ළපෙති මල් -24

ලංකා අඩ මත් ගතියකින් රාත්‍රී අහස දෙස බලා හුන්නා ය.ආකාස පියස්සෙහි ඇති අසුනකට වී හිමාලි ඇය දෙස බලා සිටියේ සමච්චල් බැල්මකිනි.මොරීන් එනතුරු කල් මරන්නට නුවුමනා බව ඉනික්බිති ඇය සිතුවා ය.මොරීන් මුළුතැන්ගෙය තුළ ය.ඇය ජයන්ති සමඟ එක් වී ආහාර පිසින්නී ය.

“ශිරානි එන් නෑනෙ..”

හිමාලි අසන්නේම ඔලොක්කුවට ය.

“එයා එන් නෑ.හෙට අසපුවට යන දවසලු..”

තවත් වයින් උගුරකින් දෙතොල් තෙත් කරගන්නා ගමන් ලංකා පිළිතුරු දුන්නා ය.

“අසපු මන්දා..මොකක්හරි දේවාලයක් අස්සෙ යන්න තියනව ඇති.අද මෙහෙ පෝක් අනන්මනන් උයන හින්දා එන එකක් නෑ.යන්තර වල බල බ්ඳෙනව ඇති..”

හිමාලි නාගරික ගැහැනියක වුවද යන්තර මන්තර ගැන ඒවාගේ පසුපස යන ශිරානිට වඩා දන්නේ කෙසේදැයි අසන්නට ලංකාට සිහි වූයේ නැත.එනිසා හිමාලි තවත් කියවූවා ය.

“එයා ඔයාට කිව්වනෙ නේද? ගුරුකමක් කරල හිමංගි කෙල්ලයි රහලුයි වෙන් කරමු කියල..කෝ ඒක හරි ගියාද?”

ලංකාට මේ ඇනුම්පද වග වැටහේ.මොරීන්ගේ කට හොඳ නැත.යෞවනියක කාලයේ නැන්දම්මා සමඟ අනන්ත ගැටළු ඇති කරගත් මොරීන් දැන් ලේලිය සමඟ කෙහෙවලු පටලවා ගත් හැටියේ ය.හිමාලිගේ හිත හොඳ නැත.උඩින් හොඳ මුහුණ පෙන්වා ඇය රහල්ට කේලම් කියන්නට පවා ඉඩ තිබිණ.එහෙත් ඇය මේ ප්‍රශ්නයේදී තමන්ට අවංක උදව්වක් ලබා දෙන හැඩයක් ලංකාට දැනේ.

“ඔයාට ඕනනම් මට ඔයාව ඇත්තටම ගුරුකම් කරන ඇන්ටි කෙනෙක් ගාවට එක්ක යන්න තිබ්බ.ඉස්සර අපි එක්ක ඇක්ට් කරපු කෙල්ලෙක්ගෙ අම්මා.දැන් නම් ගෑනි නාකියි.ඒ උනාට කරයි.පොළොන්නරු පැත්තෙ.”

ලංකා දෙවුර ගස්සා මිතුරිය දෙස බැලුවා ය.පලකට නැති දෑ වෙනුවට කළ යුතු යමක් ගැන කතා කරන්නට ඇයට ඕනෑ ය.

“විකාර කියවන්න එපා හිමාලි..”

ලංකා තරු පිරුණු අහස දෙස බලමින් ඔබමොබ ඇවිද්දා ය.මොරීන් සහ ජයන්ති රාත්‍රී ආහාරය ද රැගෙන එතැනට ආවේ ඒ මොහොතේ ය.

“ඔය තෙල් බැදුං ජාති එළිමහනෙ කන්නත් හොඳ නෑ..”

ජයන්තිගේ මුහුණ ඒ හැටි පැහැපත් නැත.මොරීන් හිනැහෙමින් කුඩා මේසය මත ආහාර ඇසුරුවා ය.

“අපිට කළු කුමාරයෝ වැහෙන් නෑ ජයන්තියො..අපි දැන් නාකි ගෑනු..”

ජයන්ති ඒ වචන අසා පසු බැස්ස ද ලංකා ඒ වචන වලින් කෝප වූවා ය

“අපි නාකියි කියල අපිම හිතනකොට අපේ මිනිස්සු නෑම්බියෝ කසාද නොබඳියිද? අපිට බැරි ඇයි තාම ලස්සනයි කියල හිතන්න.”

ලංකා කියන්නේ කෝපයෙනි.නූඩ්ල්ස් පිඟානක් බෙදා ගත් හිමාලි හිනැහුණේ අඳුරට ය.

“අපි දැන් නාකියි කියල හිතෙන්නෙ ඔයාගේ සැලෝන් එකේ ඇවිල්ලා පැල වෙන අලුත් නිලියෝ දැක්කම.උන්ට වැඩත් වැඩී..ස්ටයිල් කිරිල්ලත් වැඩි.”

හිමාලි එසේ කියද්දී මොරීන්ට ඕපාදූපයක් විමසන්නට සිත් විණ.මේ ගැන අතීත පුවත්පත් හාවක් හූවක් නොනැගීම ගැන ඇයට ඇති වන්නේ කෝපයකි.සමාජ මාධ්‍ය කුණු රස අවුස්සන වර්තමානයේ නම් හිමාලිගෙන් මේ ප්‍රශ්නය අසන්නට පවා උවමනා නොවන්නට තිබිණ.

“ඔයා ඇයි අනේ ඇක්ට් කිරිල්ල නවත්තන්න හිතුවෙ.පීක් ටයිම් එකේම අතුරුදහන් වුණානෙ අප්පා..”

අඳුර තුළ තිගැස්ම අඩු ය.හිමාලි වචන ගොනු කළේ ප්‍රවේසමින් ය.

“මමීයි ඩැඩීයි ප්‍රොමිස් කරගෙනනෙ තිබ්බෙ.මැරේජ් එකෙන් පස්සෙ මට ඇක්ට් කරන්න බෑ කියලා.රවිත් ඒකටම හරි ගියා..මගේ රංගන ජීවිතේ ඉවරයි..”

එසේ කී ඇය අනතුරුව දෝෂාරෝපණයක් එල්ල කරන්නට ද අමතක නොකළා ය.

“ඔයාලා නම් අනේ මන්ද.පොඩ්ඩක් සෙට් වුණානං මං හැමදාම ඕක කියන්න ඕන.මට සක්සස්ෆුල් ෆැමිලි ලයිෆ් එකක් තියෙන්නෙ ඒවා නවත්තපු නිසා. බබාලා නැතුවට අපි හොඳින් ඉන්නවනෙ.මං වෙන මිනිස්සු එක්ක ඉඳල රවීට අහු වුණෙත් නෑ.රවී පොඩි පොඩි කෙල්ලො යාලු කරගත්තෙත් නෑ.මං රවීගෙ අම්මලා එක්ක මරාගන්නෙත් නෑ..ෂේප් එකේ යනව..”

හිමාලි තමන්ටත් මොරීන්ටත් ඇනුම්පද තොග පිටින් අත් හරින බව ලංකා තේරුම් ගත්තා ය.කිසිම හේතුවක් නැතිව අනුන්ට අපහාස කරන සිරිත ඇයට ලැබුණු හේතුව ගැන සිතමින් ලංකා තවත් වයින් වීදුරුවක් හිස් කළා ය.

“හිමංගි ගැන ඇත්තටම ඔයාට වැඩක් නෑනෙ ලංකා.ඔයාට ඔයාගෙ ශෙයාස් රහල් දුන්නනෙ.ළමයින්ට ඇත්ත තේරුම් යයි.අනික ඔය කෙල්ල මොකෙක්හරි කොල්ලෙක් පටල ගත්තු දාට ඒක රහල්ම තේරුං ගනී.ඔයාටත් ඕනනම් ආයේ මැරි කරන්න.ෆෝටී සික්ස් වුණාට ඔයා මන්දාරාගෙ අක්කා වගේ..විපුල කොහෙ ඉන්නවද කියල හොයමුද?

එසේ කී මොරීන් උස් හඬින් හිනැහුණා ය.විපුලට පසු ජීවිතයට ආ ගිය පිරිමින් කොපමණදැයි සිතමින් ලංකා අහසට හිනැහුණා ය.

හිමාලි හිනැහෙන මානසිකත්වයක සිටියේ නැත.නිළි කිරුළ අතැර නෝන්ජල් මිනිසෙකු වූ රවීගේ බිරිඳ වූ දා පටන් ඇය සිටියේ සල්ලි ගඟක පිහිනා යමිනි.
රවී මුදල් තිබුණ ද මෝඩ මිනිසෙකු බව ඇය දනියි.එනිසා ජීවිතය පහසු ය.

නමුත් හදිසියේ දෑස් අද්දර දිලිහෙන්නේ සැඟවූ අතීතය ය.ඒ අතීතය අනාගතය දක්වා ගෙන නොයන්නට මොනවා කළ යුතුදැයි හිමාලි සිතුවේ වියරුවෙනි.

“එහෙම අතාරින්නෙ ඇයි? ඕනනම් ඔය කෙල්ලව ඉවරයක් කරන්න වුණත් පුලුවන්නෙ..”

ඇය ඒ වචන පිට කළේ ඒ ආවේගයෙනි.මොරීන් හිමාලි දෙස බැලුවේ නොපහන් බැල්මකිනි.

“මොන විකාරෙකටද?රහල්ට ආයෙත් කසාද බඳින්න බැරුවය..”

එහෙත් ලංකා ඒ වචන දිග සිතන්නට ගත්තා ය.මත් බව ඉහළ යද්දී ඇය හිනැහුණේ උස් හඬිනි.

“මොකද ඕවට පාතාලෙයි අරකයි මේකයි හවුල් කරගන්න ඕනයැ.දැන් අර බිනරි නැති කරන්න අපට එහෙම කන්ටැක් ඕන උනාද.නෑනෙ?”

එක්ව දියත් කළ බොහෝ අසංවර මෙහෙයුම් සිහි කරමින් ලංකා පැවසුවා ය. තමන්ට රිදවන ඕනෑම කෙනෙකු නින්දා අපහාස විඳිමින් අවසානය කරා යා යුතු බව ඇය ඇදහුවා ය.

“ඔව් ඉතිං..ඔයාට ඒක නතිංනෙ.වෙන එකක් තියා විපුලත් දැන් ලංකාවෙ නෑනෙ..”

විපුල තමා වෙතින් සැබෑ ප්‍රේමය සොයමින් විකාර නටන්නට ගත් හන්දා ඔහුගේ සීමාවන් ඔහුට සිහි කර දෙන්නට සිදු වූ අන්දම ද ලංකා තවම රහසේ සිහි කරන්නී ය. හිමංගි සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනි ගැටළුවකි.රහල් ඕනෑ පදමට රාගයේ බැඳීම ගැටළුවක් වන්නේ නැත.එහෙත් ඔහු ප්‍රේමයක් පටලා ගැනීම ඇයට ඉහිලුම් නොදෙන්නෙකි.හිමංගි රහල්ගේ ආශාවන් සන්තර්පණය කරන්නියක වීම ලංකාට අදාළ නොවේ.නමුත් ඇය බමුණුසිංහ මැතිණිය බවට පත් වීම ලෙහෙසියෙන් අතැර දැමිය නොහැකි දෙයකි.අනියම් බිරියක මට්ටමේ වටිනාකමක් වත් නොලැබී ලිංගික ශ්‍රමිකාවකගේ තැන තබන්නට තිබූ කෙල්ලක ගෞරවණීය බිරිඳක් කරගත් රහල් සම්බන්ධයෙන් ද ලංකාට ඉසිලිය නොහැකි කෝපයක් දැනේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles