“නිලැසිට පුලුවන් වෙන්න ඕන ආදරෙයි කසාදෙයි කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න.එයා ඒක තේරුම් නොගෙන ඔහොම හැසිරෙන එක ඇත්තටම මට මානසික වදයක්.”
මානවී සමඟ නව ගීතයේ පුහුණුවීම් අරඹා ලැබුණු විවේකයේදී එරන්ද පැවසුවේ කලකිරීම මුසු හඬකිනි.මානවී නිහඬ සිනාවක් නැගුවා ය.
“නිකං සිරිතට බැලුවම ඔයා නිලැසිගෙ පුංචි අම්මනෙ.හස්බන්ඩ් පැත්තක ඉද්දි මෙහෙම ප්‍රේමවන්තයට සපෝට් කරන එක ගැන රාජේන්ද්‍ර සර් දැනගත්තොත් කොහොමද?”
එරන්ද මානවීට එල්ල කරේ දඟ පන්දුවකි.නමුත් මානවීගේ සිනාව පැවසුවේ ඇය එයට හයේ පහරක් එල්ල කරන්නට සූදානම් බව ය.
“නිලැසිගේ පුංචි අම්මා කියන අයිතිය ලැබුනා නම් ඇත්තටම මම මෙහෙම හැසිරෙන්නේ නෑ..”
ලෝකයෙන් සැඟවුණු අනියම් බිරිඳක් වීමේ වේදනාව මානවීගේ වචන වල ගැබ්වී තිබිණි.රාජේන්ද්‍රගේ කටයුතුවලට සවියක් වෙමින් ඔහු සමග නිරන්තරයෙන් බැඳුණද ඔහුගේ සියලු ජයග්‍රහණ වල අයිතිය හිමි වූයේ රසාදරීට ය.ලෝකයේ කිත් පැසසුම් ලැබෙන ඕනෑම මොහොතක ඔහුගේ වම්පස රැදුණේ රසාදරීගේ සිනා පිරි මුහුණ ය.බිරිඳගෙන් නොලැබෙන මානසික සහ කායික සුවයක් පතා මානවී වෙත එන රාජේන්ද්‍ර සමහර අවස්ථාවල ඇගේ මූල්‍යමය අවශ්‍යතා පිරිමැසුව ද කිසිම මොහොතක ඇගේ මානසික මට්ටම ගැන වද වූයේ නැත.
“හොඳ කොල්ලෙක් බලල කසාද බඳින්න.මං වෙඩින් එක ලස්සනට කරල දෙන්නං…”
රාජේන්ද්‍ර මානවීට එසේ පැවසුවේ වතාවක් දෙකක් නොවේ.මුළු හදවතින්ම ඔහුගේ ප්‍රේමය ට ඇබ්බැහි වූ මානවී ට වෙනත් මිනිසෙකුගේ බිරිඳ වීම හදවතට එකඟව කළ නොහැකි බව රාජෙන්ද්‍ර බිඳුවකුදු සිතුවේ නැත.
“එතකොට මේ පිරිමහන්නෙ ඇරියස් එකක්..”
එරන්ද එසේ පවසා උස් හඬින් හිනැහෙද්දි මානවී ද ඒ සිනාවට එක් වූවා ය.
ඇයට විවාහයකට යොමු නොවී සදාකාලික පෙම්වතියක වීමට සිදුව ඇත්නම් රාජේන්ද්‍රගේ දියණියට ද එසේ වූයේ දෛවයේ සරදමක් නිසා බව මානවී සිතන්නට වූවා ය.
“ඔයාට දුක් වෙන්න හේතුවක් නෑනෙ.රාජේන්ද්‍රගේ ලයිෆ් එකේ හොඳම කොටස ඔයා..”එරන්ද එසේ පවසද්දී මානවීට සිහින් සිනාවක් නැගිණ.
“තිරේ පිටිපස්සේ පෙම්වතියක් වෙන එකේ තියෙන රහ මොකද්ද” ඇය කියන්නේ සුසුම් සර අතරිනි.
“තිරය පිටිපස්සෙ උනාට ඒ මනුස්සයගෙ හදවතේ ඉස්සරහ ඉන්නෙ ඔයා හින්ද.ඔයා දන්නවද ඔයත් කසාද ගෑනි උනානම් රාජේන්ද්‍රට ඔයත් රසාදරී වගේම සාමාන්‍ය ගෑනියෙක්.ඊටපස්සෙ එයාට ඔයාව නැති වෙනවට බයක් නෑ.ඊට පස්සෙ ඔය තියන අසීමාන්තික ආදරේ කොහෙවත් නෑ..”
එය අසත්‍යයක් නොවන බව මානවී සිතුවා ය.රසාදරී ගිලිහී නොයන බව රාජේන්ද්‍ර සහතිකවම දැන සිටින නිසා ඔහු ඇයට අසීමාන්තික ආලයක් පුදන්නේ නැත.මව පියා භූමිකාවෙන් පසු නැන්දම්මා සහ මාමණ්ඩි යන භූමිකාවටත් වත්මන වෙද්දී සීයා අත්තම්මා යන භූමිකාවටත් සැරසෙන නිසාම රාජේන්ද්‍රට රසාදරී ගැන ඇත්තේ දුරස්ථ හැඟීමකි.සමහරවිට දරුවන් උස්මහත් වෙද්දී ඔවුන් වෙතම ඇලෙමින් ආදරය කිරීම මඟ හැර ගන්නට රසාදරී ක්‍රියා කිරීම ද එයට හේතු වන්නට ඇතැයි ඈ එරන්දට පැවසුවේ එනිසා ය.
“කසාදයක් කියන්නෙම ආදරේ නාකි වෙන එක තමයි මනූ.ඕක මේ පිස්සු වැටෙන්න ආදරේ කරන්න දන්න ඔයාට මට උනත් පොදු ලක්ෂණයක්.ඊටපස්සේ ජීවිතේ එක තැන පල් වෙනව..”
ඒ එරන්දගේ ජීවන දර්ශනය ය.නමුත් මානවී තමන්ගේම පවුලකට ප්‍රිය කළා ය.සිහින දැක්කා ය.හදවතේ හට ගත් නොසංසිඳෙන ආදරය හන්දාම ඒ පවුල ගොඩ නගන්නට ඇයට අවශ්‍ය වූයේ රාජේන්ද්‍ර ය.ඉටු නොවන සිහිනයක් වෙනුවෙන් මානවීට හූල්ලන්නට වූයේ ද එනිසාම ය.
“ආදරේ ඔන්නොහෙ තිබ්බදෙන් කියල හිත හදාගන්න ගෑනුන්ට බෑ එරන්ද.ඒක හරි අමාරුයි.ඒ උනාට කරන්නම දෙයක් නැත්නම් එහෙම ඉන්නත් වෙනව..”
ඇය දුක්ඛිත හඬකින් එසේ කියද්දී එරන්දට ආදරය නිසා පීඩා විඳින මේ ගැහැනුන් ගැන දුකක් නොදැනුණා ද නොවේ.එනමුත් ඔහුට කැපකිරීම් කරන්නට අවශ්‍ය වූයේ නැත.එය රාජේන්ද්‍ර ද කර නොමැත.තමන් අතින්ද ඉටු විය යුතු නොවේ.
“රුක්මනී දේවි කිව්වට ආදරේ හින්දා ජීවිත හානි කර ගන්න ඕන නෑ මනු.විඳින්න එච්චරයි.විඳවන්න එපා.ජීවිතේ හැම මොහොතක්ම වින්දම ඇති.ඔයාලා නොකරන්නෙම ඒක.පිරිමියෙක් තමන්ට හිර කරගන්න හිතාගෙන කුරු කුරු ගානවට වඩා ආදරෙන් ඉන්න එක සහනයක් කියල හිතනවනම් ඔයාලත් සතුටින් අපිත් සතුටින්..”.
ඒ දහම මානවීට ගැළපෙන්නට ඉඩ තිබුණ ද තමන්ගේම ලෝකයක් ඈ වෙනුවෙන් ඉදි කරන තිසරු හිඳිද්දී එය නිලැසිට එතරම් ගැළපෙන මට්ටමේ කතාවක් නොවේ.ඈතින් එන නිලැසි දෙස බලමින් මානවී ඒ බව සිතුවා ය.කිසිත් නොකීවා ය.
“මම ඔයාලට ලන්ච් ගෙනාවා..මමම ඉව්වා..”
තිසරු වෙනුවෙන් සැන්ඩ්විච් පෙත්තක් හෝ සකසන්නට හිත නැති නිලැසි එසේ කියමින් මානවී සහ එරන්ද වෙත ආවා ය.ඇය උදෑසන පටන් ආහාර පිසුවේ ආනන්දයෙනි.ප්‍රේමය ඇගේ සෑම මොහොතකම වර්ණ තවරමින් සිටි අතර ඒ කළු හෝ අඳුරු පැහැයක් ද දේදුනු වර්ණයක් ද සිතන්නට නිලැසි නොවෙහෙසුණා ය.