නිලැසි -06

නිලැසි හැඟීම් වර්ණවල තවරමින් සිතුවම් ඇන්දා ය.තමන්ගේ සහෝදරයා එරන්දව පාවිච්චි කරන්නට උත්සාහ කළ බව සිතමින් ඈ කිපෙන්නට ගත්තා ය.සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලා හිඳින එහෙත් මාවත විවර නොවූ තරුණයෙකුට උදව් කරන්නට ගොස් අසා ගත් කතාව නිසා නිම්න සිටියේ ද කෝපයෙනි.

“අක්කා මල විකාර හිතුවට කමක් නෑ.මං ඒ කොල්ලට කතා කරනවා..”

ඔහු රශ්මි සමඟ පැවසුවේ කෝපයෙනි.නිම්නට සත්‍ය හෙළි කරන්නට අකමැත්තෙන් රශ්මි ළතැවුණා ය.නිම්නට ද ජීවිතය ඉතා සරල සිල්ලර දෙයක් වූවානම් ඔහු ඒ ආරංචිය සාමාන්‍ය විහිළුවක් කර ගන්නවා නියත ය.නමුත් ඔහු ජනප්‍රිය පුද්ගලයෙකු වූ පලියට සබඳතා සැහැල්ලුවට ගන්නේ නැත.සමහර වැඩසටහන් මඟ හැර ඔහු එහි සත්‍ය හේතුව රශ්මිට හෙළි කරන අන්දම ඇය සිහි කළා ය.

“ඔය මනුස්සයා එක්ක මගේ අෆෙයා එකක් තිබ්බනෙ.ආයෙ එකට ප්‍රෝග්‍රෑම් එකකට ගියා කියන්නේ ගොසිප් සයිට්ස් කුලප්පු වෙනවා.ඒක ඔයාටයි එයාගේ හස්බන්ටයි දෙන්නටම හර්ට් වෙන වැඩක්.ඕකට ගියාට හම්බෙන පේමන්ට් එක නැති වුණා කියල අපි බංකොලොත් වෙන් නෑනෙ..”

එවැනි කතා කියන නිම්න රශ්මිට සමීප වූයේ ද පැරණි ප්‍රේමයන් ගැන කියමින් අනුකම්පාව දිනා ගන්නට තැත් දරමින් නොවේ.ඔහු සෑමවිටම ප්‍රේමයට අවංක මිනිසෙකි.

“අපි දෙන්නට සංසාරෙම එකට යන්න ලැබෙනවනම් හොඳයි.ඒ වුණාට මේ පොඩි ජීවිතේ ඇතුළේ මං බැඳගත්ත මිනිහා මොකෙක්ද යකෝ කියල ඔයාට හිතුණොත් දුක් වෙන්න විඳවන්න හදන්න එපා.අපි ඩිවෝස් වෙමු…”

රශ්මිගේ අඩුපාඩු ගැන නොසඟවා පවසන වැරදීම් ගලපා ගනිමින් ඉදිරියට යන නිම්නට නිලැසිගේ ප්‍රේම කතාව ගැන නොකියා හිඳින්නට රශ්මි සිතුවා ය.නිලැසි තිසරුගෙන් වෙන් වන්නට තීරණය කර ඇත්නම් ඒ ප්‍රේමයට වඩාත්ම සහයෝගය දක්වන්නේ නිම්න බව රශ්මි දන්නී ය.නමුත් මෙතැන තිසරු රැවටීමට ලක් වීම නිම්නගේ උදහසට හේතු වන බව රශ්මි දැන සිටියා ය.

“නිම්න,ඕනතරම් චාන්සස් දෙන්න වටින අලුත් ළමයි ඉන්නවනෙ.එහෙම කෙනෙක් එක්ක ඔයාලගෙ වැඩේ කරන්න.ආයේ ඒ ළමයා පස්සෙන් යන්න එපා..”

රශ්මි එපමණක් පවසා නිහඬ වූවා ය.නමුත් ඇයට නිලැසි සමඟ කතාවක් තිබිණ.

“අක්කා,ඔයා ඩිවෝස් එක ගන්නවද?”

ඇය නිලැසිගෙන් සෘජුව විමසුවා ය.අපිළිවෙල පින්සල් පහරවල් කැන්වසය මත තවරමින් නිලැසි හිනැහුණා ය.

“මට මොකක්ද තිසරුගෙන් අයින් වෙන්න තියන හේතුව.ඩිවෝස් එකකට යන්න පුලුවන් එක හේතුවක්වත් මට එයා සම්බන්ධයෙන් පෙන්නන්න බෑ..”

සැබෑවටම ඔහු අත වරදක් නැති බව රශ්මි ද දැන සිටියා ය.නමුත් නිලැසි එරන්දට ආදරය කරන්නට හේතුවක් තිබිය යුතුම බවද රශ්මිට සිතිණ.

“ඉතින් ඔයාගෙයි එරන්දගෙයි සම්බන්ධෙ අයියට කියන්න එහෙනම්.ඔයා ඔය කරන්නේ දෙන්නටම අසාධාරණයක් නේද?”

එසේ නොඅසා හිඳින්නට රශ්මිට නොහැකි විණ.නමුත් ඇගේ පෞද්ගලිකත්වයට අත දැමීම ගැන නිලැසි කෝප වන බව නම් රශ්මිට ඉඳුරාම සහතික ය.

“නෑ..අසාධාරණයක් වෙන්නේ නෑ.මම තිසරුගෙ වයිෆ්.එයාට ලෝකෙට පෙන්නන්න ලස්සන ෆේමස් වයිෆ් කෙනෙක් ඉන්නවා.එරන්ද මගේ බෝයි ෆ්‍රෙන්ඩ්.මං එයාව ආදරෙන් පුරවනවා.එයා මාව ආදරෙන් පිස්සු වට්ටනවා.එරන්දට මාව කොළ කෑලිවල ලියල අයිති කරගන්න ඕන නෑ..”

මෙතැන අසාධාරණය තිසරුට බව රශ්මි වටහා ගත්තා ය.තමන්ට ප්‍රයෝජනයක් නැතත් ඈ දිගින් දිගටම කතා කරන්නට සිතුවා ය.

“ඒත් තිසරු අයියා ඔහොම ඔයාව බෙදා ගන්න කැමති වෙයිද අක්කා..”

නිලැසි කැන්වසයට හිනැහුණා ය.

“නෑ..හැබැයි මට ඒක අදාළත් නෑ.තිසරු මහ පටු විදියට හිතන මිනිහෙක්.ඇමරිකාවේ හයිස්ටඩීස්වලට ගිහින් හිටියට සුද්දියෙක් සෙට් කරගන්නවත් බැරි වුණු මිනිහනෙ.ඒ මනුස්සයගෙ ලෝකෙ මං වටේ කැරකෙනවා.ඒක ඉතින් මට නතර කරන්න බෑ.ඒ උනාට එරන්ද හරි ලොකු ඇහැකින් ලෝකේ දිහා බලන්නෙ.එයා දන්නවා ආදරේ තියෙන්නේ එයා ගාව කියලා.මට තිසරුගෙ ළමයින්ට අම්මා වෙන්න සිද්ධ වුණත් එයාට රිදෙන් නෑ..”

ආදරය සම්බන්ධයෙන් නිලැසි පවසන කාරණා ගැන රශ්මිට දැනුණේ අපුලකි.කඩවසම් වූවාට ධනවතෙකු වූවාට ආදරය ඇති බව පෙනුණාට තිසරු සැමියෙකු ලෙස අසාර්ථක වන්නට හේතු තිබෙන්නට හැකි බව රශ්මි දනියි.එසේ නම් මුලින්ම ඔහුට යන්නට දිය යුතු ය.

“එරන්ද ෆැමිලි ලයිෆ් එකකට ආස නෑ රශී.එයාට ගෙයක් නෑ.හරි ආදායමක් නෑ..එයා කැමති කුරුල්ලෙක් වගේ නිදහසේ ඉන්න..”

ඒ වචන රශ්මිට බොහෝ දේ පැහැදිලි කරන්නට සමත් විණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles