බොරු ලෙඩ.

“ඔයා ලෑස්තිද ශානු?”

ගයාන් කතා කරනකොටත් ශානිකා හිටියේ.දරාගන්න බැරි උදරයේ වේදනාව නිසාම ශානිකාට ඕනෑ වුණේ හොඳටම නිදාගන්න.පැලෙන තරම් වේදනා දෙන හිසත් රිදෙන කකුල් සහ ඇඟත් උදර වේදනාවට එකතු උනාම ශානිකාට ජීවිතය කලකිරෙන තරම් වුණා.එහෙම වේදනාවකින් ඉන්නකොට තමයි ගයාන් මේ පාටියකට යන්න කතා කරන්නේ.

“අනේ මට බෑ ගයාන්..”

ශානිකාගේ කටහඬත් කෙඳිරිල්ලට බරයි.කෙඳිරිගාමින් ඇඳේ වැතිරිලා හිටපු ශානිකාට ඕනේ මොනවද කියලවත් නාහා ගයාන් මූණ රකුසු කර ගත්තා.

“මොන විකාරයක්ද මේ?විකාර කරන්න නැතුව ලෑස්ති වෙනවා..”

මේ විකාරයක් නොවන බව ශානිකා දන්නවා.අවුරුදු දහතුනේදී කාමරයක් ඇතුලට හිරවෙන්න වුණු දවස් සහ එතනින් පස්සෙ එලඹුණු හැම මාසයක් ම ශානිකාට මතකයි.ඒ වේදනාව ඇයට ඇය අහිමි කරපු තැන් ඕනෑ තරම්.රෝගී තත්ත්වයක් ද බලන්න අම්මා ඇයව නාරිවේද වෛද්‍යවරුන් ළඟට රැගෙන ගිය අවස්ථාත් හිසේ කෙස් ගාණට වැඩියි.

නමුත් විශේෂ අසනීපයක් නොතිබිලත් ශානිකා ඔසප් දවස් පසුකර ගත්තෙ අමාරුවෙන්.

“මට හරි අමාරුයි ගයාන් මට එන්න බෑ..”

ශානිකා එහෙම අහනකොට ශානිකාගේ බෝඩිම් මිතුරිය වුණු ලෝචනා ගයාන් දිහා බැලුවේ මිතුරිය වෙනුවෙන් කතා කරන්න හිතමින්

“මෙයා මෙහෙම දවසට ඉන්නේ බාගෙට මැරිලානෙ ගයාන්.ඒ නිසා ඔයා ඔය පාටි එකට තනියම ගිහින් එන්න.අනේ පුලුවන්නම් මෙතන හන්දියෙන් තැඹිලි ගෙඩියකුත් ගෙනත් දීලා යනවද? ශානුට තැඹිලි බිව්වහම ටිකක් සනීප වෙනව..”

Angry Couple

ඇත්තටම ආදරයෙන් කළත් නැතත් කෙනෙක් අසනීපෙකින් අමාරුවකින් ඉන්න වෙලාවට හිත උණු වීම සාමාන්‍ය මනුස්ස ස්වභාවය විය යුතුයි.ඒ වුණාට ගයාන් ලෝචනා දිහා බැලුවේ සමච්චලයට හිනාවෙලා.

“විකාරද ලෝචනා? මේවත් ලෙඩ ද? මෙයා මේ බබා වෙන්න කරන සමයං වලට අහු වෙන්න එපා..ඔයාට ඕන්නම් තැඹිලි බැරිනම් ඕන එකක් අරන් එන්න.. මටනම් මේ විකාර අප්‍රසන්නයි..”

ලෝචනාට පුදුමාකාර තරහක් ඇති වුණා .මේ වගේ අමනුස්සයෙක් මිතුරියගේ පෙම්වතා වීම ගැන ඇයට ඇති වුණේ අප්‍රසන්න කමක්.

“ඔයා ඔය වේදනාව දන්නවද?”

ලෝචනා එහෙම අහනකොට ගයාන් ලෝචනා දිහා බැලුවේ තරහින්.

“ඒ වේදනාව දැනගන්න මම ගෑනියෙක් නෙමෙයි නේ..”

ඔහු එහෙම කියනවා.ලෝචනා අත්දෙක බැඳගෙන ගයාන් දිහාට හැරුණා.

“නොදන්නවනම් ඔයා කොහොමද වේදනාවේ තරම තීරණය කරන්නෙ..”

පරදින්න අකමැති ගයාන් ලෝචනා දිහා නපුරු බැල්මක් හෙලුවා.

“මෙහෙමයි ලෝචනා.මිනිස්සුන්ට ඕනේ තරම් ලෙඩ හැදෙනවා.මාසෙකට සැරයක් හැදෙන අසනීපයකට හොටු පෙරාගෙන අඬාගෙන ඇඳට වෙලා ගුලිවෙලා ඉන්න ගෑනියෙක් මගේ ගෑනි කරගන්න මටත් එපා වෙනවා..”

ගයාන් එහෙම කියනකොට මේ සම්බන්ධය කැඩිලා ගියත් කමක් නෑ කියලා හිතුණු ශානිකා අමාරුවෙන් ඇඳෙන් නැගිට්ටා.

“මම ඔයාව බැඳලා දවසක ප්‍රෙග්නන්ට් වෙයි නේ..අන්න එතකොට මට වමනෙ යනකොට කකුල් ඉදිමෙන කොට අමාරුකම් එනකොට ඔයා මොනවා කියයිද”

ඒ වචන අහපු ගයාන් හිනා උනේ වහලේ උළු උඩ යන තරම් හයියෙන්.

“ඔයාලා මහා දුර්වල ගෑනු.”

ඔහු ඉක්මන් නිගමනයකට එළඹුණා.

“ගෑනු උනාම ශක්තිමත් වෙන්න ඕනෙ..”

ගයාන් ඊළඟ සිතුවිල්ලත් ඉදිරිපත් කළා.ශානිකා තර්ක කරල පදනමක් නෑ කියලා හිතාගෙන ආපහු ඇඳේ ඇල උනේ හිතට ආපු වේදනාවෙන්.

“ඔය පීරියඩ්ස් හැදෙන එක,ලමයි හම්බවෙන එක ඔයාලට සොබාදහමෙන් හම්බවුනු සාමාන්‍ය දේවල්.එහෙම දරාගන්න බැරි ඇයි? කැක්කුමයි රිදෙනවා අනම් මනම් කියලා බෙරිහන් දෙන්න දෙයක් නෑ.ගෑනු වෙලා ඉපදුණා නම් දරාගන්න පුරුදු වෙන්න..”

ගයාන්ගේ කතාව එතනින් නැවතුනේ නෑ.ඔහු ලෝකය පුරා ගැහැනු දුක් විඳින ආකාරය ගැන දත්ත සහ විස්තර වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තා.ගයාන්ගේ මූණ හරහා හොඳ පාරක් එල්ල කරන්න තිබුණා නම් කියලා හිතන ගමන් ලෝචනා ඒ කතාව අහගෙන හිටියා.

“ඔව් ඇත්ත.ඔය පේන් එක එක එක්කෙනාට විවිධයි.මේ වහල යට ඉන්න මට කිසිම ගානක් නැති සිද්ධියක් ශානිකා විඳගන්න පුදුමාකාර වේදනාවකින්.ලෙඩේ ස්වභාවය දන්න මම වුණත් මට රිදෙන්නෙ නැත්නම් ඔයාට රිදෙන් නැත් ඇයි කියලා අහන්නෙ නෑ..”

කියන්න තියෙන සේරම කියලා මිසක් ගයාන්‍ට යන්න දෙන්නේ නෑ කියලා හිතපු ලෝචනා දිගටම කතා කරන්න පටන් ගත්තා.

“ඔයා වගේ මිනිස්සු තමයි ප්‍රෙග්නන්ට් වුණාට පස්සෙත් වමනේ දදා හරි වයිෆ් උයන්න ඕනි කියල හිතන්නේ..එයාගෙ පහසුව කොහොම වුණත් නෝමල් විදියටම බබා ලැබෙන්න ඕනේ කියල හිතන්නේ.බබා ලැබිලා ගෙදර ආපු වෙලාවේ ඉඳලා ගෙදර හැම වැඩක්ම කරන්න ඕනි කියල හිතන්නේ..ඔයා දන්නවද ඒව වුණත් එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්..මගේ නෑනට morning sickness වත් කෑම කන්න බැරි කමක් වත් කිසිම අමාරුවක් තිබුනේ නෑ.මගේ අක්කා චූටි පුතා ලැබෙන දවස වෙනකම්ම වැඩිපුර ජීවත් වුණේ සේලයින් වලින්.හැබැයි ඒ දෙන්න එක එක්කෙනාව ජජ් කරගත්තෙත් නෑ..”

ලෝචනා මොනවා කිව්වත් තමන් හරි කියලා හිතපු ගයාන් හොඳටම කේන්තියෙන් යන්න ගියා.

“ලෙඩ ගෑනියෙක් මට ඕනේ නෑ..”

ඔහු එහෙම පණිවිඩයක් එවලා තිබුණා.ශරීර වේදනාව එක්කම දැනුණු මානසික වේදනාව අමතක කරන්න ශානිකා අසීරු මදහසක් නගා ගත්තා.

“ඒ ලෙඩේ හැදෙන්නේ නැති ගෑණු කෙනෙක් එයා හොයා ගන්නෙ නැතැයි..”

ශානිකා එහෙම කිව්වේ කෙඳිරිගාන අතර.

“මං හන්දියට ගිහින් ඔයාට තැඹිලි ගෙඩියක් අරගෙන එන්නම්..”

කොන්ඩය පීරමින් එහෙම කියන මිතුරිය දිහා ශානිකා බලාගෙන හිටියේ ආදරෙන්.ගැහැනියකට වල කපන්නේ තවත් ගැහැනියක්මයි කියලා ෆේස්බුක් පෝස්ට් පල වෙන හැටි ඇය සිහි කළා.ඒ කතාව කොච්චර වැරදිද ? ගැහැනියකගේ වේදනාව බොහෝ විට තේරුම් ගන්න තවත් ගැහැනියකට පුළුවන්.ඒ වගේ ආදරණීය මිතුරු ඇසුරක් ලැබෙන එකත් වාසනාවක් කියලා ශානිකා හිතුවා.

More Stories

Don't Miss


Latest Articles