සැරිසරන්නී -39

දානමය කටයුතු සර්ව සම්පූර්ණ වන්නට රවීන් අපේ ගෙදරට පැමිණීම හේතු වූවා සේ මට දැනිණ. ඔහු දානය බෙදීමටත් පිරිකර පූජා කිරීමටත් සම්බන්ධ වී, ලොකු අයියලා එක්ක දානය භුක්ති විඳීම ද කළේ ය.

“අපරාදෙ අද දානෙ බත් කන්න වෙන්නෑ සනූට”

සුනෙත් ලොකු අයියා දෙස බලමින් ඇසක් ඉඟි කළේ ය. 

“අද නෙවෙයි මේකි සතියකට කන එකක් නෑ. සතියකට”

“මොනාද ඕගොල්ලන්ට ගේන්නෙ…”

මම ඔවුන් ගේ විහිළුව නෑසුණා සේ ඇසුවෙමි.

“උඹ මේ දානෙ ගෙදර උයල තියෙන තරං දේවල් මූට කවන්න හදන්න එපා”

“අනේ මේ මෝඩයො”

රවීන් කළේ සිනහ වෙවී මදෙස බලා ඉන්නා එක ය. ඒ සිනහවේ ලොකු බලාපොරොත්තුවක් කැළතී තිබිණි. මට ඒ තුවාල වී පැලැස්තර දැමූ හිස ගෙන මගේ ළයෙහි හොවා ගන්නට නො සිතුණා නොවේ. අන්තිමට තාත්තා ඔහු ගෙදරට කැන්දා ගෙන ඒම කියනා සුභ ලකුණේ සැඟවී කිබූ සතුට විඳ ගන්නට මම වෙනත් කිසිදු කලබලයක් නො කළෙමි.

ගෙදර විශේෂ ආරාධිත අමුත්තා ගේ තත්වයට රවීන් පත් ව සිටියේ ය. ආච්චා හිතේ හැටියට ඔහු ට සංග්‍රහ කළා ය. අම්මා එහෙම විශේෂත්වයකට නාවත්, අනුබල දුන්නා මිස ඒ කටයුතු වලට අකුල් හෙළුවේ නැත. තාත්තා ද වරින් වර රවීන් ගැන සොයා බැලුවේ ය.

“වැඩේ කියන්නෙ බං කෝක වෙන්නෙත් හොඳට කියල කියන කතාව වෙලාවකට ඇත්ත වෙන එකනෙ. රවීනයට මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙත් හොඳට. ඒක නිසානෙ මේකිට ඉස්පිරිතාලෙ ගිහිං මූව බලන්නත් පර්මිශන් දීල…දැන් දානෙට බෑණාව ගෙදරටම කැන්ද ගත්තෙත්…නැද්ද…”

ලොකු අයියා නැවතත් මට වද දෙන එක පටන් ගත්තේ ය.

“මුන් දෙන්නා ප්ලෑන් කරල මේක කර ගෙනද කියලත් හිතෙනව”

“අනේ මේ හිර කර ගන්නෙ නැතුව කනවද…ප්ලෑන් කරල ඇක්සිඩන්ට් වෙනවනෙ”

මම රවා බැලුවෙමි. රවීන් සිනහ වුණේ ය.

“බලහංකො ග්‍රීන් ලයිට් දැක්ක ගමන් මේකි අපිට දානෙ සද්දෙ. කඩල දානව දුනුකේ මාමගෙ හිත”

එවර නම් අප කාටත් සිනහ ගියේ ය. කෑම කන්නට අපේ ගෙදරට ආ චමත්කා අප අසලින් ගියේ සීඝ්‍රගාමී දුම්රියක් තරම් වේගයෙන් අපට ගස්සා ගෙන ය. ලොකු අයියා ඇය දෙස සන්සුන් දෑසකින් බැලුවා මිස කිසිත් නො කීවේ ය. 

දිලුම් දානයට හෝ අපේ ගෙදරට ගොඩ වූයේ නැත. නිමාලි නැන්දා ඇතුළු ගෙදර අනිත් අය සිටියද, නැන්දා ගේ මූණේ හොඳක් නොවිණි. දිලුම් ගේ හැසිරීම පවුලේ ගෑනු ළමයින්ටත් නරක ලෙස බලපෑ හැකි යයි පවුලේ අය වටහා ගැනීම තුළ ඇය තරහ වී සිටියේ අපත් එක්ක ය. 

පවුලක් තුළ ඔය වැනි ප්‍රශ්න ඇති විය හැකි නිසා මම ඒවා ගැන බරපතල ලෙස සිතන්නට නො ගියෙමි. කොහොමටත් මේ විශාල පවුල ඇතුළේ විවිධාකාර චරිත ලක්ෂණ වලින් සමන්විත අය සිටිති. ඔවුන් ගේ අදහස් කිසි සේත් එක් රේඛාවක් මත සමපාත වෙතැයි සිතිය නො හැකි ය. ප්‍රශ්න නැති දවසක් අතීතයේ සිට ම පවුලෙහි නො තිබිණි. හේතුවක් ඇතිව හෝ ලොකු හේතුවක් නැතිව එක එක්කෙනා අතරේ අමනාපකම් පැවතිණි. සමහරු තරහ වී ඉක්මනින් යාළු වූහ. සමහරුන්ගේ අමනාපකම් දිගු කාලයක් තිස්සේ පැවතිණි. එසේ අමනාපයෙන් හිඳ මිතුරු වූ පසු ඔවුන් අතරේ හිතවත්කම් ටික කලකට ඉතා දැඩි වීමත්, ඒ ඔස්සේ ඇති වන කේලාම් කීම් මත වෙනත් කෙනෙකු හා අමනාප වීමත් සාමාන්‍ය ලක්ෂණය ය. 

රවීන් ව තාත්තා ගෙදරට ම කතා කරගෙන ඒම නිමාලි නැන්දා ගේ සේ ම නයනා කැන්දා ගේ ද ඇස් වල කටු අනිනා සිදුවීමක් වූ බව මම දනිමි. නමුත් ඒ කටුවකින් ඔවුන් ට රිදෙනු බලා සතුටු වෙන්නට තරම් පටු මනසක් මට ඇත්තේ නැත.

සෑම අඳුරු වලාකුළක් පිටුපස ම රිදී රේඛාවක් ඇතැයි ඉංග්‍රීසි කියමනක් තිබේ. මා එය ඉගෙන ගත්තේ ඉතා ම කුඩා වයස් වලදී තාත්තා ගේ ඉංග්‍රීසි පාඩමකිනි. දැන් ඇති ව තිබෙන්නේ ත් එවන් තත්වයකැයි හැඟීමක් තුනීවට හිතේ පා වෙමින් තිබිණි. නමුත් ශෝකය යනු සතුටත් එක්ක එක කාසියක අනිත් පැත්තේ පවතින්නා වූ, ඕනෑ ම මොහොතක පැත්ත මාරු විය හැකි දෙයක් බව ද මා ඉගෙන ගන්නට නියමිත ව තිබුණේ ය.

දානයේ කටයුතු නිමා වී අස් පස් කිරීමෙන් පසු අපි විවේක ගත්තෙමු. නිදි වරා හා වෙහෙස වී හිඳිනා විට ඉක්මන් නින්දක් අප වෙත එන්නේ නැති බව මා අවබෝධ කර ගෙන තිබෙන්නේ අත්දැකීමෙනි. මේ සන්ධ්‍යාවේ ත් මට නින්ද ගියේ නැත. නංගී ඉක්මන් නින්දකට වැටුණා ය. යාබද ඇඳේ නිදනා ආච්චා ගොරවනු ද ඇසුණේ ය. මම ඇඳේ ඒ මේ අත පෙරළෙමින් හිඳ රවීන් ට ඇමතුමක් ගතිමි.

“නිදාගෙන නෙවෙයි නේද හිටියෙ…”

ආදරය කරත්දී ගෑනු ළමයෙකු ගේ කට හඬ පවා ඒ තරම් සෞම්‍ය වන්නට පිළිවන් ද? කෙසේ වෙතත් මා කතා කළේ පිටතට නෑසෙන සේ ඉතා හෙමිහිට ය. යන්තම් කොළ එළියක් දැල්වුණා ට අම්මා හෝ තාත්තා තවමත් රවීන් ව බෑණා කර ගනු වස් සෟජු කැමැත්තක් ප්‍රකාශ කොට තිබුණේ නැත. 

“නින්ද යන්නෙ නෑ මැණිකෙ. ඔයා මතක් වෙනව”

ඔහු මුළු හදවතේ ම කැටි කොට ගෙන සිටි ආදරය සුසුමකින් ද හැඩ කොට කීවේ ය. එහෙව් ආදරයක් දැඩිව වැළඳ ගන්නවා මිස මේ විදිහට ඈතක හිඳ ගුලි වීම විටෙක දරා ගත නො හැකි  තරමි.

“මොනාද මං ගැන මතක් වෙන්නෙ..”

“ඔයාව බලා ගන්නෙ කොහොමද කියල හිතෙනව හැම වෙලේම. මට ඔයාවත් මිස් වෙයිද කියල බයයි. ඔයත් නැති වෙලා ගියොත්නං…”

“අයියෙ…”

“මගෙ අඩුපාඩුවක් තියෙනවද තියෙනවනං ඒ මොකද්ද කියල මං හොයනව. ඔයත් දවසක මාව දාල යනකල් බලං ඉන්න බෑ. ආයෙත් සැරයක් එහෙම දුකක් විඳින්න තරං හයියකුත් දැන් හිතට නෑ”

“මාව අමුතුවෙං බලා ගන්න දෙයක් ඇති කියල මං හිතන්නෑ. හැම වෙලේම තමංගෙ පිරිමියව ඇඟේ එල්ලගෙන ඉන්න ඕන කියල හිතන බබා පාට් මගෙ ළඟ නෑ. අපි නිදහසේ අපිව දරා ගන්නයි ඕනෙ. සතුටු වෙලාවට මාත් එක්ක හිනා වෙන්නයි අඬන්න ඕන වෙලාවට උරිස්ස දීල ඔළුව අත ගාල හිත හදන්නයි පුළුවන් තරං සොෆ්ට් හිතක් ඔයාට තියනව කියල මං දන්නව. ඒ විදිහට දේවල් ශෙයා කරගෙන අපිට මේ ගමන යන්න තිබුණොත් ඇති”

“චූටි කෙල්ලෙක් ඔය තරං පණ්ඩිත විදිහට හිතනකොට පුදුමයි”

“චූටි නෑ. මේ වයසෙදි අම්මට අපි දෙන්නම හම්බ වෙලාලු”

“ඉතිං දැන් ඔයාට ඒක මදිකමක් වගේ දැනෙනවද…”

“ඒ කිව්වෙ…”

“තාම ළමයි දෙතුන් දෙනෙක් නැති එක”

“අනේ ඔයා හරි නරකයි අයියෙ”

රිදෙන්නට ම පහළට කඩා වැටී දිය ඇල්ලක් යන නම ලබන දිය දහරකට වුව ඊළඟට හෙමිහිට ගලා බසිත හැකි මිටියාවත් හා තැනිතලා බිම් හමු වන්නේ ය. ඒ වෙලාවට හෙමිහිට ගලනා ගමන් විඩා නිවන්නට පුළුවන. මගේ ජීවිතයට මේ එළඹ තිබෙන්නේත් ගිමන් නිවන්නට එහෙම මිටියාවතකැයි, කෙටි නින්දක් ලබා අවදි වෙන තුරා මම සිතා උන්නෙමි.

“සනූ. මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ ටිකක්. අපි උඩට යමු ටිකක්”

තේ මග් දෙක අතට ගෙන අම්මා ඇරයුමක් කළා ය. මා ක්ෂණික ගල් ගැසීමකට ලක් විය. අම්මා සාමාන්‍යයෙන් එහෙම කතා බහ වලට අපට ඇරයුම් කරන්නේ නැත. මේ කොහොම කතා බහක් විය හැකි ද? ඒ රවීන් ගැන ද? වෙනදා ඔහු ගැන කියත්දී අම්මා ගේ හඬෙහි වන නො රිස්සුම මේ මොහොතේ වූයේ ත් නැත. මෙය වූ කලී හිත පිරිමදිනා මුදු භාෂිතයකි. එසේ නම් අම්මා රවීන් ව පිළිගන්නට කැමැත්ත පළ කරන්නට සූදානම් වෙනවා ද?

කියන්නට යන්නේ කුමක් දැයි අනුමානයන් කරමින් අම්මා පසු පස මම කොංක්‍රීට් තලාව මත්තට ගියෙමි. ඒ මත වන පරණ පුටුවක ඇය අසුන් ගත්තා ය. මම උස රවුම් ස්ටූල් එකේ යන්තම් හිඳ කකුල් දෙක පොළොවෙහ් තියා සමතුලිත බව රැක ගතිමි.

“අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් හැම දේම කරන්නෙ දරුවො වෙනුවෙන් සනූ. දරුවන්ගෙ යහපත වෙනුවෙන්. ඔයා රවීන් එක්ක සම්බන්ධයක් තියෙනව කියල දැන ගත්තහම අපි කලබල වුණේ ඒකයි”

මම තේ උගුරක් ගිලිනා ගමන් බිම බැලුවෙමි. පවනක් කොහේදෝ ගමනක් යන ගමන් මගේ ඇඟේ හැපී ගෙන ගියේ ය. නමුත් මට මේ ඒ ගැන සිතත හැකි වෙලාවක් වූයේ නැත.

“පුතේ..ඔයාගෙ අම්ම මේ කතා කරන්නෙ. කසාදයක් කියන්නෙ අලුත් ජීවිතයක්..අලුත් ගමනක්. අලුත් හිත් දෙකක් එකට එකතු වෙන නැවුම් සුවඳ හමන මොහොතක් වෙන්න ඕනෙ. පරන කසාදෙක පිළුණු සුවඳ හමන තැනක ඔයාගෙ අලුත් ජීවිතේ පැළ කරන්න මටනං හිත හදාගන්න බෑ පුතේ”

“අම්…ම”

මා මවා ගෙන ආ හීන මාළිගාව මගේ දෙපා පා මුල ම කඩා ගෙන වැටෙන්නට වීමේ ශෝකයෙන් මම භීතියට පත් වීමි.

“ඒක හුඟක් දුර දිග ගිය සම්බන්ධයක් නෙවෙයිනෙ. බැනල ගහල ඔෆිස් යන්න නොදී හිර කරං ඉඳල ඔයාගෙ හිතෙන් රවීන් ව උදුරල විසි කරන්න අපිට බෑ කියල මං දැන් දන්නව. ඒක නිසා ඔයා මේක තේරුං අරං ඔයාම ඒ සම්බන්දෙ නතර කරන්න. මේක ඉල්ලීමක් පුතේ. අම්ම කෙනෙක්ට අයිතිය නැද්ද තමංගෙ කුසේ තියං දහ දුක් විඳල හදපු දරුවෙක්ගෙං එහෙම ඉල්ලීමක් කරන්න…”

මොන දුක් විඳගෙන හැදුවත් ඒ ජීවිතය ගැන අයිතිය තියෙන්නේ ඒ ජීවිතය ලබා ඇති කෙනාට මිස ජීවිතය දුන් කෙනා ට නොවේ. ඒ වගේ තර්ක පෙළක් විත් මගේ හිත ළඟ අවි අමෝරා ගෙන සිට ගති. නමුත් මගේ තර්ක බුද්ධියේ අවි වලින් මගේ ම අම්මා ට පහර දිය යුතු ද? පහර දිය හැකි ද? යුද්ධයෙන් නොව සාමයෙන් ද ජය ගත හැකි යයි යටි හිතේ කොනක අසරණ කෙඳිරියක් මතු විය. මම එතැනින් අල්ලා ගතිමි.

“අම්මෙ…සීයත් කලින් බැඳපු කෙනෙක්ලුනෙ. ඒත් ඉතිං…”

“සනූ. ආච්චා කියන කතාවම කියන්න හදන්න එපා. සීයා කියන්නෙ එයාගෙ වයිෆ් මැරිල නිසා දරුවත් එක්ක තනි වෙච්ච කෙනෙක්. ඒත් රවීන් කියන්නෙ එයාගෙ හොඳ තරුණ වයසෙදිම වයිෆ් දාල ගිය කෙනෙක්. පෙනුමෙන් රවීන් කොච්චර හැන්ඩ්සම් ද…කෙල්ලො නෙවෙයි මැදි වයසෙ ගෑනු ඇස් දෙකක් වුණත් හැරිල බලන තරං පර්සනලිටි එකක් එයාට තියෙනව..මන් දන්නව…ඔයා අර එක එක රටවල ඩ්‍රාමා බලන ගමන් කියවන පිරිමි පාට රවීන්ට තියෙනව..ඒත් එයාගෙ වයිෆ් ඇයි එච්චර හැන්ඩ්සම් හස්බන් කෙනෙක්ව අත්ඇරියෙ කියන ප්‍රශ්නෙ අමතක කරන්න මට නං බෑ. ආදරේ ගැන මිසක් පවුල් ජීවිතේ ගැන අබ මල් රේණුවක දෙයක් ඔයා දන්නෙ නෑ සනූ. ඒකයි මං මෙච්චර මේ ගැන බය”

“අම්මෙ…එහෙනං ඇයි…ඇයි දෙයියනේ ආයෙත් මගෙ හිතට බලාපොරොත්තු ඇති කර ගන්න ඉඩ දුන්නෙ…ඇයි මට රවීන් අයිය බලන්න හොස්පිට්ල් යන්න කිව්වෙ..එයාව දානෙටත් ගෙට එක්කං ආව නේද තාත්තා…මං හිතුවෙ..”

“ඔයා ඒ දේවල් ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියා ගන්න නිසා තමයි මං මෙහෙම කතා කරන්න හිතුවෙ. සනූ…පුතේ…ඔයත් හදිස්සි වෙලා ශෙහාරා වගේ පැනල ගියොත් මොකද කරන්නෙ කියන බය තදටම මගෙ හිතට වද දුන්න. ඒකයි මං කිව්වෙ ගිහිං රවීන්ව බලන්න කියල.. ඔයා එහෙම හිතුවක්කාරකමක් කළොත් මගෙ විතරක් නෙවෙයි අර මනුස්සය ගෙත් පපුව පැලිල මැරෙයි පුතේ”

එක්වර ම මට මතක් වූයේ පැවිද්ද වෙත සිදුහත් ව එතෙර කරවා  ළය පැලී මිය ගිය ඛන්තක අශ්වයා ය. මිනිස් බැඳීම් ඒ වාගේ ය. මගේ තාත්තා ගැනත් අම්මා ගැනත් වේදනාවෙන් මගේ ළය පැළෙන්නට ආවේ ය. අනිත් අතට රවීන් අහිමි වුණොත් කියන සොවින් මියෙන්නට පුළුවන් කම මට තිබුණේ ය. නමුත් මම බැඳීම් වල කෙළවර වන්නා වූ මේ ශෝකය දෙස උපේක්ෂා සහගත ව බලන්න ට සිතුවෙමි.

“මට පොරොන්දු වෙන්න සනූ…රවීන්ව අමතක කරනව කියල. ඔයාට අම්ම වෙනුවෙන් එහෙම දෙයක් කරන්න බැරිද…”

අම්මා මට ඈ වෙනුවෙන් මගේ ජීවිතය අත් හරින්නයි කීවා නම් මීට වඩා පහසුවෙන් මට ඒ කරන්නට තිබිණි. 

“එයාට…එක අවස්ථාවක් දීල බලන්න බැරිද අම්මෙ…මං දන්නව. එයා මට ආදරෙයි. මට විශ්වාසයි. මැරෙනකල්ම තාක්ත වගේ ම මාව බලා ගනී. ඒක නිසා…”

“ඔයා සෙල්ලම් බඩුවක්වත් පරීක්ෂණාගාර මීයෙක්වත් නෙවෙයි සනූ. රවීන් ට අවස්ථාවක් දීල හරි ගියෙ නැත්තං ඔයා අර ලොකූ වගේ ගෙදර එන්නද…මට පොරොන්දු වෙන්න සනූ. ඔයාගෙ අම්මගෙ ඔළුවෙ අත තියල පොරොන්දු වෙන්න. හැඟීමකට වඩා ජීවිතේ හුඟක් වටිනව සනූ. ඒකයි මං මේ තරං කියන්නෙ”

අම්මා මගේ අත ගෙන සිය හිස මතින් තියා ගත්තා ය. මේ කොහොම මොහොතක් ද? මගේ ඇස් වලින් කඳුළු උතුරා යමින් තිබිණ. 

“රවීන් ව අමතක කරනව කියලනං පොරොන්දු වෙන්න මට බෑ අම්මෙ..අන්තිම හුස්ම හෙළන වෙලාවෙත් මට එයා මතක් වෙයි. ඒත් එයා එක්ක තියන සම්බන්දෙ…අම්ම ඔච්චර කියන නිසා…මට වෙන කරන්න දෙයක් නැති නිසා…අම්මලගෙ හිත් වලට ගින්දර දුන්නා කියන පව කර ගන්න බැරි නිසා…මං එයා එක්ක තියෙන සම්බන්දෙ ඉවර කරල ගින්දරත් එක්ක ජීවත් වෙනව කියන එක තෝර ගන්නං”

“ඔය වගේ පොඩි සම්බන්දයක් නතර වුණා කියල ජීවිතේ නතර වෙන්නෙ නෑ සනූ. ඔයාට දවසක තේරෙයි. ඔයා ගත්ත මේ තීරණේ ඔයාගෙ ජීවිතේට කොච්චර හොඳ විදිහට බලපෑවද කියල”

අම්මා කතා කළේ සැනසීමෙනි. ඇයට ඒ සැනසීම විඳ ගන්නට දී මම අමු අමුවේ ගින්දරට පැන්නෙමි.

“අයියෙ. ඔයාට පුළුවන් ද ලොකු අයියත් එක්ක එළියට එන්න…මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනව”

අම්මා ඉදිරියේ ම මම රවීන් ට දුරකතන අමතුමක් ගෙන කීවෙමි. අම්මා මගේ හිස පිරිමැද්දා ය. මම අත් දෙකෙන් කඳුළු පිස දා හළෙමි. හිත හයිය කර ගෙන සූදානම් වී පිටතට ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles