතු සැකයක් ඇගේ ගැහැනු හිතට ඉඳිකටු තුඩින් අනින්නට වූයේ ය.

“ඔය මිනිහ මේ ළඟකදි ඉඳං එක විදිහක්. එයා හිතං ඇති පුතා නැති වෙනකොට මං තාත්තව හරි මේ කාමරේට දාගන්න බලං ඉන්න ජාතියෙ ගෑනියෙක් කියල”

“අක්..කෙ…”

“මට ඕන්නං තිබුණා සද්ද නැතුව ඉන්න. ඔයත් ඉන්න එකේ මට බයක් නෑ. තනියෙං ඉන්න වෙලාවක මිනිහ ලිමිට් එක පැන ගෙන ආවොත් කියල තමයි මං පොල්ලකුයි පිහියකුයි තියං ඉන්නෙ. ඕන්නං මට තිබුණා දොර ඇරල මිනිහ අනවශ්‍ය දේකට ආවනං කන අතගාල යවන්න. ඒත් මට ඕන වුණේ මේකා ගැන ගෙදර අනිත් අයට දැනගන්න අරින්න. මං කටින් කිව්වනං මිනිහ මට අනවශ්‍ය ඇඟෑළුම් පාගෙන එනවයි කියල…ගෙදර මිනිසෂ් කීයටවත් විශ්වාස කරන්නෙ නෑනෙ නංගි. මේ රෑ ජාමෙ මිනිහ මගෙ දොරට තට්ටු කරල මං බය වෙලා කෑගැහුවම කාගෙත් ඇස් ඇරෙයිනෙ. මං මෙහෙම අවස්තාවක් එනකල් බල බල තමයි හිටියෙ”

“අනේ අක්කෙ”

ආමන්තා යහන මත හිඳ ගත් වන ම දෝත පා සොයුරිය බදා ගත්තා ය. අක්කා කෙරේ දරා ගත නො හැකි දුකක් ද ස්නේහයක් ද එක වර ඇය ට දැනෙන්නට ගත්තේ ය. ඒ හැඟීම ආමන්තා ගේ ඇස් වලින් කඳුළක් දොවා හළේ ය. නමුත් ආදිත්‍යා නම් කඳුළක් හෙළුවේ නැත.

“ඔයා පව් අක්කෙ”

“මං හිතන්නෙ ටික දවසකට අයෙ මිනිහ එන එකක් නෑ මෙහෙම දේකට. හැබැයි නංගි සේනක මාව බිලි බා ගන්න කුරුමානං අල්ලන එක නතර කරන්නෙ නෑ”

“අනේ කොහොමද අක්කෙ එහෙම කරන්නෙ…එයාගෙ පුතාගෙ වයිෆ්නෙ ඔයා…”

“ඔය මිනිස්සුන්ට ඕන ඇති නෑදෑකමක් නෑ නංගි. අනිත් එක සමහර තාත්තල තමංගෙම දුවලව දූෂණය කරන නින්දිත ලෝකයක් මේක..සේනක දන්නව මායි විකුමුයි අතරෙ තියෙන ප්‍රශ්නෙ. මිනිහ බලන්නෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. උං හිතන්නෙ ගෑනු කියන්නෙ ඒ තරං දුර්වල දියාරු සත්ව කොට්ටාසයක් කියල. මිනිහෙක් නැතුව රැයක් ගත කර ගන්න බැරි…”

ආදිත්‍යා ගේ ඇස් දිළිසුණේ ය. ජයග්‍රාහී හැඟීමක් ඇය භුක්ති විඳිමින් සිටියා ය. ඒ අතරින් වුව ඈතින් දිළෙන රතු එළි ඈ හැඳින්නේ නැතිවා නොවේ. සේනක කියන්නේ ගත ලූ සුදු පිරුවටයට මුවහ වී අමනුස්ස වැඩ අතින් පෙරමුණේ ගමන් කරන ඇමති නළුවෙකු බව ආදිත්‍යා නො දන්නවා නොවේ.

“මේ මිනිහ මාව මේ ගේ ඇතුළෙම මරල දාන්න වුණත් පුළුවන්. ඒක නිසා කරන දෙයක් මට කරන්න වෙන්නෙ පරිස්සමෙං නංගි. ඔයාට තේරෙනව නේද…”

මේ තරම් දෙයක් සිදු වී ත්, සුව සේ නිදන පුතු දෙස ආදිත්‍යා බලා සිටියා ය. හදවත සත් කඩකට පැලෙන්නට එන රිදුමක් ඇය ට දැනිණ. තරුණියක පති කුලයට එන්නේ මොන තරම් සිහින හිතින් දරා ගෙන ද? නමුත් ඔවුන් ගෙන් කී දෙනෙකු ගේ ජීවිත ඒ තුළ කුඩු පට්ටම් වී යනවා ද? 

“මට බයයි අක්කෙ ඔයා ගැන”

ආමන්තා උගුර යටින් කියා ගත්තා ය. 

“ඔයා මේ ගේ අතඇරල යන්නෙ නැත්තං මට ඇවිත් මේ ගෙදර නතර වෙන්න වෙයි…ඔයා වෙනුවෙං…”

“මේ ගැන කාටවත් කියන්න එපා”

එවර ආමන්තා ගේ මූණට ආවේ සෙල්ලක්කාර සිනහවකි. ඇය ඇස් යටින් සොයුරිය දෙස බැලුවා ය.

“දුමාල්ට කියන්න එපා කියලනෙ ඔය කියන්නෙ”

“මං කිව්වෙ අම්මලට කියන්න එපා කියලයි පිස්සි”

ආදිත්‍යා යහනෙහි වැතිර ගත්තා ය..මේ ජීවිත ඔරුව කොයිබට දියත් කරන්නද කියා තවමත් ඇය ට සිතා ගත නො හැකි ය. සැමියා ඇය ව ප්‍රතික්ෂේප කරනා කුල ගෙදරක දිගින් දිගට ම රැඳීමේ අරමුණ කුමක් දැයි එක වරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතු ය. නමුත් කුළ ගේ හැර පියා යා නො හැකි ප්‍රායෝගික ගැටළු රැසක් ද රාක්ෂ වේශයෙන් ඈ ඉදිරියේ දත් විළිස්සා ගෙන හිඳී. 

බෝ රෑ බෝ වන තුරු ආදිත්‍යා නිදි නැති ව කල්පනා කළා ය. ශක්තිමත් ගැහැනුන් ට වුව ජීවිතය ගැන ක්ෂණික තීරණ ගත නො හැකි අවස්ථා උදා වන්නේ ය!

“මොකද්ද අර කරපු කැත වැඩේ”

උදේ ම සේනක ව අල්ලා ගත් සඳසීලී ඔහු විනිවිද බලා ගෙන ම ප්‍රශ්න කළා ය.

“මොකද්ද…”

“මහ රෑ ගිහිං ආදිත්‍යා ගෙ දොරට ගැහුවෙ…”

“යකෝ මේක මාර වැඩක්නෙ. ආදිත්‍යා ගෙ නෙවෙයි මං විකුම් ගෙ දොරටයි ගැහුවෙ. ඒ යකා ඇවිත්ද බලන්න. ඊයෙ රෑත් සුද්ද සිංහලෙන් කිව්වෙ ඕක තමයි”

තමන් කළ වරදක් වහ ගත හැකි හොඳ ම ක්‍රමය ඒ ගැන විමසන සිය බිරිඳට ශබ්ද නගා කතා කිරීමයි කියා බොහෝ පිරිමි සිතති. ලෝකයේ වැඩිපුර සිටින්නේ එවන් හඬ නැගීම් ඉදිරියේ බිම බලා ගෙන නිහඬ වන ගැහැනුන් ය. සඳසීලී ද කලින් එසේ නිහඬ වූ ගැහැනියකි. ඒ, රැක ගන්නට පවුලක් වෙතැයි නිරන්තර සිතූ බැවිනි. 

“වෙනදටත් විකුම් ඇවිත්ද බලන්න ඔහේ ගිහිං ඒ දොරට ගැහුවද…”

ඇගේ ඇස් වලින් ගින්දර පිට විය. මෙහෙව් හයියක් මීට පෙර කිසි දා ක සේනක සිය බිරිඳ වෙතින් දැක නැත. 

“මේ ගෙදරින් පිටදි තමුන් මොන නැහැදිච්ච කං කළත් මං කතා කරල නෑ සේනක. හැබැයි මේ ගේ ඇතුළටත් ඒ බලුකං අරං එන්නනං හදන්නෙ…මං නිකං බලං ඉඳියි කියල හිතන්න එපා”

“පිස්සුද මනුස්සයො…”

එවර සේනක තරමක් හඬ නගා සිනහ වූයේ ය.

“ගෑනු කියන්නෙ මහ පුදුම ජාතියක් අම්මප”

ඒ සිනහවේ කෙලවර ඔහු කියා ගත්තේ ය.

“හිත හිත කතා කර කර ඉන්න ප්‍රශ්නයක් නැත්තං එහෙම එකක් කොහෙං හරි හොයාගන්නවත් පුළුවන් ද කියලයි බලන්නෙ..ප්‍රශ්නයක් නැත්තං ගෑනුන්ට නිකං පිස්සු වගෙයි මං හිතන්නෙ”

ඔහු වසර ගණනාවක පළපුරුද්ද මත ප්‍රශ්නය හැර ගියේ එසේ ය. කෙසේ වෙතත් ආදිත්‍යා ගැන ඇස ගසා ගෙන සිටිත යුතු යයි සඳසීලී සිතා ගත්තා ය. ඒ කෙල්ල කබලෙන් ලිපට වැටෙන්නට හැරිය යුතු නැත.

උදා වූයේ සෙනසුරාදාවක් වීම ආදිත්‍යා ට සැනසුමක් විය. ඒ දකුණු පස සඳැල්ල පැත්ත පාළුවට නො යනා බැවිනි. කෑ ගැහුවත් ඇහෙනා මානයක කෙනෙක් ඉන්නා එක මොන තරම් දෙයක් ද කියා දැනෙන්නේ ජීවිතයේ තනි වූ මිනිසුන්ට ය. දුමාල් තිලිණ කළ ඕකීඩ් මල් කළඹ තව දුරටත් පර නොවී මේසය මත වූයේ ය. ඒ හා වූ දේවදාර කොළයක් පොඩි කොට ආදිත්‍යා සුවඳ බැලුවා ය. 

“මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට කෝල් කරන්න. නැත්තං දුමාල් අයියට කියන්න”

ආමන්තා ගෙදර ගියේ එසේ කියමිනි. මින්දුල ව සඳැල්ලේ තියා ගෙන, කථන චිකිත්සකවරුන් උපදෙස් දී ඇති පරිදි ආදිත්‍යා ඔහු ට වචන කියැවී ය. දුමාල් සඳැල්ලට ආවේ ඒ වෙලාවේ ය. 

“බූම්…පදිනවද…”

දුමාල් ව දුටු මින්දුල වහා කීවේ ය. ඔහු අදහස් කළේ දුමාල් සමගින් රිය පදින්නට ඕනෑ ය යන්න ය. ආදිත්‍යා ගේ ඇස් තෙත් වී ගෙන ආවේ ය. 

“පුතා අරං එළියට යමු”

දුමාල් ආදිත්‍යා ගේ දුරකතනය ට පණිවිඩයක් එව්වේ ය. 

“හවසට…නංගි ආවම යං”

ආදිත්‍යා පිළිතුරු යැව්වා ය. දුමාල් ගේ තොල් කොනක් දඩබ්බර සිනහවකට ඇද විය. 

විකුම් ආදිත්‍යා සොයා ආවේ තරමක නො රිස්සුමකිනි. අසල්වැසියා සඳැල්ලේ සිටිනු දුටු විකුම් ඔහු ව ගණන් නො ගන්නා බවක් හැඟවී ය. දුමාල් ඇතුළට යනවා නම් හොඳ යයි ආදිත්‍යා සිතුවා ට ඔහු ගියේත් නැත.

“මොකද්ද ඊයෙ රෑ නැටුවයි කියන නාඩගම…ඔච්චරම තාත්තව අඳුරන්නෙ නැද්ද…”

ආදිත්‍යා විකුම් දෙස රවා බැලුවා ය.

“අඳුරන හින්ද තමයි බය වුණේ”

“මොකද්ද කියන්නෙ..”

ඔහු ගේ හඬ තරමක් උස් ව නැගිණි. ආදිත්‍යා මින්දුල ව වඩා ගනිමින් ම ඉක්මන් ගමනින් කාමරය දෙසට ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles