“මිනිස්සු හිතන්නේ තනිකම නැති වෙන්න කවුරුම හරි හිටියම හරි කියල..”
කාව්‍යා කියන්නේ කලකිරීමෙනි.සකුණ එබසට මඳ සිනාවක් පා නිහඬ වූයේ ය.ඔහු ද ඇගේ තනිකම ගැන සිතී ය.මේ වචන තමන්ට ද කියන ඒවාදැයි සිතූ ඔහු කැළඹී ගියේ ය.
“හොඳට වැහි වැටෙන කොළ පාටට ගස් පිරිච්ච කැලෑවක ඉන්න කුරුල්ලෙක්ට කූඩුව හදලා තිබ්බ ගහ දිරලා ගියා කියලා කාන්තාරේට යන්න කියන එක මහ මෝඩ කතාවක් කියල එයාලට තේරෙන් නෑ.”
කාව්‍යා තමන්ගේ සිහිලැල් ප්‍රේමය සිහි කරමින් මෝටර් රථයේ වීදුරුව මත හිස තබා ගත්තා ය.සෙනුර නික්ම ගිය දිනවල මෙන් ඔහු තමන්ගේ හිස පිරිමදින බව තමන් සමඟ කතා කරන බව දැනුණා නම් මේ වේදනාව මෙතරම් ප්‍රබල නැති බව ඈ ඉනික්බිති සිතුවා ය.
“මට හරි පාළුයි සකුණ..”
ඈ එසේ මිමිණුවේ හදිසියේ ය.
“ඔයා ආවේ නැත්තෙත් නංගි බැන්නවත්ද?”
අනතුරුව ඈ ඇසුවේ හදවත ඉකිලන හඬට සවන් දෙමිනි.සකුණගේ නිහඬවීම වඩාත් තදින් දැනෙන්නේ ඇයිදැයි ඇය හදවත සමඟ තර්ක කරමින් සිටියා ය.
“මං කිව්වේ,ඔයාට තනියම ගොඩ නැගෙන්න ඉඩ අරින්න හිතුවා.භාවනාටනම් මම කවදාවත්ම බය නෑ.ඒත් මං ඔයාට ප්‍රපෝස් කරානෙ.ඔයා ඒ යෝජනාවට අකමැති නිසා මටත් ටිකක් හිත හදා ගන්න බැරි වුණා..”
කාව්‍යා තදබදයෙන් ඉතිරී යන මාවත දෙස බලා සිටියා ය.අතීතයේ වාහන තදබදය ඇති වෙලාවට ඈ ප්‍රිය කළේ මිනිස් මුහුණු වල ඇති හැඟීම් කියවන්නට ය.නමුත් දැන් එය අසීරු ය.සෑම මුහුණක්ම මුඛ ආවරණයකින් වැසී ඇත.මිනිසුන්ගේ දෑස් කියවන්නට කාව්‍යා අකමැති ය.දෑස් මත ලියැවෙන්නේ ප්‍රේමයේ හැඟීම් බව ඈ සිතන්නී ය.
“සකුණ.”
කාව්‍යා තනිව කළ සටනක අවසන් ඵලය ගැන සකුණට කියන්නට සිතුවා ය.
“මට ඔය උමේෂ්ව,භාතියව,නැන්දගෙ මනමාලයව පේන්නේ මහ කාන්තාර වගේ.ඒ මිනිස්සු මාවත් පුච්චලා ඒ අයත් පිච්චෙන්න හදන්නේ.වෙන තේරුමක් එයාලට නෑ.මටත් කිසිම තේරුම ඇති ජීවිතයක් අයිති නෑ ඒ මිනිස්සුන්ට ළං වුණොත්..”
විවාහය කියන්නේ තනිකමට බෙහෙතක් නොවන බව කාව්‍යා වටහා ගෙන හුන්නා ය.ඇය එනිසාම තනිකම ගැන විස්සෝපයෙන් ඇයට ළං වන්නට තනන අය ගැන දැක්වූයේ අකමැත්තකි.
“සකුණ,මං ඔයාට කිව්වේ..මං මහ වැස්ස වැටෙන මහ වනන්තරේක හිටිය කුරුල්ලෙක් කියල..ඔයාට හිතෙන් නැද්ද ආයේ මං කූඩුවක් හදනවනම් හදන්න ඕන ඒ වගේම කැලේක කියල..නෑ ඒ කැලේම ගහක කියල..”
සකුණට ඒ වදන් වල අමුත්තක් දැනිණ.ඔහු රියෙහි වේගය බාල කළේ ය.
“ඔයත් ගහක් වගේ මනුස්සයෙක් තමයි සකුණ..”
කාලාන්තරයක් අසන්නට බලා සිටි වචන කිහිපයක් කාව්‍යාගේ මුවින් පිට වෙද්දී සකුණට දැනුණේ ලෝකයම අත්පත් කර ගත් පමණක සතුටකි.ඔහු ඈ දෙස ප්‍රේමය පිරී ගිය බැල්මකින් බලා සිටියේ ය.
“ඒ වුණාට කූඩුවක් හදන්න කල් යනව සකුණ..ගහක් දිරලා බිමට වැටුණට පොලොවට පස් වෙන්න කාලයක් යනව..”
සෙනුරගේ මතක සහ ඔහු පිදූ ප්‍රේමය කාව්‍යා දිවි ඇති තුරු අමතක නොකරන බව සකුණ දනියි.ඇයට එය අමතක කරන්නැයි කීම ප්‍රේමය නොවන බව ද ඔහු දනියි.
“අපෙ උදාරා අකලංකයා අමතක කරන්න ඕන කාව්‍යා.ඌ වගේ රැවටිලිකාරයෙක්ගෙ මතක එයා කර තියාගෙන යන්න ඕන නෑ.ඒත් ඔයාට මැරෙනකම් සෙනුර අමතක වෙන්නේ නෑ කියල මං දන්නව.ඔයා එයාව හිතේ තියා ගන්න.අමතක කරන්න ඕන නැති දේවල් අමතක කරන එකම වේදනාවක්..”
සෙනුරගේ අම්මා ද තමන්ගේ අම්මා ද මේ තීරණය ගැන අප්‍රමාණ සැනසීමට ද සතුටට ද පත්වන බව කාව්‍යා දනියි.නංගී පරල වන බව ද ඇයට සැක නොවේ.නමුත් ඈ සාංකා ගත්තේ වෙනත් හේතුවකට ය.
“ඔයාගේ අම්ම හුඟක් දුක් වෙයි සකුණ.”
අම්මා තමන්ගේ සතුට දැක සන්තෝස වන්නියක බව සකුණ සිතී ය.ගැටළු පැමිණිය හැකි ය.නමුත් කාව්‍යා රැක ගන්නට තමන්ට හැකි බව ඔහු දැන හුන්නේ ය.
“මං අම්මට කතා කරන්නම්..අපි ඒ ප්‍රශ්නෙත් හෙමින් විසඳෙන්න ඉඩ දෙමු..”
සකුණ නැවත රිය පණ ගැන්වූයේ එසේ කියමිනි.
“අපි යංද?”
ඔහු අසයි.
“කොහෙද?”
කාව්‍යා අසන්නේ දෑසින් හිනැහෙන අතර ය.
“එකට වයසට යං..”
කාව්‍යාගේ සැබෑ සිනාවක් මුහුණ හැඩ කළේ බොහෝ කාලයකට පසු ය.ඈ මල් මල් සිනා ඇතිව පිපෙමින් හුන්නා ය.