“මම්මේ….”
රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි මම්මා මා දෙස බැලුවේ විමසුම් නෙතිනි.
“අම්මටයි සුගත් අංකල්ටයි මොකද උනේ?”
මම්මා පිළිතුරක් නොදී තාවර වූවා ය.අම්මාගේ රහස් දියණියට හෙළි කිරීම අකටයුත්තක් බව ඈ සිතන බව මට දැනිණ.ඇය ඇගේ ප්‍රථම සහ අවසන් ප්‍රේමය අප්‍රකාශිත එකක් වූ අන්දම මට හෙළි කළේ පැකිලීමකින් තොරව ය.නමුත් මේ මම්මාගේ කතාව නොවේ.අම්මාගේ කතාව ය.
“හැම වෙලාවකම අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයට ගරු කරන්න..”
මට පාසලේ දී උගත් කතාවක් සිහි විණ.
“මං දවසක් කෙල්ලෙක් එක්ක කියෝ කියෝ පාරේ එනව අම්මා දැකල හොඳේ..”
සචිර අයියා මා සමඟ දෙඩවූ ඕපාදූපයක් මට සිහි වූයේ හදිසියේ ය.ඔහු පැවසූ අන්දමට ඒ එදවස ඔහුගේ පෙම්වතිය ය.
“ආන්ටි බැහැල ඇවිත් අයියට බැන්නද?”
මගේ ප්‍රශ්නයට සචිර අයියා උස් හඬින් හිනැහිණ.ඔහුගේ අම්මා තාත්තා සහ ඔහු අතර ඇත්තේ මිත්‍රයන් අතර ඇති පන්නයේ බැඳීමක් බව අපේ අයියා නොයෙක් වර කියූ අන්දම මසිතට ආවේ ඒ මොහොතේ ය.
“අච්චර ලස්සන කොණ්ඩේ උරිච්චි කරල බඳින්නෙ නැතුව කඩා දාලා ඉන්න කියනවකො ඒ ගෑනු ළමයට..ඔච්චරයි අපේ අම්මා කිව්වෙ..මට පොඩි පොඩි සීන් කීපයක් තිබිලා තියනව.හැබැයි ඒ ඔක්කොම මමම අම්මට කියනව.”
අනුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම දරුවා සම්බන්ධයෙන් ද එලෙසටම සුරැකීම නිසා සචිර අයියාගේ අම්මාට ඔහු එපරිද්දෙන් සැලකී ය.නමුත් අපේ අම්මා හදිසියේ කඩා වැදීම් කරන්නේ කිසිම වැදගැම්මකට ඇති පරිද්දෙන් නොවේ.ඇගේ අනවශ්‍ය සැකය හන්දාම මා ඕනෑතරම් කෝප ගෙන ඇත.දෙනෙත්ව හිත පුරා අලවාගෙන නොසිටියානම් මා අම්මාගේ විකාර වැඩවලින් ගැලවෙන්නටම නොගැළපෙන ආදර කතාවක පැටලෙන්නට ඕනෑ තරමේ ඉඩ තිබිණ.
“සූකිරි පුතේ.”
මම්මා මා අමතන තුරුම මා සිතුවිලි ගාලක පැටලී ගතිමි.ඇය මගේ කල්පනාවන් කියවන්නට යත්න දරන්නට ඇත.
“ඒ කතාව මං ඔයාට කියන එක හරි නෑනෙ.අම්මා හරි සුගත් මල්ලි හරි කිව්වොත් අහන්න..”
ඇය එපමණක් පවසා මට තේ කෝප්පය ලබා දුන්නා ය.රිදුම් දෙන අතක් හන්දා නුහුරු අතින් කෝප්පය අල්ලා ගත් මම මම්මා දෙස බැලුවේ මට ඇති ප්‍රධානම ප්‍රශ්නය විමසන්නට ය.
“අම්මා තරහ තාත්තා එක්කද? සුගත් අංකල් එක්කද? සීයයි අත්තම්මයි එක්කද?”
මම්මා සුසුමක් මුදා හැර තත්පර කිහිපයක් මදෙස බලා හුන්නා ය.අනතුරුව මගේ හිස පිරිමැද්දා ය.
“කා එක්ක තරහ වුණත් කමක් නෑ.එයා එයා එක්කම තරහ වුණත් කමක් නෑ.ආදරෙයි මාන්නෙයි එකට යන දෙයක් නෙවෙයි කියල තේරුම් ගන්න දැන් එයාට කාලේ හරි.”
ආදරයත් මාන්නයත් සමපාත නොවේයැයි මම්මා කියද්දී මට රිදෙන්නේ අම්මාව සිහි වී නොවේ.දෙනෙත් ව සිහි වීම නිසා ය.ඔහු මගේ ආදරය ප්‍රතික්ෂේප කළේ මාන්නය නිසා බව සිහි වීම මට තවමත් වේදනාවකි.නමුත් ඒ වේදනාවේ ගිලෙන්නට නොහැකි වූයේ මම්මා ඊට වඩා වේදනාවක මා ගිල්වීම නිසා ය.
“මට හිතෙන්නෙ පුතේ එයා ඔය ප්‍රශ්නෙ නිසා වැඩිපුරම තරහ වුණේ ඔයාලා දෙන්නා එක්ක.මට වැඩිපුරම තරහ ඒකයි..”
මම්මාගේ හඬ බිඳී ගියේ ය.ඇය නෙත ඉනූ කඳුලක් මගෙන් සඟවන තැතක යෙදුණා ය.
“මිනිස්සු ඕනවට වඩා අතීතෙ හිරවෙන්න නරකයි පුතේ.මං මගේ නංගිට අවුරුදු ගාණක් තිස්සෙ කියන දේ ඕක..”
අම්මා අනවශ්‍ය හේතුන් වලට කෝප ගනිද්දී මම්මා මා නිවන අන්දම මම ඒ වචන සමඟ සිහි කළෙමි.
“අම්මට මහන්සිනෙ පුතේ.ආණ්ඩුවෙ ඔෆිස් වල රස්සාව කරද්දී වැඩත් වැඩී..ඔය මිනිස්සු මොන කතා කිව්වත් අම්මලට වැඩ වැඩී..අනික ඉතින් පුතේ අම්මා ඔක්කොම බර අදින්න එපැයි.මං උදව් කරාට,දැන් දැන් ලොකු පුතා වගකීම් ගත්තට අම්මා මේ ගෙදර තාත්තත් වෙලානෙ ඉන්නෙ පුතේ..”
කාර්මිකයන් සහ පෙදරේරුවන් සොයන්නට රෑ තිස්සේ ඇවිදින,අයියා කාර්යබහුල නම් වැහිපීලි සුද්ධ කරන්නට ඉණිමඟ තබා වහලයට නගින,බඩු මලු ඔසවාගෙන ත්‍රීවිලර වලින් පැමිණෙන අම්මා දෙස බලමින් මම මම්මාගේ ඒ වචන විශ්වාසයට ගත්තෙමි.
“තාත්තට එන්න තියෙන්නෙ.අම්මට සල්ලි කොච්චර තිබ්බත් දුක් විඳිනවනෙ..”
එවැනි මොහොතක මම පවසන්නෙමි.
“ඒ මනුස්සය එහෙට වෙලා දෙයක් කරගෙන හිටියාවෙ.බොරුවට නාහෙන් අඬල ගෙන්නා ගන්න හදන්න එපා..”
අම්මා කියන්නේ සැරෙනි.වඩාත් හොඳින් කල්පනා කරද්දී ඈ තාත්තා නැති ජීවිතය කටුක වූ නමුත් ප්‍රිය කළ බව මට නොසිතෙනවා නොවේ.නමුත් ඒ සත්‍යය පිළිගන්නට මගේ හිත මට ඉඩ නොදේ.