මේ දවස් වල පොළොස් සුලභව දක්නට තියෙනවා. ඒ වගේම පොළොස් කියන්නේ රසයෙන් මෙන්ම ගුණයෙන්ද පිරිපුන් ආහාරයක්. ඉතින් කලින් සකසා තබා ගත හැකි පොළොස් අච්චාරුවක් ඔබේ කෑම මේසය රසවත් කරාවි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- සාමාන්‍ය ප්‍රමානයේ පොළොස් ගෙඩි 3
- රතු ළුණු ග්‍රෑම් 500
- අමු මිරිස් ග්‍රෑම් 200
- අබ, කහ, මිරිස් කුඩු, ගම්මිරිස්, කුරුඳු, සුදුළුණු, එනසාල්, විනාකිරි, ලුණු, ඉඟුරු කැබැල්ලක්, මුරුංගා පොතු කැබැල්ලක් අවශ්‍ය ප්‍රමාණයට ගන්න.
සාදාගන්නා ආකාරය :
- පොළොස් ගෙඩි කටු හැර සුද්ද කරගන්න.වහල්ල කපා තීරු වලට කපා ගන්න.
- කහ ස්වල්පයක් වතුරට මිශ්‍ර කර පොළොස් කැබලි බාගෙට තම්බා ගන්න.
- කුඩා හතරැස් කැබලි වලට කපා ගන්න
- රතු ළුෑණු අමු මිරිස් හොඳින් සෝදා තබා ගන්න.
- හොඳින් වියළුණු මැටි භාජනයක් ගන්න.
- එයට අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි දමා පොළොස් කැබලි ටික එයට දමා විනාඩියක් පමණ තම්බා ගන්න.
- එම විනාකිරි වලටම රතු ළුණු සහ අමු මිරිස් දමා විනාඩියක් පමණ තැම්බෙන්නට තබා බා ගන්න.
- එම ද්‍රව්‍යද පොළොස් කැබලි වලට එක් කරගන්න.
- ඉතිරි විනාකිරි ලිප තබා අඹරාගත් කුළුබඩු වර්ග සමඟ ඉඟුරු සහ මුරුංගා පොතු කැබැල්ල තලා එයටම එක් කර හොඳින් හැඳි ගාමින් විනාඩි දෙකක් පමණ තම්බාගන්න.
- ලිපෙන් බා ගෙන විනාකිරි ස්වල්පයක් සමඟ සීනි ස්වල්පයක් එක්කර සියල්ලම හොඳින් කලවම් කරගන්න.
- නිවෙන්නට තබා වියළි මැටි මුට්ටියක අසුරා තබන්න.
- කට හොඳින් ආවරණය කරන්න.
– ඉරේෂා –