චට්නි වර්ග පහසුවෙන් නිවසේදීම හදමු

කල් තබා ගන්න පුලුවන් ආහාර හදලා තියාගන්න එක මේ වගේ කාලයක ගොඩක් වටිනවා.ඒ නිසා මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්න ඔබට ලේසියෙන්ම හදාගන්න පුලුවන් චට්නි වර්ග ගැන

අන්නාසි චට්නි

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ලොකු අන්නාසි ගෙඩි 1
  • සීනි කෝප්ප 3/4
  • විනාකිරි කෝප්ප  1/2
  • අබ තේ හැන්දක්
  • පොල් තෙල් ටිකක්
  • වියලි මිරිස් කරල් 2-3
  • කුරුඳු පොතු කෑල්ලක්
  • රස අනුව ලුණු
  • කෑලි මිරිස් තේ හැඳි 2 – 3
  • කරාබු නැටි  2 – 3
  • එනසාල් 3 – 4
  • හදන්නේ මෙහෙමයි

මුලින්ම භාජනයක් ලිපේ තියලා එයට තෙල් එකතු කරන්න.

තෙල් රත්වීගෙන එනවිට අබ ටික එකතු කරන්න.

දැන් එයට එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු හා වියලි මිරිස් කරල් තරමක කෑලි කඩා එකතු කරගන්න

ඉන්පසුව කෑලි මිරිස් ටික එකතු කරන්න .එය හොඳින් මිශ්‍ර කරන අතර වතුර කෝප්ප 1ක් පමණ එයට එකතු කර විනාකිරි හා සීනි එකතු කරන්න

සීනි හොඳින් දියවී උතුරාගෙන එනවිට පොඩියට කපාගත් අන්නාසි කෑලි එකතු කරන්න.

අන්නාසි බෙරි වී තෙත හිඳුනු උකු මිශ්‍රණයක් වී එනතුරු පිසගන්න. ගින්දර අඩු ප්‍රමාණයේ තබා ගැනීමට සැලකිලිමත් වන්න

 
අමුමිරිස් චට්නි

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • අමුමිරිස් කරල් 10-12
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  • සූදුරු තේ හැඳි 1/2
  • සුදුළූණු බික් 4-5
  • තෙල් මේස හැඳි 1
  • සිහින්ව ගාගත් පොල් මේස හැඳි 1
  • ලුණු
  • දෙහි යුෂ

හදන්නේ මෙහෙමයි

භාජනයකට තෙල් දමා රත් වනවිට සූදුරු, ලියාගත් සුදුළූණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. සුදුළූණු රන්වන් පාට වූ විට අමුමිරිස් එකතු කරන්න.

අමුමිරිස් යාන්තමට බැදීගෙන එනවිට කොත්තමල්ලි කොළ එකතු කර ලිපෙන් ඉවත් කරගන්න

දැන් රස අනුව ලුණු එකතු කරන්න

අවසානයට මේ සියල්ලම ග්‍රයින්ඩර් කර දෙහි ඇඹුල් එකතු කරලා කෑමට ගන්න.

 
රට ඉඳි චට්නි

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • රට ඉඳි 1 kg
  • විනාකිරි කොප්ප 1
  • සුල්තානා 125g
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කපා ගත් 100g
  • සීනි මේස හැදි 10
  • අඟල් 2ක පමණ කුරුඳු කැබැල්ලක්
  • තලා ගත් සුදු ළූණු බික් 2
  • තලා ගත් අඟලක පමණ ඉගුරු කැබැල්ලක්
  • වතුර කෝප්ප 4
  • රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි

මුලින්ම රටඉඳි සෝදා ඇට ඉවත්කර බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න.

ඉන්පසුව අඹරාගත් රට ඉඳි වලට අනෙක් සියලුම ද්‍රව්‍ය එකතු කොට ඝන මිශ්‍රණයක් වන තෙක් මද ගින්දරේ හොඳින් පිසගන්න

කෙසෙල් සහ ඇපල් චට්නි

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • හොඳින් ඉදුනු කෙසෙල් ගෙඩි වලින් 450g
  • ඇපල් ගෙඩි 2
  • රස අනුව ලුණු
  • සීනි ග්‍රෑම් 225g
  • අමු ඉගුරු 25g
  • විනාකිරි බෝතල් බාගයක්
  • ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණ

හදන්නේ මෙහෙමයි

කෙසෙල් හා ඇපල් වල ලෙලි ඉවත් කර කුඩා කැබලිවලට කපා මෙලෙක් වන තුරු විනාකිරෙන් තම්බන්න.

ඉන්පසු ඒවා හොඳින් පොඩි කරගන්න

දැන් අමු ඉගුරු, ගම්මිරිස් විනාකිරෙන් අඹරා සීනි සමග ඉහත කී මිශ්‍රණයට එක්කර මිශ්‍ර කරන්න

අවසානයට අවශ්‍ය පමණ ලුණු එකතු කර , පදමට ආ විට ලිපෙන් ඉවත් කරගන්න

Related Articles

Don't Miss


Latest Articles