තීරණ

උත්පලා උදේ පාන්දරම කුස්සියට ආවේ උයන්න හිතාගෙන.විවාහ උත්සවය නිසා නිවාඩු ගත්ත සංජීව වැඩට යන පලවෙනි දවස අද. කුස්සිය වටේම බලලා බලලා හාල් තිබුන තැන හොයාගත්ත උත්පලා ගෙදර ඔක්කොටම ඇති කියල හිතුන ගානට හාල් මැනල හෝදන්න පටන් ගත්තා

” මොකද උත්පලා ඔය කරන්නේ ? “

විනාඩි කිහිපයක් ගත වෙනකොට රමණි කුස්සියට ආවා

” මම මේ උයන්න ලෑස්ති උනා අම්මේ. අද සංජීව වැඩට යනවා නේ “

” මේ ගෙදර ඔක්කොටම උයන්න ඔයාට බැහැනේ. කෝ දෙන්න මම උයන්නම් “

එහෙම කියපු රමණි උත්පලාට කිට්ටු වුණා

” අයියෝ මොකද මේ සුදු හාල් අරගෙන ? “

” ඇයි අම්මේ? “

උත්පලා ඇහුවෙ බයෙන් වගේ

” සුදු හාල් ගෙනැල්ල තියෙන්නේ බල්ලන්ට කන්න දෙන්න. අපි කන්නේ රතු බත් “

රමණී තාමත් බලාගෙන ඉන්නේ උත්පලා හෝදපු සුදු හාල් ටික දිහා

” එහෙනම් මේ ටික බල්ලන්ට දෙමු අම්මේ “

” එහෙම හැමදාම බල්ලන්ට කන්න දෙන්න අපිට හතරමහ නිධානේ පහළ වෙලා කියලා ඔය ළමයා හිතුවා ද ? සතියට දවසක් දෙකක් තමයි එහෙම කන්න දෙන්නෙ “

උත්පලා ගේ මුහුණ කළු වලාකුළකින් වැහිලා යනකොට රමණි කුස්සියේ ආධිපත්‍ය අත්කර ගත්තා. උත්පලා හෙමින් සීරුවේ කාමරයට ගිහින් සංජීවගේ කමිසයක් අරගෙන මදින්න පටන් ගත්තා

” ඕක මම අයන් කරගන්නම් උත්පලා “

නින්දෙන් ඇහැරුණ සංජීව එහෙම කියද්දි උත්පලා ඔහු දිහා බැලුවේ යන්තමින්

” මොකෝ නිකං අවුලෙන් වගේ ? “

” එහෙම එකක් නැහැ සංජීව. කරන්න වෙන වැඩක් නැති එකේ මම මේක වත් කරලා දෙන්න ද ? “

” ඉතිං කුස්සියට ගිහින් අම්මට උදව් කරන්නකෝ . අර අම්මා උයනව ඇහෙන්නේ “

” අම්මා උයන්නම් කීවා. මම දැන් කුස්සියෙ ඉඳලයි ආවෙ “

සංජීවගේ කමිසය මැදලා ඉවර කරපු උත්පලා මිදුලට බැස්සා.තරමක් විශාල ගෙමිදුල විවිධ ආකාරයේ ගස් ගස්කොළන්වලින් වගේම විසිතුරු මල් පැල වලිනුත් සැරසිලා තිබුණා. මිදුල වටේ ඇවිද උත්පලා තාප්පය කොනකට වෙන්න හේතු කරලා තිබුණ ඉදල අතට අරගෙන ගේ ඉස්සරහට ආවා.එතකොටම සංජීවගේ නංගි මේධා තේ එකකුත් අරගෙන ඉස්සරහට ආවා.

” අයියෝ .උදේ පාන්දර ඉදල අරගෙන ඉස්සරහට එන්න එපා අප්පා. අතු ගාන එකක් අපි ඔක්කොම වැඩට ගියාට පස්සෙ අතු ගාන්නකෝ “

මූණ ඇඹුල් කරගත්ත මේධා එසැනින්ම ගේ ඇතුලට ගියේ නොරිස්සුමෙන් වගේ. විවාහ ජීවිතයකදී බොහෝ දේ ඉවසිය යුතු බවට අම්මා විසින් කියාදුන් පාඩම නැවත නැවතත් සිහිපත් කරපු උත්පලා ඉදල තිබුණ තැනින්ම තියලා ගේ ඇතුලට ආවා.

” ඔයාට ඔහේ හොඳද පුතේ ?”

කලබලකාරී උදේ වරුව ගෙවිල ගියාට පස්සෙ උත්පලා අම්මට ඇමතුමක් ගත්තා

” වරදක් නෑ අම්මේ. මෙහෙ ඉතින් ගොඩක් අය ඉන්නවා “

” ගොඩක් අය කිව්වේ ? “

” සංජීවගේ නංගියි අම්මයි , සංජීවගේ අයියයි එයාගේ නෝනයි ඉන්නවා. නෑයො ගොඩක් අය අහල පහලම ඉන්න නිසා ඒ අයත් නිතර නිතර එනවා”

” එහෙනම් ඔයාට පාලු නැතුව ඇති. මටයි නංගිටයි නං ඔයාව නිතරම මතක් වෙනවා පුතේ “

රැකියාවක් කරමින් අම්මාවත් නංගිවත් ආදරයෙන් රැක ගත්ත අතීතය උත්පලාට මතක් උනා. විවාහයෙන් පසුව රැකියාවක් නොකළ යුතු බවත් අම්මට සහ නංගිට අවශ්‍ය වියදම් තමන් සපුරන බවට සංජීව පොරොන්දු වූ නිසාත් උත්පලා විවාහයට කලින් රැකියාවෙන් ඉවත් වුණා.උසස් පෙළ අවසන් වුන කාලයේ ඉඳලම රැකියාවල් කරමින් අම්මත් නංගිත් වෙනුවෙන් වෙහෙසුනු උත්පලාට සැපවත් ජීවිතයක් අත්කර දෙන්නයි සංජීවට ඕන උනේ . අධ්‍යාපන කටයුතු හමාර කරපු නංගී රැකියාවකට යන්න සූදානමින් හිටපු නිසා සංජීවගේ උදව් දිගටම අවශ්‍ය නැති වෙයි කියලා උත්පලා හිතුවා

” නංගි “

උත්පලා ගේ කල්පනා ලෝකය බිඳ වැටුනේ සංජීවගේ අයියාගේ බිරිඳ අරුණි කාමරයට ආවට පස්සෙ

” ඔක්කොම වැඩට ගියාම මෙහෙ පාලුයි ඉතිං “

අරුණි එහෙම කියාගෙන ඇඳ උඩින් වාඩි වුණා

” නංගි කලින් රස්සාවක් කරා ලු නේද ?”

” ඔව් අක්කේ. සංජීව කැමති වුණේ නැහැ මම දිගටම ජොබ් එකකට යනවට. එයාට ඉතින් හොද පඩියක් හම්බ වෙනවා නේ. මම නිකං මහන්සි වෙන්න ඕනෙ නැහැ කියලා එයා කියන්නේ “

” ඒකත් ඇත්ත ඉතින්. ඔක්කොම මෙහෙ ඉන්න නිසා පිරිමහගෙන ඉන්න පුළුවන්නේ “

” අක්කලා බැන්ද දා ඉඳලා මෙහෙද ඉන්නේ ? “

” ඔව් නංගී .මගේ නම් ඉතින් වැඩි කැමැත්තක් නැහැ මෙහෙම හැමෝම එක ගෙදර ඉන්න. ඒත් ඉතිං අපේ එක්කෙනා කැමති නැහැනෙ වෙනම යන්න “

අරුණි ඒ ටික කිව්වේ කටහඬ තරමක් බාල කරලා කියලා උත්පලාට දැනුනා.සංජීවගේ කීමට එකඟ වුණත් සාම්ප්‍රදායික ලේලියක් වෙන්න අකමැති වුණ උත්පලාට අරුණිගේ වචන වල අමුත්තක් දැනුනා

” බැන්දට පස්සේ වෙනම ඉන්න ඕන කියලා ගොඩක් අය කියන එක ඇත්ත කියලා මට යන්තමින් තේරෙනවා අක්කේ “

උදේ ඉඳලා සිද්ධ වුණ යම් යම් හිත් රිදීම් නිසා උත්පලාට එකවරම එහෙම කියැවුණා

” ඔයාට ඒක මුලදිම තේරෙනවනම් හොඳයි. හිතන්නකෝ නංගි මම අවුරුදු එකහමාරක් මෙහෙ කොහොම ඉන්නවද කියලා “

ඉක්මනින් තීරණ වලට එළඹීම එතරම් සුදුසු නොවන නිසා තරමක් ඉවසන්න ඕනේ කියලා උත්පලා හිතුවා

” මොනවද දෙන්න කාමරේට වෙලා කුටු කුටු ගාන්නේ ? “

රමණි අනවසරයෙන්ම කාමරය ඇතුලට ඇවිත් ඉනට අත් දෙක තියාගෙන ලේලිලා දෙන්නා දිහා බැලුවා

” මට උත්පලා එක්ක හරියට කතාකරන්නවත් බැරි උන නිසා මම මේ පොඩ්ඩක් ආවා අම්මෙ “

” උත්පලා මේ ගෙදර වැඩ සිද්ධ වෙන පිලිවෙල ගැන තාම හරියට දන්නේ නැහැ. එයාට ඒව කියල දෙන්න “

අණ කරන ස්වරයකින් එහෙම කියපු රමණි කාමරයෙන් එළියට ගියාම උත්පලාත් අරුණිත් මුහුණෙන් මුහුණ බලා ගත්තා. කොහොම වුණත් නිවස පුරාම පැතිරිලා තියෙන්නේ රමණි ගේ ආධිපත්‍යය කියලා වටහාගන්න උත්පලාට අමාරු උනේ නැහැ

කොහොම උනත් නපුරු නැන්දම්මා කෙනෙකු රමණී තුළින් මතුවෙන බව උත්පලා කිසිම වෙලාවක සංජීවට කියන්න ගියෙ නෑ.කෑම මේසයේ දී සංජීවට වගේම ඔහුගේ අයියටත් කෑම බෙදන්න රමණි බලෙන්ම වගේ ඉදිරිපත් වෙන එකත් , ගෙදර බොහෝ කටයුතු ලේලිලාට නොතේරෙන බව කියමින් සියල්ල තමාම කිරීමට ඉදිරිපත් වෙන එකත් නිතරම වගේ රමණි තුළින් දකින්න ලැබුණා

” උත්පලා. ඔයාට ගෙදර වැඩපළ සේරම තනියම කරගන්න බැරි කමක් නෑ නේද ? “

දවසක් හවස වැඩ ඇරිල ආව සංජීව උත්පලා ගෙන් එහෙම ඇහුවේ තරමක් බැරෑරුම් හඬකින්

” අනේ මට පුළුවන් සංජීව . ගෙදරදි මම නංගිත් එක්ක වත්තේ වැඩත් කලා “

” හ්ම්ම්. මේ වීක් එන්ඩ් එකේ අපි දෙන්නා කුස්සියකට ඕන කරන බඩු ටිකක් ගන්න යමු “

” ඇයි ඒ ? “

” මම අපි දෙන්නට යන්න ගෙයක් බැලුවා. දැනට රෙන්ට් එකට ඉමු. පස්සේ අපි බලලා ගෙයක් අර ගමු උත්පලා “

” අම්මා කැමති වෙයිද සංජීව ?”

උත්පලා ඇහුවේ දෙගිඩියාවෙන්

” කැමති වුණත් උනත් අකමැති උනත් කරන්න දෙයක් නැහැ උත්පලා. අරුණි අක්කා ට උන දේ ඔයාටත් වෙනවට මම කැමති නැහැ . අපි දෙන්නා දැන් වෙනම පවුලක්. ඒ පවුල ලස්සනට ගොඩ නඟාගෙන ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නයි මට ඕනේ “

හැමදේම දිහා නිහඬව බලාගෙන ඉඳලා සංජීව අරගෙන තියෙන තීරණය ගැන උත්පලාට දැනුනේ අප්‍රමාණ සැනසීමක්

More Stories

Don't Miss


Latest Articles