දෙනෙත්, ඔහු ප්‍රතික්ෂේප කළ යුවතිය කවුරුන්දැයි දැන ගන්නට මට ඕනෑ විය.සියල්ලටම වඩා නරක කාරණාව වූයේ අයියා සහ සචිර අයියා ඔහු විහිළුවට ගැනීම ය.බොහෝ ආසාවෙන් සකසන්නට පටන් ගත් කේක් එක සචිර අයියා සැකසුවාට කම් නොවේ.වඩාත් නරක කාරණාව එය දෙනෙත්ගේ විරහව සමරන කේක් ගෙඩිය බව සචිර අයියා නිවේදනය කිරීම ය.
“ඇයි දෙනෙත් අයියගෙ ගෑනු ළමයා එයාව දාලා ගියෙ..”
මා සචිර අයියාගෙන් විමසූයේ වඩා පහත් හඬකිනි.නමුත් සචිර අයියා පිළිවදන් දුන්නේ උස් ස්වරයකිනි.
“දාලා යන්න තැනක් නෑ සූකිරි.ඒකිත් මුගෙ බැච් එකේමනෙ.මේ යකා බූටක් කාලා..”
මට එයට හේතුව දැනගන්නට අවශ්‍ය වූයේ ඉන් පසුව ය.
“හම්මෝ..උඹල ඉතින්.අපෙ අම්මත් ඔහොමයි.මං නුවර ඉඳන් ගෙට අඩිය තිබ්බ වෙලාවෙ ඉඳන් රට පහක ඕප අහනව.”
සචිර අයියා මගේ නළලට තට්ටුවක් දමන්නේ එසේ කියමිනි.මම ඔහුට රවන්නේ ඒ සරදමට ම නොවේ.ඔහු මගේ ප්‍රශ්නයට පිළිවදන් නොදෙන නිසා ය.
“මූ එක්ක ඉන්න බෑ නංගි කෙල්ලෙක්ට..මූට ලව් කරන එක මාරම වාතයක්..”
මට නැඟුණු තරහ දෑසින් කියැවෙන්නට ඇත.නමුත් මගේ වචන ද ඉක්මන් විය.
“ඇයි ඒ? එයා ඈත ගමක දුප්පත් ළමේක් නිසා ද?”
සචිර අයියා මදෙස බැලුවේ දෑස වඩාත් සිහින් කරගෙන ය.ඔහු බැරෑරුම් වන්නේ එහෙමත් වෙලාවකට ය.මේ ඔහු එවැනි මුහුණක් මවා ගත් වෙලාවකි.
“මමවත් හසරැල්වත් ඌට එහෙම සලකපු දවසක් ඔයාට මතකද නංගි? “
මම ඉවත බලා ගතිමි.අයියා අලුත් ඉස්කෝලේ යාලුවන් ගැන තොරතෝංචියක් නැතුව කියවූ සන්දිය මට තවම මතක ය.ඔහුට ලංකාව පුරා ජීවත් වූ යහළුවන් හමු වීම ගැන තිබුණේ අමුතුම සතුටකි.ඈත ගම්වලින් ආ ළමයින් ඔවුන්ගේ ජීවිත කතා පවසද්දී අයියා ඒවා ගෙදර පැමිණ අපට පැවසුවේ ය.
“දෙනෙත් කියල යාලුවෙක් ඉන්නව.එයාලගෙ අම්මත් රටලු.හැබැයි දැන් ලියුමක් වත් එවන්නෑලු.එයාලගෙ තාත්තටත් වකුගඩුවක් දාලා ඉන්නෙ..”
අයියාට ඉන්පසු අසන්නට අටෝරාසියක ප්‍රශ්න තිබිණ.තුනේ පන්තියේ කෙල්ලක වූ මට ද ඒවා රසවත් කතා බැවින් මා ද ඔහුගේ කට දෙස බලාගෙන අයියාගේ පය පාමුලට වී හිඳගෙන සිටි අන්දම මට අමතක නොවේ.අපේ තාත්තා ද හිඳින්නේ ඈත රටක ය.නමුත් ඔහු දවසට කිහිප වතාවක් අප අමතයි.තාත්තා වසරකට වතාවක් අප බලන්නට එන්නේ තෑගි මහ හුඟක් රැගෙන ය.නමුත් ඒ නුදුටු දෙනෙත්ගේ අම්මා අතුරුදහන් වීම ම මට ගැටළුවක් විණ.එහෙත් ලෝකයේ එවැනි දෑ සිදු විය හැකි බව මට වැටහුණේ වයසින් වැඩෙද්දී ය.
“ඉගෙන ගන්න එක තමයි ඔය වගේ නොවී ඉන්න තියන එකම පාර….”
මම්මා ඒ කතා අසන අතර අපට බත් කවමින් පැවසුවා ය.දෙනෙත්ට උදව් අවශ්‍ය නම් උදව් කළ යුතු බවත් ගමකින් පැමිණි ළමයෙකු නගරයේ පාසලේ දී අසරණ කළයුතු නැති බවත් මම්මා අයියාට වටහා දුන්නා ය.දෙනෙත්, සචිර අයියාගේ නිවසේ සාමාජිකයෙකු බවට පත් වූයේ කාලයාගේ ඇවෑමෙන් ය.ඔහු ඒ නිවසේ දරුවෙකු තරමේ අයිතියක් හිමි කරගත්තේ හැසිරීම් රටාව නිසා බව මම සිතමි.
“සිරිමත් අපෙ සකි
යහපත් ළමයෙකි”
ඔහුව මඩවන්නට සචිර අයියා තිස්සෙම එසේ පැවසුවේ ය.නමුත් මා දුටු ආකර්ෂණීය ම නෙත් ඇත්තා වූයේ දෙනෙත් ය.”සූකිරියෝ”යැයි මා තුන වසරේ දැරියක කාලයේ පටන්ම මට අමතන සචිර අයියා මට මගේ අයියාට සමාන හැඟීමක් ගෙන ආවේ ය.නමුත් දෙනෙත් එසේ නොවේ.ඔහු මගේ හදවතෙහි ප්‍රථම මල් වසන්තය බවත් එකම වසන්තය විය යුතු බවත් මා විශ්වාස කරන්නට වූයේ නව යොවුන් දැරියක කාලයේ පටන් ය.
“අච්චර ලස්සන සල්ලිකාර සචිර අයියව තියාගෙන අර දෙනෙත්ට පිස්සුවෙන් ලව් කරන්න තරම් කොච්චර මෙයාගෙ මොලෙ අවුල් ඇද්ද?”
යෙත්මිත් උවනිත් මට ආඩපාලි කියූ හ.නමුත් මට මගේ හැඟීම ඔවුන්ටවත් හරිහැටි වටහා දිය නොහැකි විණ.
“සචිර අයියා ගැන මට එහෙම හිතෙන් නෑ..”
මා කෝපයෙන් කියද්දී ඔවුන් මට බැන වැදුණු දවස් ද අපමණ ය.
ආදරය හදවතෙහි බලෙන් හට ගන්නා හැඟීමක් නොවන මම සිතමි.ආදරය කරන්නට මිනිසුන්ගේ පවුල් පසුබිමවත් ශරීරයේ හැඩහුරුකමවත් අදාළ නොවේ.ආදරය පිරිසිදු හැඟීමක් පමණක් බව ආදරයක් නොලබාම ආදරවන්තියක වූ මම විශ්වාස කරමින් සිටියෙමි.
“දෙනෙත් ගෑනු ළමයින්ට හරියට නීති දානව.ඌ කියන හැටියට කෙල්ලො ඉන්න ඕන.අඳින පලඳින යන එන තැන් උගෙන් අවසර අරන් කරන්න ඕන..එහෙම ඉන්නවද අනේ කෙල්ලො?”
සචිර අයියා පවසද්දී මට තිබුණේ වෙනත් අදහසකි.
“ඉතිං..ආදරේ කරන කෙනාට ඕන විදියට ඉන්න බැරි ඇයි?”
සචිර අයියා දෙනෙත් කුඩා කර මදෙස බැලී ය.
“මොනව තේරෙනවටද සූකිරියො ඔය ගොන් කතා කියන්නෙ? ආදරේ කියන්නේ නිදහස නැති කරගන්න එකට කියලා කවදාවත් හිතන්න එපා..ඒක තමන්ගෙ අනාගතේම විනාස කරගන්න වැඩක්..”
ආදරය කියන්නේ අති ස්වාධීන ජීවිතයක හිඳින’තර තවත් කෙනෙකුට සමීප වීම නොවන බව මගේ සිත මට පැවසී ය.ලතාවක් සේ තම ආදරය හිමි වූ මිනිසා වෙත ඇලී ගැලී හිඳීම මිසක වෙන් වු ස්වාධීන ජීවිතයක් ගැහැනියකට කුමකටදැයි මම සිතීමි.
සත්තකින්ම දෙනෙත්ගේ ඒ සැරපරුෂ ආදරය ඉදිරියේ කුඩා දැරියක සේ අවනත වන්නට මට ඕනෑ විය.