හසරැලි වැස්සේ-17

“අයියා බොහොම තේරෙන සිංහලෙන් තමයි ඉතින් කියලා තියෙන්නෙ..”

මගේ විස්තරය සහිත කෙටි පණිවිඩය කියවූ යෙත්මි එසේ ලියා එවා තිබුණා ය.දෙනෙත් කියන්නේ අමුතු තරුණයෙකු බව කොහොමටත් පවසන ඇය අයියා සමග තදින් එකඟ වී එසේ පැවසීම මගේ දුක අලුත් කරන්නක් විය.

“අයියා සිංහලෙන් කියලා තියෙන්නේ දෙනෙත්ගෙන් ඈත් වෙලා ඉන්න කියල.ඔයා සචිර අයියත්තෙක්ක කතා කරා කියලා අයියා කවදාවත් කතා කරපු දේවල් අහන්නේ නෑනෙ.වෙනසක් තියෙනවා ඔයා තේරුම් ගන්න..”

දෙනෙත් ගැන තවදුරටත් කතා කතා කරන්නට අකමැති ඇය එසේ කියා නිහඩ වූවා ය.

මා සිටියේ නිදි වර්ජිත රාත්‍රියක් පසුකරමිනි.යන්තම් යොවුන් වියට එළඹි දා පටන් ප්‍රේමයක තරු එළි මගේ හිතේ ජනිත වූයේ දෙනෙත් වෙනුවෙනි.මා ජම්බු ගසකින් වැටී ඇතැයි අයියා සරදම් කළ කාලයේ පටන් මට යෞවනියකට ලෙස සැලකූයේ දෙනෙත් ය.

“ඔය ජම්බු ගස් නම් අපිට වැඩක් නෑ.අපිට තවමත් ඔයා අපේ සූකිරියා.අපිව දැක්කම ඈතින් යන්න තියා ගන්නව නෙවෙයි හරිද!”

සචිර අයියා මට එසේ පවසමින් මා විහිළුවට ගත් නමුත් දෙනෙත් මා කෙරෙන් ඈත් වූයේ මා වැඩිවියට පත් වීමත් සමඟ ය.ඔහු තැබූ ඒ පියවර ඔහු මට වෙනස් කෙනෙකුට මෙන් සලකන බව මට දැනෙන්නට හේතුවක් විණ.මා කන බත් පතෙන් කටක් ඉල්ලා ගන්නා සචිර අයියාට වඩා මා යුවතියක ලෙස සලකන ඔහු ගැන මම ප්‍රේමයෙන් මන්මත් වීමි.

නිවැරදිව බලද්දී ඔහුට ආදරය කරන්නට හේතු සැපයූවේ ඔහුම ය.

“හසරැල් අයියා අකමැතියි කියන්නේ දෙනෙත් හොඳ මනුස්සයෙක් වුණත් ඵලක් නෑ කියන එක..ඒ නිසා ඔන්න ඔය ෆීලින් එක අත් අරින්න හසී..”

යෙත්මි කතාව අවසන් කළේ එහෙම ය.නමුත් අයියා හෝ දෙමාපියන් අකමැති හන්දා ප්‍රේමයක් අතැර දමා සටන නිමා කරන යුවතියක වන්නට මට නුවුමනා ය.මම ඒ දශකවලට අයත් යෞවනියක නොවේ.

“ආදරේ කරපු මිනිහා බැඳගන්න හම්බුණේ නැත්නම් මම වගේ ඉන්න තිබ්බා.එහෙම නැත්නම් බැඳලා ළමයි හදාගත්තු මිනිහට ආදරේ කරන්න වෙනවා.ඒ නැතුව පොඩ්ඩ ඇත්නම් ඒ මනුස්සයා එක්ක රන්ඩු කරන්නයි ඒ මනුස්සයා රටේ ඉන්නවට අකමැති වෙන්නයි ඕන නෑනෙ..”

රාත්‍රියේ දී නාන කාමරය වෙත යමින් සිටි මම මම්මාගේ හඬ අසමින් අම්මාගේ කාමරයේ දොර අසල රැඳුණෙමි.මේ මා නොදන්නා කතාවකි.

“පොඩි එකී පිටින් දාන්නෙ ඒ ළමයගෙ තාත්තට තියන තරහ කියල මම දන්නවා.මනමාලයා බලන්න ආව දවසෙත් මං කිව්වා,පෝරුවට නගින්න ඉස්සරින්දාත් කීවා..ළමයෙක් ඕන කියන තැනට ආවමත් මම කීවා..හසරැල්ව ලැබුණට පස්සෙත් කිව්වා..”

මම්මා කියන්නේ ආවේගයෙනි.

“ආදරේ කරපු මනුස්සය බඳින්න අම්මලා දුන්නද අක්කෙ..”

අම්මාගේ කටහඬ ද තරහ පිරුණු එකකි.ඇගේ විවාහයට බොහෝ කල් වී ද ඇය හිඳින්නේ අහිමි පෙම්වතෙකු ගැන ශෝකයෙන් බව මට වැටහිණ.

“කොන්දක් පණ තියෙන්න ඕන.අම්මයි තාත්තයි සුගත්ට අකමැති වුණා..ඒ දෙන්නම දැන් නෑ..හැබැයි පොඩ්ඩි ඔයා තාමත් විඳෝනවා.ඔයාගේ කසාද මනුස්සයා මේ මොකුත් නොදැන ඔහේ වෙන රටක ජීවත් වෙනවා.ඒ මනුස්සයගෙ ලෙයින් උපන් ළමයින්ගේ පිට උඹේ තරහ යවල වැඩක් නෑනෙ..”

මම සෙල් රුවක් සේ නොසෙල්වී ඒ කතා අසා සිටියෙමි.ආදරය මොනතරම් අරුම දෙයක්දැයි මට සිතේ.මම්මා ඇගේ ආදරය ඒකපාර්ශවික වූ හන්දා තවම අවිවාහක ය.අම්මා ඇගේ ප්‍රේමය අත්තම්මාත් සීයාත් ඉවත දැමූ හන්දා තවමත් අමනාපයෙනි.ඔවුන්ට මඟ හැරුණු ප්‍රේමවන්තයන් සොයා ගන්නට තරම් හැඟීමක් මට ඇති විණ.ඔවුන් ආදරය අතරමඟක අතැර දැමූ නිසා තවමත් දැවෙමින් හිඳින ගැහැනුන් දෙදෙනෙකු ගැන ඔවුන්ට කියන්නට කතාවක් මට තිබේ.

“අම්මලට සතුටක් පේන්නනෙ අක්කේ මං ජයන්තව බැන්දේ..මං සල්ලි බාගේ අගහිගයක් නැති මිනිහෙක්ව බැන්දා.ඒ මනුස්සයට දාව දරුවෝ හැදුවා.උන්ට ඉගැන්නුවා.අම්මලා හිතනව ඇති මං සතුටින් කියලා.ඉන්න ලෝකෙක ඉඳන් එහෙම හිතනව ඇති..”

අම්මා නපුරු ගැහැනියක බව සිතීම ගැන මට ඇති වන්නේ කණගාටුවකි.ඇය ඇගේ ප්‍රාර්ථනා කළ ලෝකය ඉටු නොවීම නිසා ශෝකයෙනි.එය ඇය තවමත් විඳවන කාරණාවක් වීම කොපමණ ශෝකයක් ද?

“ආදරේ කරපු කෙනාම බඳින්න ලැබුණු ගෑනු සතුටින් ඇති අක්කේ..මට නම් මැරෙන්න මොහොතක් තියලත් සුගත්ව මතකෙට එයි..”

අම්මා එසේ කියා හූල්ලන හඬ ඇසිණ.තව දුරටත් ඒ කතාව අසන්නට නොරිසි මම නාන කාමරය වෙත ගියේ ගිනිගත් හදිනි.

“මටත් මේ වගේ වේදනාවෙන් වයසට යන්න දෙන්නද ඔයාගේ කල්පනාව..”

නාන කාමරයේ විශාල දර්පණයෙන් පෙනෙන මගේ රුව දෙස බලමින් මම විමසුවේ දෙනෙත්ගෙනි.නැත! මට අම්මාට හෝ මම්මාට මෙන් වේදනාබර ලෝකයක ජීවිතය ගෙවන්නට නොහැකි ය.

මම තදබල තීරණයක් ගත්තේ ඒ නිසොල්මන් මැදියමේ දී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles