මතක දිගහැරුම 99 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ නමවන දිගහැරුම ,

පුතුන් තිදෙනාගේ වැඩ කටයුතු සහ නිවසේ වගකීම් ඉටු කරන අතරතුර හෂාන්ගේ කටයුතුවලටද මා සහයෝගය ලබා දුන්නෙමි.කතරගම නවාතැන වෙත නිතර නිතර යාමද අප පුරුද්දක් කර ගත් අතර එම බිම් කොටසෙහි සම්පූර්ණයෙන්ම වගා කිරීමට අප සැලසුම් කළේ ඒ අතරතුරය.එම ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ එක් කාලයකට පමණක් නිසා එය අධික වියළි කලාපයක් විය.එම නිසා වගා කටයුතු සඳහා බවුසර්වලින් වතුර ලබා ගැනීමට අප හට සිදු විය.මා අතින්ම සිටවූ බොහෝ දේවල් අදටත් එම වගාවෙහි ඇත.කැරට් වැනි එළවළු ද අප එහි වගා කලෙමු.ඒවා සාමාන්‍යයෙන් වෙළඳපොළෙහි දක්නට ලැබෙන විශාල ප්‍රමාණයේ කැරට් නොවුනද විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර නිසා ඒවා කිසිදු බියකින් තොරව ආහාරයට ගත හැකි තත්ත්වයේ කැරට් විය.ඒවාට අමතරව වම්බටු , බණ්ඩක්කා, මෑකරල්, දඹල ඇතුළු එළවළු වර්ග රාශියක්ද අප වගා කළෙමු.

වගාවේ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අප විශාල පරිශ්‍රමයක් දැරීමට අප හට සිදුවිය . ඇතැම් අවස්ථාවලදී කෙසෙල් පඳුරු වල කෙසෙල් පීදීගෙන එන විට , ඒ අසල ඇති වැටවල් බිඳගෙන පැමිණෙන අලින් විසින් කෙසෙල් පඳුරු විනාශ කර දමයි.එපමණක් නොව බඩ ඉරිඟු ශාක මොණරුන්ගෙන් ප්‍රවේශම් කර ගැනීමට ද අපට සිදුවිය.වගාවේ විවිධ ස්ථානවල සිටවූ අඹ ගස් වල හටගත් ” යාපනේ අඹ ” ඉතාම ප්‍රනීත රසයකින් යුතු විය.එම ප්‍රදේශයට මිනිසුන් විශාල වශයෙන් හරක් පට්ටි දක්කාගෙන එන බැවින් වගාවේ කටයුතු සඳහා ගොම පොහොර වලින් අඩුවක් නොවීය.එම ප්‍රදේශයේ පස ද රත් පැහැගත් ඉතා සරු පසක් විය .අපගේ දරුවන්ද වගාවේ කටයුතු සඳහා ඉතාම කැමැත්තෙන් අපට හා සේවකයන්ට සහයෝගය ලබා දුන්හ.වගාවෙන් ලැබෙන නැවුම් එළවළු සහ පළතුරු අප කොළඹ නිවසට රැගෙන එන්නේ පුදුමාකාර සතුටක් හිතේ ඇතිව වන අතරම අප බොහෝ විට ආහාරයට ගත්තේ අපගේ වගාවෙන් ලබා ගත් දේවල්ය.රසායනික පොහොර වර්ග හෝ කෘමිනාශක වර්ග හෝ අපි යොදා නොගෙන වගා කටයුතු කරන බැවින් එම එළවළු සහ පළතුරු බියකින් සැකයකින් තොරව අපගේ දරුවන්ට ද ලබාදීමට අපට හැකියාව තිබුණි.

අපගේ නවාතැන ආශ්‍රිත ප්‍රදේශයට විවිධාකාරයේ කෘමි සතුන් සහ මැස්සන් පැමිණෙන විට ඔවුන් පලවා හැරීම සඳහා අපගේ සේවකයන් විවිධ ක්‍රම භාවිත කළහ.නවාතැන ආශ්‍රිතව කොහොඹ ගස් බොහොමයක් තිබූ නිසා ඔවුන් කොහොඹ කොළ කොටා , දර පිළිස්සූ අලු ද ගෙන පැරැන්නන් විසින් භාවිත කළ උපක්‍රම ප්‍රයෝජනයට ගත්හ.

කතරගම පිහිටි අපගේ නවාතැන වෙත පැමිණීමට බොහෝ දෙනා ප්‍රිය කළහ.අප එහි යන විට බොහෝ අවස්ථාවන්වල දී හෂාන්ගේ හිත මිතුරන්ද අප සමඟ ගමනට එක් වූහ.ඒ ආකාරයට අප සමග පැමිණි හෂාන්ගේ හිත මිතුරන් කිහිප දෙනෙක් අප නවාතැනෙහි ඇති කොහොඹ ගසෙහි ඉදිකළ tree house එක තුළට වී විනෝද වෙමින් ගී ගයමින් සිටියහ.එසේ සිටින අතරතුර එකවරම ඔවුන් දැක ඇත්තේ විශාල නාගයෙකු කොහොඹ ගහේ අතු දිගේ ඉහලට පැමිණෙන ආකාරය යි.සියලු දෙනාම බියට පත්වී කොහොඹ ගහෙන් බැස පැමිණ ඇත.කෙසේ හෝ ඉන් පසුව tree house එක තුළට වන්නට තිබූ ගහේ අතු වලට අප ඇලුමිනියම් තහඩු එතුවේ සර්පයන්ට පැමිණීමට නොහැකි වන ලෙස ය. මන්ද එම ස්ථානයේ අපගේ දරුවන් ඇතුළු බොහෝ දෙනා ගැවසෙන බැවින් ආරක්ෂාව පිළිබඳව සිතීම ද අප කළ යුතු විය.

නවාතැනෙහි ඇති අපගේ කාමරයට පිටත එළිමහනට වන්නට තබා ඇති ඇඳන් කිහිපයක් ඇත.ස්වාභාවික වාතාශ්‍රය සහ හුළඟ හොඳින් ලැබෙන එම ස්ථානයේ සිට විවේක ගැනීමට මා ඉතා ප්‍රිය කරමි.දිනක් මා එම ස්ථානයේ ඇඳක් මත හාන්සි වී දෑස් පියාගෙන සිටියෙමි.ඒ අවස්ථාවේදී අපගේ වගාවේ කටයුතු සඳහා පැමිණ සිටි දෙමළ ජාතිකයන් දෙදෙනෙක්,

” නෝනා එන්න ,නෝනා එන්න , කබරගොයෙක් එනවා. එන්න පෙන්වන්න “

කියමින් කෑ ගැසීය.කලබලයට පත් වූ මම වහාම ඔවුන් කෑ ගසන ස්ථානයට දිව ගියෙමි.මා එම ස්ථානයට ගිය විට දුටුවේ කබරගොයෙක් නොව විශාල කිඹුලෙකි.වතුර හිඟ කාලයට කිඹුලන් වතුර සොයමින් ඇවිද යාම අපට සවස් කාල වලදි ඒ ආකාරයෙන් බොහෝ විට දක්නට ලැබුණි.

කෑදැත්තන් රංචු පිටින් ඉගිළ ඒමද මේ ප්‍රදේශය ආශ්‍රිතව සුලභව දක්නට ලැබෙන සුන්දර දසුනකි.අප වෙනුවෙන් ඉටුකළ කාමරයෙහි ඉදිරිපිට දිරාගිය ගසක් තිබුනි.කෑදැත්තන් විශාල වශයෙන් පැමිණ එම ගසේ වසා සිටින ආකාරය අපට බොහෝ විට දක්නට ලැබුණු අතර කාලයක් ගතවන විට කෑදැත්තන් ප්‍රමාණය බිඳෙන් බිඳ අඩුවන වග අපට දැනුණි.මා ඒ පිළිබඳව තරමක් සොයා බැලූ විට එම ප්‍රදේශයේ පුද්ගලයකු මා හට පැවසුවේ ඇතැම් අය කෑදැත්තන් දඩයම් කර ආහාරයට ගන්නා බවයි.නමුත් එය ඇත්ත වශයෙන්ම එසේ සිදු වනවා දැයි මා නොදනිමි.එය එසේ සිදු වනවා නම් මා එය දකින්නේ ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ලෙසය.මන්ද , අප සියලු දෙනාවම ආරක්ෂා කරන ස්වභාව ධර්මය අප විසින් ද ආරක්ෂා කළ යුතුය යන හැඟීම මා තුළ නිරන්තරයෙන්ම තිබීම නිසාය.බොහෝ අවස්ථාවන්වලදී විවිධ පුද්ගලයන් සතුන් දඩයම් කර එම මස් අවශ්‍යදැයි අපෙන් අසන විට අප ඒවා ප්‍රතික්ෂේප කරන අතර එවැනි දෑ අපගේ නවාතැනට රැගෙන නොඒමට අප කටයුතු කරන්නෙමු.එපමනක් නොව එවැනි දෑ වලින් වළකින ලෙසට අපගේ සේවකයන් හට ද අප උපදෙස් දී ඇත්තෙමු .

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles