“ඒ සචිර වුණත් දෙනෙත් නෙවෙයි.නංගි දෙනෙත්ට කැමති වෙන් නෑ..”
අයියාගේ හඬ අවධාරණාත්මක විය.නමුත් එය අම්මාට අවධාරණාත්මක වූයේදැයි මට සැකයකි.අම්මා එතැන් පටන් මා දෙස බැලුවේ සැකයෙනි.සෑම මොහොතකම මා හැරුණ ද ඇයට මගේ වරදක් පෙනිණ.ඇය නොදන්නා නමුත් ඇයට සැකයක් ඇති වූ කාරණාවක් සම්බන්ධයෙන් නොනවත්වාම ඇය මා සමඟ පැටලෙන්නට තැත් දැරුවා ය.
“අපි දුක් විඳගෙන උගන්වන්න දඟලනව.සේරටම කලින් මඟුල් විසේ ඔලුවට ගහනව..”
ප්‍රේමවන්තයෙකු ජීවිතය තුළ නොසිටියදී පවා එවැනි චෝදනා විඳින්නට සිදු වීම කිසිත් පහසු හැඟීමක් නොවේ.නමුත් අම්මා මට ඒ චෝදනාව සෑම මොහොතකම නැඟුවා ය.
“ගැළපෙන කොල්ලෙක් තෝරා ගන්න තරමට මොළයක් නෑ..”
ඒ චෝදනාව එසේ නැඟෙද්දී මට බිඳුවකදු ආදරය නොකළ මිනිසෙකු වෙනුවෙන් පෙනී සිටින ක්ෂණික ආවේගයක් මට ඇති විණ.මම මහත් කෝපයක් දෑසේ රඳවාගෙන අම්මා දෙස බැලුවෙමි.ඒ මොහොතේ ඒ පිට වූ වචන මා අතින් කිසි දිනෙක පිට නොවිය යුතුව තිබූ වදන් ය.නමුත් ගිලිහී ගිය වචන යළි කිසිදා ලබා ගත නොහැකි බවත් ඉන් සිදු වන හානිය කිසිම දිනයක පියවීමට නොහැකි බවත් මට ඒ මොහොතේ සිතිණ.
“මට එයාව ගැළපෙනවා.ඒකයි මං එයාට ආදරේ..”
අම්මා ගිනි පුළිඟු විසි කරන දෑසකින් මදෙස බලා සිටියා ය.අනතුරුව වඩාත් තීරණාත්මක පැනයක් නැඟුවා ය.
“ඒ කියන්නේ දෙනෙත් එක්ක සම්බන්ධයක් තියනවද?”
විසි වසරක් තිස්සේ පන්සිල් පද හැකිතාක් රකින්නට උත්සාහ කළ දැරියක් එක් වරම එක් ඇසිල්ලකින් හතරවන සිල් පදය අම්මා ඉදිරියේ බිඳ දමන්නට සිතා ගත්තා ය.එය මොනතරම් වැරදිදැයි සිතන්නට නොහැකි තරමට මා පීඩාවකින් සහ කැළඹීමකින් සිටි බව පමණක් මම දනිමි.
“ඔව්!!”
ආදරය නොකියා ප්‍රතික්ෂේප කළ මිනිසෙකු මගේ ආදරවන්තයා බව මම මගේ අම්මාට පැවසීමි.එය මගේ අනාගතය සහමුලින්ම විනාශ කර දමන කතාවක් බව මා නොදන්නවා නොවේ.නමුත් මා ඒ මොහොතේ පුපුරා යන්නට ආසන්න ගිනි කන්දක්ව සිටි බව මට විශ්වාස ය.පුපුරා යාම මොනතරමට විනාශයක් ද කියාවත් මට අවබෝධයක් නොවී ය.
අම්මා ඇගේ සැබෑ සිතැඟි මුදා හැරියේ ඉන්පසුව ය.නිල් බාල්දියට වැටී රජ වූ නරියාගේ කතාව නොනවත්වාම පවසමින් ඇය මට දෝෂාරෝපණය කළා ය.ලංකාවේ ඉහළම පාසලක උගත මුත් උසස් මට්ටමේ උපාධියක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබූ මුත් දෙනෙත් දුෂ්කර ගමක කොලුවෙකි.ඔහුගේ අම්මා තම අනියම් ප්‍රේමය සොයා ගිය ගැහැනියකි.තාත්තා රෝගියෙකි.දෙනෙත් අනුකම්පාව පිදීමට මිස ආදරය පිදීමට තරම් නොවේ යැයි අම්මා මට බැන වදින්නට පටන් ගත්තා ය.
“මැණිකක් තියෙද්දී කබොක් අහුලගන්න තරම් මෝඩියක්..”
අම්මා කෝප ගත්තා ය.සියල්ල නිහඬව බලා සිටි මම්මා මට ඇමතූයේ අම්මා රැකියාවට ගිය පසුව ය.
“දෙනෙත් මෙහෙ නොඑන්නේ ඇයි සූකිරි..”
ඔහු මගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම ගැන මම්මාට කියන්නට මට සිතිණ.මම සම්පූර්ණ කතාව විස්තර ඇතිව කිසිවක් නොසඟවා මම්මාට පැවසූයෙමි.සඟවන්නට කිසිත් නොවේ.ඇය අම්මාට වඩා මා තේරුම් ගන්නා අම්මා කෙනෙකි.
“පුතේ..ඔයාලා අතර සම්බන්ධයක් තිබිලා දෙනෙත් තරහ වෙලා නෙවෙයිද මේ ඉන්නෙ.”
මම්මා අසන්නී ය.ඔහු මා ප්‍රතික්ෂේප කළ බව මම නැවත පැවසීමි.
“දැන් පොඩ්ඩි දන්නෙ වෙන කතාවක්නෙ.”
අම්මා එය එසේම සිතා සිටීම මට ඕනෑ කරන කාරණාව ය.මම මම්මා දෙස හිතුවක්කාර දෑසකින් බලා සිටියෙමි.ඇය ඒකපාර්ශවික ප්‍රේමයක වේදනාව දන්නා කෙනෙකි.නමුත් එය ඔහේ පර වී යන්නට ඉඩ හල ගැහැනියකි.මට එතරම් ලෙහෙසියෙන් පරාජය බාර ගන්නට සිතුණේ නැත.
“දෙනෙත්ට දැන් ඕකට මූණ දෙන්න වෙනව මම්මෙ..එයා මාව එපා කිව්වනෙ.ඉස්සරහටත් කියයි..හැබැයි එයා මේ කතාව මඟ අරින්නේ කොහොමද?අපි බලමු..”
සැබෑවටම මා සිටියේ උමතුවෙනි.ඒ හැඟීමට උමතුව මිස දෙන්නට වෙනත් නමක් තිබුණේ නැත.ප්‍රේමය බලහත්කාරයෙන්හෝ ලබා ගැනීමේ උමතුව මා වෙලාගෙන තිබිණ. අම්මා මෙයට මැදි කර ගන්නටත් දෙනෙත් ඒ උගුලේ සිරකාරියක කර ගන්නටත් මම සිතුවෙමි. අනතුරුව සිදු වෙන දෑ ගැන මම අනාවැකි කියන්නට නොසිතුවෙමි.අනාගතය කෙසේ වේදැයි මට සිතන්නට හෝ නුවුමනා ය.
දෙනෙත්,මේ පැමිණ ඇත්තේ පලි ගන්නා කාලය ද ඔබ වෙනුවෙන් සටන් කරන කාලය ද කියන්නටවත් මට වැටහීමක් නොවේ.නමුත් මම මේ ගෙවන්නේ ඔබ දිනා ගන්නා සටනක නිරත කාලයකි.