කුලය නොව මිනිසත්කම රැක ගන්න – Hellaro 2019

ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ.

මේ ගීය ජය ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කැප වෙන එහෙත් මළුවට යන්නට ඉඩ ප්‍රස්ථා නැති එයට කුලය හරස් වන මිනිසුන් සම්බන්ධ ගීයක්. ඒ වගේ සංවේදී කාරණා පොදු අපේ රටට පමණක් නෙවෙයි.

Hellaro නම් ඉන්දීය චිත්‍රපටිය ඉන්දියාවේ මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කතාබහ කරන නිර්මාණයක්. Kutch නම් ගම්මානයක ජීවත් වන කාන්තාවන් පිරිසකගේ ජීවන සටනක්. මෙයට පාදක වෙන්නේ ඉන්දියාවේ ගර්බා නර්තන සම්ප්‍රදායන් සහ පැරණි ජනප්‍රවාදයන්. ආගම,මිථ්‍යාව සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ඉන්දියාවේ කාන්තාවන් යටපත් කරන්නට යොදා ගන්නා ප්‍රබල ආයුධ වනවා. මේවා බහුතරයක් පිරිමින් විසින් ගොඩ නගන ලද කාරණා වනවා. නමුත් අසරණ වන්නේ ගැහැනුන්.

වර්ෂ 1975 දී, ඉන්දිරා ගාන්ධි රජය යටතේ ඉන්දියාව තුල භීෂණ සමයක් ව්‍යාප්ත වී තිබෙනවා.මේ කාලයේදී, Kutch නම් කුඩා කාෂ්ටක ගම්මානයට මාන්ජිරි නම් තරුණ මනාලියක් පැමිණෙනවා. මාන්ජිරි ඇගේ උපන් ගම්මානයේ ගර්බා නර්තනය හැදෑරුවත්, Kutch හි ඇයට එම අවස්ථාව හිමි වන්නේ නෑ. ඒ ගම්මානයේ පවතින්නේ දැඩි පුරුෂ මූලික සමාජයක්.ගමේ පුරුෂයන් ගර්භා නර්තනයට දුර්ගා මෑනියන්ගේ ආශිර්වාදය අපේක්ෂා කරනවා. මෙහි සිදු කරන නර්තන විලාසයන්ගෙන් සංකේතවත් කරන්නේ ස්ත්‍රීයකගේ ගර්භාෂයෙන් පැමිණෙන ජීවියාගේ උපත, ජීවිතය, මරණය සහ නැවත ඉපදීමයි. දුර්ගා මෑණියන්ව සිහිපත් කර, මෙම නර්තන විලාසයන් තුලින් ස්ත්‍රීත්වය සැමරීමද ගර්බා නර්තනයේ ප්‍රධාන අරමුණක්.මෙම නර්තනයේදී පිරිමින්ගේ ප්‍රධාන දායකත්වය හිමි වන්නේ ධෝලය වාදනය කිරීමටයි.නර්තනය සඳහා ගැහැනුන්ට ඉඩ දිය යුතු වුවත් මේ ගමේ එයට ඉඩක් නෑ.ගමේ පිරිමි මෙම නර්තනය පවත්වා දුර්ගා මෑණියන්ගෙන් ආශීර්වාදය ලබා ගන්නේ වසර තුනක කාලයක පටන් ඔවුන්ට නොලැබුණු මෝසම් වැසි ලබා දෙන ලෙස ඉල්ලමින්.තමන්ගේ වාසනාව දේවතාවියකගෙන් අයදින පුරුෂයන් මේ නැටුමට කාන්තාවන් සම්බන්ධ වුවහොත් අවාසනාව උදා වන බව විශ්වාස කරනවා

ගමේ අමුතු සාම්ප්‍රදායට අසීරුවෙන් හැඩ ගැසෙමින් හිඳින මාන්ජරී දිනක් ජලය ගෙන එන්නට පිටතට යනවා.ඒ කාන්තාවන්ට එළියට යන්නට ලැබෙන එකම අවස්ථාවේ.හැතැප්ම කිහිපයක් දුර වෙලට ගමන් කරද්දී දැඩි පිපාසයකින් සිහිසුන් වූ දෝලි වාදකයෙක් මංජරී සහ පිරිසට මුණ ගැසෙනවා.සාම්ප්‍රදායට අනුව ඔවුන්ට වාදකයාට ජලය ලබා දෙන්නට බෑ.නමුත් මංජරී සම්ප්‍රදාය බ්ඳ දමා ඔහුට ජලය ලබා දෙනවා.ඒ අනෙක් කාන්තාවන්ගේ එරෙහි වීම නොසලකා හරිමින්.එයට කළගුණ සැලකිල්ලක් වශයෙන් මෙම පුරුෂයා එම කාන්තාවන් වෙනුවෙන් තම අතේ තිබෙන ධෝලය වාදනය කරනවා. ගර්බා නර්තනය සිහිනයක් පමණක් වූ මෙම කාන්තාවන්, ඉතා සතුටෙන් මෙම වාදනයට තම නර්තනය ඉදිරිපත් කරනවා. මෙම දිනයේ සිදු කළ නර්තනය මෙම කාන්තාවන්ගේ ජීවිතය වෙනත් අතකට යොමු කරනවා. ගමේ ඉන්පසු සිදු වන සමහර දේ වස් වැදීම ගැන ඔවුන්ගේ සිත් සසල කරවන දේ නිසා කාන්තා පිරිසට ජීවිතය පහසු වන්නේ නැහැ.

ඉන් අනතුරුව මංජරී සහ පිරිසගේ ජීවිතය හැරෙන දිශාව දැනගන්නට ඔබ මේ චිත්‍රපටිය නොවරදාම නරඹන්න.

ඉන්දියාව බුදු හාමුදුරුවෝ ඉපදුණු දේශය.යමෙක් උසස් හෝ පහත් වන්නේ කුලයෙන් නොව හැසිරීමෙන් බව උන්වහන්සේ දේශනා කර තිබුණත් ඉන්දියානුවන් තවම කුල සංකල්ප කර තබා ගෙන ගමනක යෙදෙනවා. බෞද්ධාගමිකයන් වැඩියෙන් ජීවත් වන අපේ රටේ තත්වයත් වෙනසක් නැහැ.

මේ ගුජරාටි සිනමා නිර්මාණයක්.අභිෂේක් ශාහ්ගේ පළමු සිනමා නිර්මාණය මෙයයි.මෙය 66 වන ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.මෙය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ ඉතිහාස පොතට ඇතුලත් වන්නේ, මෙම සම්මානය ජයග්‍රහණය කළ පළමු ගුජ්රාටී චිත්‍රපටය වශයෙන්. ඒ සමගම මෙහි ප්‍රධාන කාන්තා චරිත රඟ දැක්වූ ශිල්පිනියන් දහතුන් දෙනාටම ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී, ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන හිමිව තිබෙනවා.

කුලය නොව මනුස්සකම රැක ගත යුතු බවත් ගැහැනු දේවතාවියන් ඉහ මුදුනත තබා පිළි ගන්නා මිනිසුන් ගැහැනු ආත්ම ලබා ඉපදුණු අයට හිංසා කිරීම මොනතරම් අසාධාරණයක් ද කියන දේත් මේ චිත්‍රපටියට පසු ඔබට වැටහේවි.

Related Articles

Don't Miss


Latest Articles