(අ)හිමි සිහින-7

ඒ කාලේ මට ඉස්කෝලේ යන්න කලින් අම්මගේ පරීක්ෂා කිරීමට ගොදුරු වෙන්න සිද්ධ වුණා.මුළු පාසල් බෑගයම එයා පරික්ෂා කරනවා.පොතෙන් පොත පිටුවෙන් පිටුව පෙරලලා ලියුම් තියනවද කියලා බලන තරම් අම්මා හිටියේ සැකයෙන්.ඒ විතරක් නෙමේ මම සුදු ගවුම ඇඳලා ඇඟේ කොහේ හරි ලියුම් සඟවගෙන ඇති කියලා අම්මා මාව ඉහෙ ඉඳලා දෙපතුලට ම පරීක්ෂා කරනවා.

ඒ ඕනෑවට වඩා පරීක්ෂාව නිසාම මම ක්‍රමයක් හොයා ගත්තා.මම සපත්තුවේ අඩියට ලියුම් කොළයක් දානවා.ඊළඟට කාසි තට්ටුවක් අහුරනවා.ආයේ ලියුම් කොළයක් දානවා.ඉන්පස්සේ මම කාසිවල හඬ නෑසෙන්න පාසල් වෑන් එක ගාවට යනකන්ම කකුල් අද්දමින් යනවා.

“උඹේ කුර ගෙවිලද?”

එහෙම කෑගැහුවත් අම්මා දන්නේ නෑ මම ඒ කරපු වැඩේ.මම ඒ තරමට හොර වැඩ කළා.මට එහෙම කරන්න සිද්ධ වුණා.

අපේ තාප්පය ළඟින් උගුරැස්ස ගහක් සහ අඹ ගහක් තිබුණා.මම පොතක් අරගෙන ලුණු සහ මිරිස් ටිකකුත් ඔතාගෙන අම්මට මෙහෙම කියනවා.

“වහලේ උඩ මාර නිදහස්.මම වහලේ උඩට ගිහින් පාඩම් කරනවා.”

මොන පාඩම් කිරිල්ලක් ද? මම උගුරැස්ස ගහ දිගේ වහලයට නගිනවා.සුධාරක ඇවිල්ලා පාරෙන් එහා පැත්තේ තිබුණු අඹ ගහ දිගේ වහලයට නගිනවා.අපි ගහ උඩට වෙලා අඹ කමින් කියෝ කියෝ ඉන්නවා.අම්මාගේ අවධානය වෙනුවෙන් අඹයක් දෙකක් බිම දාන්නත් අමතක කරන්නේ නෑ.

අහළපහළ ලමයින්ගේ ඇද පළුදු හොයලා ගෙදරට වාර්තා කරන අල්ලපු ගෙදර ඇන්ටියෙක් මට හිටියේ නෑ.ආදරය නිසා මං වින්ද පීඩාකාරී ජීවිතේ හොඳටම දැක්ක එහා ගෙදර ඇන්ටි ඒ දේ නොදැක්කා වගේ හිටියා.මේ මෑතකදි පවා වහලෙ උඩ ප්‍රේම කතාව ඇය සිහි කළේ ඇස්වල කඳුළු පුරවාගෙන.

teen girl stressed

දවසක් එහෙම වහලේ උඩ ඉන්නකොට මට හිතුණා ඔහුව ගේ ඇතුළට ගන්න. ඒ කාලේ මම සාමාන්‍ය පෙළ පන්තියේ.

“අම්මෙ මට බඩගිනියි..”

අම්මට එහෙම කියලා මට කෙටි කෑමක් ගේන්න අම්මව කඩේ පිටත් කරපු මම සුධාරකව ගේ ඇතුළට ගත්තා.වයසේ වැරැද්දට එහෙම අනවශ්‍ය අභියෝග බාර ගත්තට ඊටපස්සේ වුණේ හොඳම වැඩක්.මගේ වෙලාව ගණනය කිරීම් වැරදුණා.මෙන්න බොලේ අම්මා ඇවිල්ලා..අම්මා මම නොදැනම ගෙට ඇවිල්ලා.දැන් සුධාරක යැව්වොත් අම්මට පේනවා.

කාමරේ ඇඳ යට ලොකු සූට්කේස් දෙකක් තියනවා.මම වහාම ඒ දෙක එළියට ගත්තා.අතුගාන්නේ නැති ඇඳ යට මකුළු දැල් පිරිලා.ඒත් වෙන කරන්න දෙයක් නෑ! සතුරාගෙන් සැඟවීම ගැන හොඳටම දන්න සැගවුණු වෙඩික්කාරයට ඒ ඇඳ යට හොඳටම ප්‍රමාණවත්.ඔහුව ඇඳ යටට තල්ලු කරලා ආයෙම සූට් කේස් දෙකෙන් වහන්න මට පුලුවන් වුණා.

විශ්වාස කරනවද?

සම්පූර්ණ පැය විසි හතරකට වඩා ඔහුට එහෙම ඉන්න වුණා.නොකා නොබී, වැසිකිලියකට නොයා,කිඹුහුමක් තරමට නොයවා ඔහු ඉන්නවා.මම ඔහු මැරිලද බයෙන් අහගෙන ඉන්නවා.රෝමය ගිනි ගත්තත් මොකද කියලා මගේ නීරෝ හොඳට නිදි.තමන්ගේ ආදරවන්තියගේ ඇඳ යටට වෙලා එහෙම දවසක් තිස්සේ නිදා ගත්තු වෙන ආදරවන්තයෝ නම් කොහෙවත් නැතුව ඇති.මම හිතන්නේ ඒක ඔහුට රැකියාවෙන් ලබපු පරිචයක්.තලල තලල මරලා දැම්මත් ආයේ නැගිටලා වෙඩි තබන එක සැඟවුණු වෙඩික්කාරයෙකු සතු ශක්තියක්.ඒ ශක්තිය ආදර කතාවටත් ඔහුට උදව්වක් වුණා.

මේ කිසිවක් ඔබ කියවන තරමට සුන්දර නැහැ.ඇත්තටම හරි භයානක සහ දුක්බර සිද්ධි.නමුත් ආපහු හැරිලා අතීතය දිහා බලනකොට මගේ ආදරේ පිරිලා තිබුණේ Romance වලට වඩා Thriller වලින් නේද කියලා මට හිතෙනවා.ඉතින් මට මොන දුකක් වින්දත් මගේ ආදර කතාව එච්චරම සුන්දර වෙන්නෙත් ඒ නිසා.

loving couple

මුලතිව් සහ අලිමංකඩ සටන නිසා අපේ රණවිරුවන් විශාල සංඛ්‍යාවක් මිය ගියේ ඒ කාලයේ.කෑම්ප් එකෙන්ම විසි ගණනක දිවි බේරුණු බව රූපවාහිනී ප්‍රවෘත්ති වලින් ඇහෙද්දී මම කඳුළු බේරමින් ඉකි ගහමින් ඒවා අහගෙන හිටියා.සුධාරක ඉන්නේ මුලතිව් හමුදා කඳවුරේ බව මම දන්නවා.ඉතින් ඔහු ජීවතුන් අතර ද ඒ විසි පහෙන් එක් අයෙක් වෙන්න මගේ ආදරවන්තයට වාසනාව තිබුණද කියලා මම හිතුවේ ජීවිතේ විඳින ලොකුම පීඩනයකට අසු වෙමින්.අහන්න හෝ හොයා බලන්න මට කිසිම කෙනෙක් හිටියේ නෑ.මට කර කියා ගන්න දෙයක් නෑ.යවන එකම ලියුමකටවත් ප්‍රතිචාර නෑ.

“සුධාරක මිය ගිහින්.එයා විතරක් ඉතුරු වෙන්න බෑනෙ..”

හිත එහෙම කිව්වට මට ඒක පිළිගන්න බෑ.මගේ සුධාරක මාව ඒ තරම් ලේසියෙන් මාව අත නොහරින බව මම තර්ක කළේ මගේ හිතත් එක්කමයි.යුද්ධයක බිහිසුණු බව රටම අත් වින්ද කාලයක් ඒ.නමුත් රණවිරුවන්ගේ අති සමීපතමයන්ට තමන්ගේ ජීවිතය ගැන පමණක් නෙවෙයි බය වෙන්න තිබුණේ.තමන්ගේ සමීපතමයා ආයේ කවදාවත් දකින්නවත් නොලැබෙයිද කියන බය ඔවුන්ට තිබුණා.ඒක මහ පුදුම කාලයක්.මහා වසංගතයකට යට වෙලා අපි මේ ගෙවන්නෙත් පුදුම කාලයක් තමයි.ඒ වුණත් ඉතින් ඒ කාලෙත් මේ කාලෙත් බිහිසුණු බව මට මැනලා තීරණය කරන්න බෑ.

සුධාරක ඔයා ඇත්තටම ජීවත් වෙනවද? උදේ රෑ සියදහස් වර හදවතින් මියැදෙමින් මම ඇහුවේ ඒ ප්‍රශ්නේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles