තමන්ගේ මට්ටම

“මොකද චතූ දුකින් වගේ..”

ගිහානි එහෙම ඇහුවේ ලොකු කල්පනාවක ඉන්න බව පෙනෙන චතුරිකාගෙන්.චතුරිකා මොකුත් නොකියා විනාඩි කිහිපයක් ඉඳලා පුටුවත් කරකවාගෙන ගිහානි පැත්තට හැරුණා.ඊටත් පස්සේ චතුරිකා තමන්ගේ දුක කියන්න පටන් ගත්තා.

“අනේ ගිහානි, අපේ බබා මේ ටිකේ කන්නෙම නෑ අප්ප.මොනව කරලවත් කවාගන්න බෑ.”

වෛද්‍යවරයෙක්ගේ නමක් කියපු ගිහානි ඒ වෛද්‍යවරයා ළමා ගැටලු වලට ඉසිවරයෙක් වගේ කෙනෙක් බව කියද්දී බබාට කිසිම ගැටලුවක් නෑ කියලා ඒ වෛද්‍යවරයා කියපු හැටි චතුරිකා හෙළි කරා.

“එහෙනම් බය වෙන්න දෙයක් නෑ.ඔය එක එක වයස් වල හැටි.අපේ නිර්වාන් පොඩි කාලේ ඔහොම තමයි කාලෙත් එක්ක හරිගියා.මාත් ඩොක්ට ගුණසේකර ගාවට කොච්චරනම් දිව්වද?”

ගිහානි හැදුවේ චතුරිකාව සන්සුන් කරන්න.චතුරිකා ඒ වචන පිළිගන්න බව පෙනුණත් වැඩ ගොඩක හිටිය ඉමාලි නිසා තත්ත්වය සහමුලින්ම අවුල් වෙලා ගියා.

“ඔයාගේ අතින් මොකක්හරි වරදක් වෙලා බබාගේ කෑම රටාව වෙනස් වෙන්න ඇති.නේද? එහෙම තමයි මට නම් හිතෙන්නෙ.මමනම් අපේ සනුකිට ඔක්කොම ගාණට පුරුදු කරා.කන බොන ටයිම්,ස්ලීපින් ටයිම් ඔක්කොම..ඇත්තටම අපේ සනුකි නම් ෂෝක් බබෙක් අප්පා..”

මේ වෙලාවේ ඉතා යහපත් දරුවන්ගේ විස්තර වලින් චතුරිකාට වෙන හොඳක් නැති බව හිතුණත් ගිහානි කට වහගත්තා.ඊටත් පස්සේ ඉමාලි තව තව බොහෝ දේවල් කියමින් ඇගේ දරුවා මොනතරම් සුන්දර සහ කරදර රහිත දරුවෙක් ද කියන එක චතුරිකාට මතක් කළා.

එදා දවස එතැනින් ඉවර වුණේ නෑ.චාමිකාගේ අලුත් ගවුම ලස්සන බව හැමෝම දැක්කේ දිවා ආහාර ගන්න වෙලාවේ.අලුත් ඇඳුම් කඩේ ගැන කාන්තා කතාබහ මැදට ඉමාලි එනකොටම මොකක්හරි එකක් කියවෙන්න නියමිත බව ගිහානිට නොහිතුණා නෙවෙයි.

“චාමිකා, ඒ ගවුම් මරු.ඔය ස්ටයිල් එකෙන් කීපයක්ම ගන්න.ඔයා ඔය දැන් පාවිච්චි කරන බෑග් එක ඔය ගවුමට ගැළපෙන් නෑ.මම කියන්නේ ඔහොම ස්ලිපර්ස් දාන්නත් එපා..”

ඒ කියපු සේරම කරන්න තමන්ට තව රස්සාවක් කරන්න වෙයි කියලා චාමිකා කිව්වේ මිමිණුම් ස්වරයකින්.අදහස් දීම නරක නැහැ.නමුත් ඉමාලි හැමතිස්සෙම අනිත් අයට කියන්නේ ලස්සෙට කොඩි දැමිය යුතු තරමේ අදහස්. චාමිකා ඒවා නෑසුණු ගාණට බැහැර කරත් ඉමාලිගේ යෝජනා ක්‍රියාත්මක කරන්න ගිහින් අමාරුවේ වැටුණු කිහිප දෙනෙක්ම ගිහානිගේ මතකයට ආවා.

තවත් දවසක තරින්දි හිටියෙ වේදනාවෙන්.ඇගේ නැන්දම්මා නැවත වාරයක් තරින්දි අම්මා කෙනෙක් නොවීම ගැන ප්‍රශ්න අහන්න අරගෙන.මඳසරු හාවයට ප්‍රතිකාර ගන්න තරින්දිට ඔය හිත් රිදීම දවස් ගාණකට ප්‍රමාණවත් බව මිතුරියන් හිතුවේ ශෝකයෙන්.කාර්යාලයේ වැඩ කිරීමත් පැත්තකට දාලා කල්පනා කර කර ඉන්න තරින්දිගේ හිත හදන්න හැමෝම මොනමොනවාම හරි කිව්වේ ඒ නිසා.

“ඔතන සම්පූර්ණ වැරැද්ද ඔයාගේ..”

ඉමාලි එහෙම කියනකොට අදවත් ඉමාලිට කට වහගෙන ඉන්න බැරිද කියලා ගිහානි හිතුවේ කේන්තියෙන්.චාමිකාගේ ඇස්වලත් ලියවිලා තිබුණේ ඒ කතාව.

“ඔයාට කිසිම පර්සනැලිටි එකක් නෑ.මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න එපා.”

ඉමාලිගේ වචන පිහිතුඩු වගේ.ගබ්සාවීම් කිහිපයක් දරාගෙන ඊට පස්සේ මඳසරු ගැටලු වලට ප්‍රතිකාර ගන්න තරින්දිට ඇත්තටම මානසික පීඩනත් නැති වෙන්න බෑ.ඒ ඇගේ අරමුණ සහ ආශාව නම් එය බිඳ වැටෙන එක තරින්දි කොහොම දරා ගන්නද?

“නැන්දම්මාගෙ එක එක විකාර කතා අහන් ඉන්න ඕනනම් නෑ තමයි.ඒ වුණාට තරින්දිගේ පෞරුෂය ගැන අපිට ඒ එක සිදුවීමෙන් තීරණය කරන්න බෑනෙ..”

චාමිකා එහෙම කියනකොට ඉමාලි සුළු වෙලාවකට නිහඬ වුණා.නැන්දම්මාගේ විකාර කතාවලට උත්තර දිය යුතු ආකාරය තරින්දිට කියල දීලා හැම කෙනෙකුටම හැමදේටම කාලයක් තියන බව ගිහානි කියනකොට තරින්දි යන්තම් පුංචි හිනාවක් මුහුණට ගත්තා.

“ට්‍රීට්මන්ට්ස් හරියට කරමුකො..මං දන්න හැටියට ඩොක්ට ප්‍රතාපසිංහගේ ට්‍රීට්මන්ට්ස් කාටවත් වැරදිලා නෑ..”

ගිහානි කිව්වේ තරින්දිගේ හිත හදන්න.ඉමාලි ඒ ප්‍රතිකාර වල ස්වභාවය ගැන අහන්න ගත්තේ ඉන්පස්සේ.ඇත්තටම ඒවා පහසු නැහැ.කැපකිරීම් කරමින් යම් යම් ශාරීරික වේදනා සහ මානසික කම්පන දරා ගනිමින් කළ යුතු දේවල්.වෛද්‍ය පරීක්ෂණ කියන දේ චොකලට් අයිස්ක්‍රීම් කන තරම් සුන්දර දෙයක් නෙවෙයිනෙ.

“මං මේ හිතුවේ..මං නම් බබෙක් ඕනෑ කියලා හිතපු ගමන් සනුකි ආවා.වාසනාව මං ළඟ ඉහළින්ම තියනවා කියලා හිතෙන්නේ ඒ නිසා.මට ඔය නැන්දම්මා ප්‍රශ්නත් නෑනෙ.කමල් පොඩ්ඩක්වත් මට එයාගේ අම්මලගෙන් පීඩා එන්න ඉඩ තියන්නේ නෑ.කමල් කියන්නෙත් මං හිතාගෙන හිටිය පරමාදර්ශී පෙම්වතා.කමල් ලැබීම,නියම කාලෙදිම සනුකිව ලැබීම,මං ආස කරන ජීවිතයක් ලැබීම එක්ක මං හරි ලකී කියලා මට හිතෙනවා..”

ගිහානිගේ ජීවිතය තුළත් කියන්න තරම් වේදනාවක් නැහැ.පුංචි හැලහැප්පීම් තිබුණත් දසුන් සහ පුතා එක්ක ජීවිතේ සුන්දර බව ඇය දන්නවා.නිර්වාන් පුංචි දවස්වල අලුත් ජීවිතේට පුරුදු වෙන්න තිබුණු අපහසුතා ඇයට ඒ වුණාට හොඳින් මතකයි.දසුන්ගේ ආදරය තරමටම සමහර වෙලාවට ඇයව ඔහුට මඟ හැරෙනතැන් ගැනත් ගිහානිට මතකයි.කියනවානම් දවස් ගාණක් කියන්න ආත්ම වර්ණනා තිබෙන බව ගිහානි හිතුවේ තනියම හිනා වෙන අතර.

ඉමාලිගේ ජීවිතේ සුන්දර ඇති.නමුත් කෙනෙක් කටුක වේදනාවන් ගැන කියනකොට ඒ වේදනා මතට තමන්ගේ සතුටුදායක ජීවිතය අත්හැරලා සංසන්දනය කිරීම වැරදි වැඩක් බව ඉමාලිට කියන්න ගිහානි හිතුවේ ඒ නිසා.

“ඔයාලට අලුත් අවුරුදු ප්ලෑන්ස් නැද්ද?”

ගිහානි එහෙම අහනකොට හැමෝම තමතමන්ගේ හීන ගැන කියන්න ගත්තා.තව කෙනෙකුගේ සිහිනයක් ගැන ඉමාලි හාර හාර අහලා තමන් ඒ කියන සිහිනය කමල් එක්ක ඉතා ලේසියෙන් ඉෂ්ට කරගත්තු හැටි කියන්න කලින් ගිහානි කතා කරන්න හිතුවා.

“ලබන අවුරුද්දත් අපිට එකට ඉන්න වෙන නිසා මං ඔයාට පොඩි කාරණාවක් කියන්නම් ගිහානි.අපි ඔක්කොටොම ජීවිතේ හැම වෙලාවෙම අමාරුත් නෑ.හැම වෙලාවකම ලේසිත් නෑ.අමාරුකමකින් ඉන්න කෙනෙක් ගාවට ගිහින් තමන් ජීවත් වෙන ලස්සන ලෝකේ ගැන කියන එක සාධාරණත් නෑ.”

ගිහානි කතා කරන්න ගනිද්දී ඉමාලි බැලුවේ තිගැස්මකින්.තමන් හැම මොහොතකම හරි බව සිතන, තමන් වගේ නොවීම ගැන අනුන්ට චෝදනා කරන,තමන්ට වගේ සතුටුදායක ජීවිතයක් නොලැබීම ගැන අනුන්ට ආයේ ආයේ අනුකම්පා කරන ඉමාලිගේ හිතත් නොරිද්දන්න ගිහානි හිතුවා.

“ඔයා ඇත්තටම සතුටින් ඉන්න එක ගැන අපිට සතුටුයි.ඒත් හැමෝටම තම තමන්ගෙ සටනක් තියනවා.දුකම අහ අහා දුක් කතාම හෝද හෝදා මඩේ දාන එක වැඩක් නෑ තමයි.ඒත් දුකින් ඉන්න කෙනෙකුට හපෝ ඔයා නම් හරි අවාසනාවන්ත කෙනෙක්,මේ බලන්න මගේ සතුට කියලා වැඩකුත් නෑ.ඒ නිසා අපි මීට පස්සේ පරිස්සමින් කතා කරමු..”

අවුරුද්ද අලුත් වෙනකොට මිනිස්සුන්ගේ ආකල්පත් හැසිරීම් එක්කම වෙනස් වෙනවා නම් හොඳ බව හිතමින් ගිහානි එහෙම කිව්වා.ඉමාලි ඒ වරද හදා ගනීවිද කියලා ඇයට ඇත්තටම තවම විශ්වාස නැහැ.

ඒත්,තමන්ගේ සතුට දුකින් ඉන්න කෙනෙකුගේ මුහුණ අතුල්ලන ඉමාලි කෙනෙක් නොවී දුකින් ඉන්න කෙනෙකුට සතුටු පාර හොයලා දෙන්න අපි කාටත් පුලුවන් වෙනවානම්! 2022 මීට වඩා ලස්සන වේවි.

More Stories

Don't Miss


Latest Articles