නිලැසි -02

“අක්කි,ඔයා ඉන්නේ කොහෙද?”

රශ්මි නැවතත් අසයි.ඇගේ පැටලෙන හඬ ද කලබලකාරී ස්වරය ද නිලැසිව සොලවන්නට සමත් විය.අම්මා ප්‍රකෝප වී රස්තියාදුකාර ලොකු කෙල්ලට ලේලිය සමඟ බැන වදිනවා විය හැකි බව නිලැසිට සිතිණ.රශ්මි ලේලියකගේ වෙස් ගෙන ඒ කතාවලට හූමිටි නොතබන්නේ නම් යහපත් ය.නමුත් ඈ එසේ නොවේ.නිම්නගේ බිරිඳ වන්නට පෙර සිට රශ්මිට රසාදරීගේ සිත දිනා ගැනීම ඉතා පහසු විණ.ඒ ඇගේ ගතිගුණ හන්දා වන්නට ඇතැයි නිලැසි විශ්වාස කරයි.

“මං කැන්ඩි ඉන්නේ රශී.දැන් එකපාරක් කීවෙ.අම්මිට කියන්න කෝලං අහන්න එපා කියලා.”

නිලැසිගේ කටහඬට නපුරක් තැවරෙද්දී එහා ඉම සිටි රශ්මිගේ සිතට ද කෝපයක් ඇති විණ.රශ්මි මේ ඇමතුම ගත්තේ හදිසි පණිවිඩයක් දන්වන්නට ය.

“අක්කේ,තිසරු අයියා ඇවිල්ලා..”

නිලැසිට ගැස්මක් නොදැනුණා නොවේ.නමුත් ඈ එය රශ්මිට නොපෙන්වීමට සිතුවා ය.

“තිසරු? එයා කොහොමද අද ආවේ? කවුද කීවේ එයා ආවා කියලා?”

නිලැසි මෙවැනි ප්‍රශ්න අසන්නේ උමතුවෙන්දැයි රශ්මිට සැක ඇති වේ.ආරංචියකට මෙපමණ කැළඹෙන්නට තමන් කුඩා දරුවෙකු නොවන බව නෑනන්ඩියට කියන්නට රශ්මිට සිතිණ.

“අයියා ඇවිල්ලා අක්කි.ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතන් නොකියම ඇවිල්ල.දැන් මෙහෙ ඉන්නේ.කවුරුත් කියපු එකක් නෙවේ මම මේ කියන්නේ.මම තිසරු අයියත් එක්ක කතා කරල ඇවිල්ලා මේ කෝල් කරන්නේ..”

රශ්මි ගඟක් ගලන වේගයෙන් කියවන්නට පටන් ගත්තද ඒ කතාව අතරමැද නැවතී ගියේ නිලැසිගේ උස් සිනාව නිසා ය.නිලැසි කිංකිණි සිනාවක් කොක්හඬ ලෑමකට පෙරලාගෙන ය.මේ ගැහැනිය උමතුවෙන්දැයි රශ්මි සිතුවා ය.

“මමත් ඉතිං එයාව සර්ප්‍රයිස් කරා කියන්න නංගි.මම දන් නෑනෙ එයා එනව කියල.මට ගෙදරට වෙලා එයා එනකම් මඟ බලන්න බෑනෙ..”

රශ්මිගේ අම්මා ඇයට ඉගැන්වූ හොඳම පාඩම මිනිසුන්ව විනිශ්චය නොකර හිඳීම ය.ජනප්‍රිය පවුලක තාරකාවක වූ එකම පුතු හා විවාහ වන තීරණයට එළඹෙද්දී අම්මා ඒ කතාව යළි සිහි ගැන්වූවා ය.

“දූ,නිම්නලාගෙ ගෙදර අය ස්ටාස්ලා.එයාලාට කටකත හැදෙනවා.සමහර දේවල් කටකතාම නෙවෙන්නත් පුලුවන්.ඒත් ඒ හැම තීරණයක්ම ගන්න එයාලටත් එයාලගෙ හේතු තියනවනෙ.ඔයා ඒවා ගැන ඔයාගෙ ඇස් දෙකෙන් තීරණ ගන්න එපා.ඔයාට වැරැද්දක් නොවෙනවනම් ඔයාට ඒ අයගේ දේවල් වැඩක් නෑ..”

අම්මා පැවසූ ඒ කතාව රශ්මි මතකයට නඟා ගත්තා ය.නැතිනම් නිලැසි ගැන අපුලක් ඇති වීම වළක්වා ගන්නට ඇය අපොහොසත් ය.

“නංගි,මං තිසරුට කෝල් කරන්නම්.එයාට ගෙදර යන්න කියන්නම්.මම ඉන්නෙ කැන්ඩි…”

නිලැසි එසේ පවසා දුරකථනය විසන්ධි කළා ය.රශ්මි පහත මාලයට නොයන්නට තීරණය කරමින් කාමරයේම රැදුණා ය.රසාදරී මහත්මිය තත්ත්වය සමනය කර ගන්නට සමත් වනු ඇත.

“රශී..”

නැවත දොරට සන් කිරීමකි.ජනප්‍රිය තරුවක විවාහයට තෝරා නොගන්නැයි මිතුරියන් කළ අනාවැකි සිහි කරමින් රශ්මි දොර හැරියා ය.

“අයියා නිදිද?”

දිගැසි කාමරයට පිවිසියේ එසේ අසමිනි.අනතුරුව ඈ අනාරාධිතවම කාමරයේ වූ පුටුවකට වැටුණා ය.මේ කලබල අතරමැද ඇගේ විවාහයේ සැලසුම් සකසන්නට වේයැයි රශ්මි සිතුවේ කැලඹීමෙනි.

“ඊයේ රෙකෝඩින් එකක් තිබ්බනෙ.එන්න රෑ වුණා..”

දිගැසි සුව නින්දකට වැටී හිඳින නිම්නගේ මුහුණ දෙස බලා රශ්මිට නෙතු දැල්වූවා ය.ඇගේ මුහුණ කෝපයෙන් දිස්න වැටී ඇත.

“අපි මහන්සියෙන් වැඩ කරාට වැඩක් නෑ රශී.අර අක්කා කියන මනුස්සය එක දවසින් ඔය සේරම දේවල් කාලා දානව මට ෂුවර්..”

දිගැසිගේ කෝපයට සාධාරණ හේතුද ඇති බව රශ්මිට සිතේ.දිගැසි සහ නිම්න කටකතාවන් ඇති නොවන්නට ජීවිතය රැගෙන යන්නවුන් ය.රාජේන්ද්‍ර වික්‍රමාරච්චිගේ නම රැක ගැනීම ජීවිතයේ ලොකුම අරමුණ කරගත් නිම්න වඩා වෙහෙසවී වැඩ කරන්නට හේතුව ද එය බව රශ්මි දන්නී ය.

“තිසරු අයියා ගියාද?”

රශ්මි ඇසුවේ නිම්න අවදි නොකර පහත් හඬිනි.දිගැසි කෝපයෙන් නළල රැළි ගැන්වූවා ය.

“අරයගෙ එක්සිබිෂන් එකට ෆොටෝස් ගන්න ගිහිල්ලයි කියල අම්මා කිව්වා.අම්මත් හිතන්නෙ එහෙමනෙ.තිසරු අයියා කැන්ඩි යනව කීවේ.ඔයා හිතන්නෙ අක්කා මෙවෙලෙ කොහෙ ඇති කියලද?”

රශ්මි මෝඩ සිනාවක් දෙතොලට නගා ගනිමින් දිගැසි දෙස බැලුවා ය.නිලැසි හිඳින තැන හොඳින් දන්නේ ඈ ඒ ගමන ගැන තමන්ට පැවසූ හන්දා බව දිගැසිට කියන්නට රශ්මිට නොහැකි ය.රහසක් රැකිය යුතු ය.නමුත් මේවා නිම්න දැන ගත් දිනෙක තමන් ද වැරදිකාරියක වන බව රශ්මි නොදන්නවා නොවේ.

“අක්කා ඉන්නේ අර එරන්ද කියන මූසලයගෙ ඇනෙක්ස් එකේ.නුවර ගිහින් ක්වීන්ස් එකේ නවතින්න ඕන පවුලක එකියක් අරූගෙ ගංජා දුම පිරිච්ච ඇනෙක්ස් එක අස්සෙ රිංගන් ඇති..”

දිගැසිගේ හඬ උස්ව නැඟිණ.රශ්මි දෙතොල මත දබරැඟිල්ල තබා නිහඬ වන්නැයි අයැදුවා ය.නිම්න අවදි වනවාට ඈ අකමැති ය.කොහොමටත් දැන් වික්‍රමාරච්චි නිවහන තිසරුගේ පැමිණීමෙන් කලබලයට පත්ව ඇති හන්දා නිම්න නිලැසි ගැන කෝපයට පත් වීමට ඇති ඉඩ ඉතා ඉහළ ය.

“එයා ඔය කරන්නෙ මහ නින්දිත වැඩක් රශී..”

දිගැසි කාමරයෙන් නික්මුණේ රශ්මිට එසේ මුමුණා කියන අතර ය.රශ්මි නළල ඇඟිලි තුඩු වලින් මිරිකා ගනිමින් යහනෙහි හිඳ ගත්තා ය.

නිලැසිගේ ගමන කොයිබටදැයි ඈ සිතන්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles